නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මැටි හැළි වලං මගුල් ගෙදර, දානෙ ගෙදර බුෆේ කට්ටලයට ගිය හැටි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

මැටි හැළි වලං මගුල් ගෙදර, දානෙ ගෙදර බුෆේ කට්ටලයට ගිය හැටි

Published September 4, 2023

මැටි වළං කර්මාන්තය අපේ ජන ජීවිතයේ එක්තරා කොටසක් බවට පත්ව තිබුණා. මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් “ගම්පෙරළිය” නවකතාවේදී පවා සිංහල අලුත් අවුරුදු කාලයේදී වළං පොඩිවල ඉවීම ගැන මහත් වූ අභිරුචියකින් සඳහන් කරන තිබෙනවා. “ අම්බලමේ පිනා ” ගැඹුරු දහම් අර්ථයක් ගැබ් වී තිබුන පද්‍යක් වුණත් එදා මෙදා තුර හැම දෙනාම මේ කවිය රස විඳිනවා.රසයට, ගූණයට ඉවුම් පිහුම් කළ මැටි කර්මාන්තයට මොකද වුණේ? මේ ගැන අදහස් ටිකක් දැනගන්න කෑගල්ල මොලගොඩ පදිංචි ආර්.කේ. සෝමසිරි මහතාට අපි ආරාධනා කරා…

පාරම්පරික ශල්පියෙකු ලෙස අදවන විට යම් නමක් දිනා ගෙන සිටින ඔබ මැටි කර්මාන්තයේ ගමන්මග දකින්නේ කොහොමද?

අපි සම්ප්‍රදායික මැටි කර්මාන්තයේ නියැළුණ ශිල්පියෝ. මගේ තාත්ත, සීයා අපි හැම දෙනෙක්ම මැටි කර්මාන්තයේ නියැළුණ උදවිය. මගේ පදිංචිය කෑගල්ල මොලගොඩ. පාසල් අධ්‍යාපනය ලැබුවේ මොලගොඩ ජයපාල මහා විද්‍යාලයෙන්. 1965 වසරේ මට වයස අවුරුදු 10 යි.

අපේ ගමේ කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ පුහුණු මධ්‍යස්ථානයක් තිබුණා. මම පාසල් ඇරී ඇවිත් මේ පුහුණු මධ්‍යස්ථානයෙන් මැටි කර්මාන්තය ගැන පුහුණුව ලැබුවා. එය නොමිලයේම අපට ලබා දුන්නා. අපේ ගෙදරත් මැටි ආශ්‍රිත නිර්මාණ සිදුවුණ අතරවාරයේම මට මේ පුහුණුව බොහෝ සේ උපකාරී වුණා. මට රැකියාවකුත් ලැබුණා.

මම මේ මධ්‍යස්ථානයට සම්බන්ධ වී පුහුණුව ලැබීමෙන් පසුව පුහුණු කාර්මිකයෙක් විදිහට වැඩ කරන කාලයෙදී මට මැටි කර්මාන්ත උපදේශකවරයෙක් ලෙසින් පත්වීමක් ලැබුණා. 1992 වෙන තෙක්ම මම පුහුණු උපදේශකවරයෙක් විදිහට සේවය කළා. සිසුන් බඳවාගෙන ඔවුන් පුහුණු කළා. 2015 විශ්‍රාම යන විට මම ජාතික ශිල්ප සභාවේ කෑගල්ල දිස්ත්‍රික් නිලධාරි විදිහට සේවය කළා.

අතීතයේදී මැටි වළං වෙනුවන් තිබුණ ඉල්ලුම ක්‍රමයෙන් අඩුවුණ බවක් ඔබ දකිනවද?

ගෑස් සහ විදුලියෙන් ක්‍රියාත්මක වෙන ළිප් භාවිතය සමග දර වෙනුවෙන් වූ ඉල්ලුම අඩු වුණා. ඉහතින් සඳහන් කළ ළිපක මැටි වළං තබා ඉවුම් පිහුම් කරද්දී ඉන්ධන වැඩියෙන් වැය වෙන නිසා මැටි වළං වෙනුවට Non Stick සහ ඇලුමිනියම් භාජන යොදා ගෙන ඉවුම් පිහුම් කරන්න බොහෝ දෙනෙක් යොමු වුණා. ඒ නිසා මැටි වළං වෙනුවෙන් ඉල්ලුම අඩුවුණා.

ඉස්සර වගේ වළං කත් අරගෙන ගමින් ගමට යන සංචාරක වෙළන්දන් දැන් දකින්න ඇත්තේම නැහැ. දැන් හැම ගමකම යටිතල පහසුකම් සංවර්ධනය වෙලා. ඒ නිසා ප්‍රවාහන පහසුකම් තිබෙනවා. වෙළෙඳසල් තිබෙනවා. ඒ නිසා ඉස්සර වගේ අපේ සම්ප්‍රදායික ශිල්පින්ට සංචාරක වෙළදාමේ යෙදෙන්න අවශ්‍ය නැහැ.

මැටි වළං වෙනුවෙන් ඉල්ලුම අඩුවන විටත් ඔබ මේ ව්‍යාපාරයේම රැඳී සිටියේ?

මැටි වළං වෙනුවෙන් ඉල්ලුම අඩු වුණේ ඒවා ගෑස් සහ විදුළියෙන් ක්‍රියාත්මක වෙන ළිපකට නොගැළපෙන නිසා. ඉතින් අපි ගෑස් ළිපට ගැළපෙන විදිහට තුනී පතුළක් සහිත වළං නිෂ්පාදනයට යොමු වුණා. ඒ නිසා ගෑස් වළං වෙනුවෙන් ඉල්ලුමක් ඇති වුණා. ඒ අතරේම ඇළුමින්යම් වළංවල ඇඹුල් ජාති උයන්න හොඳ නැති බවට වෛද්‍ය මත පළවුණා. තක්කාලි, ගොරක වගේ දේවල් ඇළුමින්යම් සමග ප්‍රතික්‍රියා කිරීම මිනිස් සෞඛ්‍යට අහිතකර බව සහ පිළිකාවන් ඇති වීමට හේතු වෙන බවටත් අදහස් සමාජගත වුණා.

නමුත් මැටි වළඳක මේ අවදානම නැහැ. අපි අලුත් මාළු ඇඹුල්තියල් වගේ දේවල් උයන්නේ මැටි වළංවලයි. ජාඩි, අච්චාරු, ලුණුදෙහි මේ වගේ අම්ල සහිත හැම දෙයක්ම උයන්නේ, ගබඩා කරන්නේ මැටි වළං සහ ඇතිළිවලයි. ඊටත් අමතරව පොළොස් ඇඹුලක්, කඩල ටිකක් තම්බාගන්නා විට මැටි භාජනයක බොහොම මෙලෙකට ඉදෙනවා. ඒක ඇත්ත. ගෑස් හෝ විදුලි ළිපක වතුර හිඳී ගියත් තැම්බීමක් වෙන්නේ නැහැ. නමුත් මැටි වළඳක වතුර හිඳෙන්නේ බොහොම හෙමින්. ඒ නිසා පිසින දෙයක මෙලෙක් බවක් තිබෙනවා.

මැටි කලයත් ගෙදරින් අහෝසිම වුණා කිව්වොත්?

ඔබ නිවරැදියි. එදා මැටි කලයක සීතල වතුර ටික මසුරං වටිනවා. නමුත් අද හැම නිවසකටම නල ජලය ලැබෙනවා. ෆිල්ටර් තිබෙනවා. ඒ නිසා මැටි කළයක අවශ්‍යතාවක් ඇත්තටම අවශ්‍ය නැහැ. නමුත් අද වනවිට බොහෝ දෙනෙකුගේ ඉල්ලුම ගුරුලේත්තුවට ඇති වී තිබෙනවා. වතුර ෆිල්ටරය පවා මැටියෙන් නිර්මාණය වෙනවා. ප්ලාස්ටික් බෝතල්වල ජලයට වඩා මැටි ගුරුලේත්තුවට, වගේම මැටි ෆිල්ටර වෙනුවෙන් වැඩි ඉල්ලුමක් ගොඩ නැගෙනවා.

මැටි කර්මාන්තය අභාවයට යද්දී ඔබ එහි රැඳී සිටීමේ රහස?

වළං වෙනුවෙන් ඉල්ලුම අඩුවන විට මම වෙනත් විවිධ නිෂ්පාදන වෙනුවෙන් යොමුවුණා. කොටින්ම නිෂ්පාදන විවිධාංගිකරණයක් සිදුවුණා කිව්වොත් නිවරැදියි. මම මල්පෝච්චි, විසිතුරු භාණ්ඩ, බිත්ති සැරසිළි විසිතුරු නිර්මාණ වෙත යොමු වුණා. ඒ නිසා වළං වෙනුවෙන් අඩුවුණ ඉල්ලුම වෙනත් මැටි නිෂ්පාදන නිසා පිරිමසා ගන්න හැකියාව ලැබුණා.

කැලණිය කිව්වොත් සුදු පැහැති වළං තවත් පැතිවල රතු – දුඹුරු. මේ වෙනස ඇයි?

කැලණියේ බියගම ප්‍රදේශයෙන් අපි මැටි ලබා ගන්නවා. ඒවා සුදු පාටයි. සිනිදුයි. වැලි අඩුයි. ඒ නිසා ඔප දැමීම පහසුයි. කුරුණෑගල මැටි රතු පාටයි. සියුම් නැහැ. වැලි වැඩියි.

සකපෝරුව අදටත් භාවිත වෙනවාද?

සකපෝරුව කිව්වාම වර්ග තුනක් තිබෙනවා.

අත් සකපෝරුව
පා සකපෝරු
විදුලි සකපෝරුව

විදුළි සකපෝරුවේ වැඩ ඉක්මන්. අත් සකපෝරුව වගේම පා සකපෝරුව ක්‍රියාකරන්න ශ්‍රමය අවශ්‍යයි. නමුත් අත් සහ පා සකපෝරුවෙන් කරන නිෂ්පාදනවල සියුම් බවක් තිබෙනවා. නව තාක්ෂණය භාණ්ඩ නිෂ්පාදනය වෙනුවෙන් දැනුම සහ අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර ලැබුණොත් විදේශ වෙළෙඳපොළ පවා ග්‍රහණය කරගන්න පුළුවන්.මේ නිෂ්පාදනය ඇත්තටම කලාවක්.

ඔබෙන් පසුව මේ කලාවට කවුද සම්බන්ධ වෙන්නෙ?

පරම්පරාව කිව්වාම අපට මතක් වෙන්නේ පිරිමි දරුවන්. නමුත් මට ඇත්තු වගේ පුත්තු නැහැ. නමුත් මම කියන්න ආඩම්බරයි මගේ දියණිවරුන් තුන්දෙනාම මේ කර්මාන්තයට සම්බන්ධයි. ලොකු දුව ඉතාම සාර්ථක ව්‍යවසායිකාවක් විදිහට නමක් දිනාගෙන ඉන්නවා.

ලක්ශිල්ප ආයතනයට බුෆේ කට්ටලයේ නිර්මාණය ඉදිරිපත් කරන්නේ ඔබේ දියණිය.ඒ ගැන අපි ඇයගෙන් විමසා සිටිමු

මගේ නම චන්දිමා සංජීවනී. සාමාන්‍යයෙන් උත්සව කටයුතු වෙනුවෙන් මැටි වළං භාවිත කිරීමේ ප්‍රවණතාවක් ඇතිවෙන්න පටන්ගත්තා. එක් හෝටලයකට අවශ්‍ය වූණා නිකල් බුෆේ කට්ටලයට සමාන බුෆේ කට්ටලයක් මැටිවලින් සකස් කරගන්න. ඔවුන් අපේ තාත්තාගෙන් ඒ වගේ බුෆේ කට්ටලයක් හදාදෙන්න කියල ඉල්ලීමක් කළා. තාත්තා සාමාන්‍ය බුෆේ කට්ටලයක් ඉතාම විසිතුරු විදිහට නිර්මාණය කළා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මැටිවලින් මුලින්ම බුෆේ කට්ටලයක් නිර්මාණය කළේ අපේ තාත්තා.

ආහාර සකස් කරන්න යොදා ගන්නා අමුද්‍රව්‍ය ලෝහ භාජනවල අසුරා දිගු වේලාවක් තබන විට විවිධ විදියට ප්‍රතික්‍රියා දක්වන්න පුළුවන්. ඒ නිසා අපිට හිතුණා උත්සවවලදී ආහාර පිළිගන්වන්න මැටි බුෆේ ඇසුරුම් නිෂ්පාදනය කරන්න. ඒ නිසා අපි විසිතුරු අන්දමින් බුෆේ කටට්ල නිර්මාණය කිරීම පටන්ගත්තා. දැන් ඒ වෙනුවෙන් හොඳ ඉල්ලුමක් තිබෙනවා. අපි බුෆේ කට්ටලයේ රතු වර්ණය පවත්වා ගැනීමට පරිස්සම් වෙනවා. වර්ණය අනුව කට්ටලයේ අනන්‍යතාව රැඳී තිබෙනවා.

මේ අතර කුඩා ව්‍යාපාර අංශයේ ව්‍යවසායකත්ව වැඩසටහනකට මම සහභාගී වුණා. එහිදී ව්‍යාපාර සැලස්මක් නිර්මාණය කිරීමට ඔවුන්ගෙන් උපදෙස් ලැබී තිබුණා. මේ වන විටත් අපි බුෆේ කට්ටල නිෂ්පාදනයට යොමු වෙලා හිටියා. තව දුරටත් අලුත් දෙයක් කරන්න අපටඅදහසක් ඇතිවුණා. ඒ නිසා මුලින්ම අලුත් අවුරුදු වෙනුවෙන් වූ “අවුරුදු පිඟාන” මම ඉදිරිපත් කළා. එය කිරිබත් දීසිය, පොල් තෙල් පහන වැනි කොටස් ඇතුළත් කරමින් නිර්මාණය කළා. ඊට පසුව පොඩි භාජන කට්ටලය නිර්මාණය කළා. මේ කට්ටලය සාමාන්‍ය පවුලක් වෙනුවෙන් ගැළපෙන විදිහට නිර්මාණය වුණා.

ඒ වගේම අපේ “විශේෂ තෑගි අසුරණ ” එයට වළං 6 ක් ඒවා වැසුම් හයක් පිඟන් හයක් සහ හැඳි හයක් ඇතුළත් වෙනවා.තවත් පැකේජ් එකක් තියෙනවා. එය පන් මල්ලක අසුරා තිබෙනවා. එහි රොටී තැටිය, එහි වැසුම, තෙල් දමන තාච්චිය, ඇතිලි දෙකක් සහ එහි වැසුම් දෙකක් බත් හැඳි, ව්‍යාංජන බෙදන හැඳි 2 ක් ඇතුළත්. මේ ඇසුරුම රුපියල් 2100 ක මිලකට ලබා ගන්න පුළුවන්. සිංහල අලුත් අවුරුදු කාලයේදී නිවසකට තෑග්ගක් විදිහට ලබාදෙන්න පුළුවන්.

නිතරම ලැබුණ පුහුණුව..

ජාතික මෝස්තර මධ්‍යස්ථානය සහ ජාතික ශිල්ප සභාව මගින් අපට අවුරුද්දකට වැඩමුළු දෙකක් හෝ තුනක් පවත්වනවා. මෙහිදී අමුද්‍රව්‍ය සියල්ල සහ උපදෙස් ලබාදෙනවා. එහිදී නව තාක්ෂණ ගැනත් කියා දෙනවා. මේ පුහුණුවෙන් මැටි ආභරණ නිෂ්පාදනය ගැනත් පුහුණුවක් ලබාගත්තා.

මැටි වතුර බෝතලයක් අපේ නිෂ්පාදන අතර ඇතුළත්. මේ වතුර බෝතලය අපෙන් මිලට ගෙන එයට අගය එකතු කරලා අලෙවි කිරීමෙන් ආදායම උපයන පිරිසක් බිහිවෙලා ඉන්නවා. මට ඒ ගැනත් සතුටයි. අපේ නිෂ්පාදන වෙනුවෙන් ලක්ශිල්ප අලෙවි සැල විවෘතයි.

ඒ වගේම ලක්ශිල්ප අලෙවිසැල මගින් දිවයින පුරා පැවැත්වෙන ප්‍රදර්ශන සඳහා අපට අවස්ථාව ලබාදෙනවා. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන ප්‍රදර්ශනවලට අපි ඉදිරිපත් වෙනවා. ඒ වගේම ආර්පිකෝ, කොල්ලුපිටියේ සතොස සහ R. V Fashion වැනි ආයතන වලටත් නිෂ්පාදන ලබාදෙනවා. ඊටත් අමතරව දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම විවිධ ආයතන වෙතින් අපට ඇනවුම් ලැබෙනවා.

විදේශීය වෙළඳපොළට…

මම ඔන්ලයින් ඔස්සේ ඇනවුම් ලබාගෙන දැනට ඕස්ට්‍රේලියාව, මාලදිවයින සහ කැනඩාව වැනි රටවල්වලට මැටි නිෂ්පාදන අපනයනය කරනවා.

එදා මෙදා තුර ඔබේ ගමන්මගට දායකත්වයක් ලබා දුන් ආයතන ගැන සඳහන් කරනවා නම්..

ඔව් මේ අවස්ථාවේදී සබරගමු පළාත් සභාවේ කර්මාන්ත අමාත්‍යාංශය, හස්ත කර්මාන්ත මණ්ඩලය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, ලක්සල ආයතනය, ජාතික ශිල්ප සභාව වැනි ආයතන කෘතවේදීව සිහිපත් කරන්න ඕන. මම දැන් ජීවිතයෙන් වගේම කලාවෙන් සහ වෘත්තියෙන් පරිණත පුද්ගලයෙක්.

මැටි කර්මාන්තය සමග මෙතෙක් ආ ගමන්මග දිහා ආපසු හැරී බැලුවොත් මම තෘප්තිමත් ව්‍යවසායකයෙක්. පසුතැවීම් නැහැ. ඒ වගේම මම අනාගතය දකින්නේ ඉතාම සුබවාදී විදිහටයි. මගේ දරුවන් අපේ සම්ප්‍රදායික සන්නාමය ඉදිරියට අරගෙන යන නිසා මගෙන් පසුව මැටි කර්මාන්තය නැති වෙයිද, ඔවුන් මේ කර්මාන්තයට අතවත් නොතබයිද යන බියක්, සැකක් නැහැ.

● පුන්‍යා චාන්දනී ද සිල්වා

 

TAGGED: Non Stick, බුෆේ කට්ටලය
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?