නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සමාජ සම්බන්ධතා නොමැතිවීම සියදිවි නසාගැනීමට පාර කපනවද
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

සමාජ සම්බන්ධතා නොමැතිවීම සියදිවි නසාගැනීමට පාර කපනවද

Published July 10, 2023

පහුගිය කාලෙ වැඩි වශයෙන් විශ්වවිද්‍යාල සිසුන් සියදිවි හානිකරගැනීම ගැන පුවත් පළවුණා. ඒකට එක හේතුවක් විදිහට මනෝ වෛද්‍යවරුන් දක්වා තිබුණේ සමාජ සම්බන්ධතා ඔවුන්ට නොමැතිවීමයි. විශ්වවිද්‍යාල සිසුන් ගැන කතා කරනකොට අවුරුදු 20 – 27 අතර වයස් වල සිසුන් තමයි වැඩියෙන් දකින්න ලැබෙන්නේ. අපේ අධ්‍යාපන ක්‍රමයේ විශ්වවිද්‍යාල සිහින සැබෑ කරගන්නා සිසුන්ට විශ්වවිද්‍යාල තුළදී අභියෝග රැසකට මුහුණ පාන්න වෙනවා.

අධ්‍යාපනය සම්බන්ධ ගැටළු (භාෂාව පිළිබද ගැටළු, විෂය කරුණු අවබෝධය අඩුවීම, එක දිගට යම් හේතුවක් නිසා අධ්‍යාපනය මග හැරුණු විට විෂය නිර්දේශය ඉක්මනින් අවසන් කිරීමට දේශන පැවැත්වීම) අධ්‍යාපනයට සහ අනෙකුත් වියදම් අපහසුතා (බෝඩින් ගාස්තු, ආහාර පාන, ඇදුම් පැළදුම් වියදම්) වැඩිහිටියන් බවට පත්වී තවදුරටත් දෙමවුපියන්ට වියපැහැදම් වලට බරක් වී තිබීම, නිවෙස්වලින් ඈත්වී සිටීම, ඇතැම් යහළු මිත්‍රයන්ගෙන් එල්ලවන පීඩා (උදා: මත් ද්‍රව්‍ය වලට යොමු කිරීමට උත්සහ කිරීම) ආදර සම්බන්ධතාවලදී පැනනැගෙන ගැටළු සහ ලිංගිකත්වය පිළිබද ගැටළු මේවායින් සමහරක්.මේ අභියෝග එකිනෙකාට බලපාන ආකාරය වෙනස්. ඒවා දරා ගැනීමේ හැකියාවත් එකිනෙකා අතර වෙනස්. ඇතැම් කෙනෙක්ට මේ පීඩනය වැඩි වී විශාදය ඇතිවන්නට පුළුවන්. සියදිවි හානි කරගැනීම මෙහි ප්‍රතිඵලයක් විය හැකියි. ඊට අමතරව වෙනත් මානසික රෝග තත්ත්වයන්, පෞරුෂ ආබාධ, ආතති දරා ගැනීමේ අපහසුතා වැනි කරුණු නිසාත් සිය දිවි හානි කරගැනීමට පෙළඹෙන්න පුළුවන්.

■ ආතතිය පාලනය කරගැනීම.

ආතතිය ජීවිතයට ඍණාත්මකම දෙයක් පමණක් ගෙන එන බව වැරදි වැටහීමක්. අපගේ ජීවිතයේ යම් අරමුණක් කරා යනවිට ආතතිය අප හට එම අරමුණ කරා යොමුවෙන්නට උදව් වෙනවා. නමුත් අධික ආතතිය ජීවිතයට ඍණාත්මකව බලපානවා. මේ නිසා අධික ආතතිය කළමනාකරණයට පුරුදු විය යුතුයි. පළමුව ආතතියට හේතු වූ කරුණ සොයාගත යුතුයි. පසුව ඒ සඳහා සුදුසු පියවර ගත යුතුයි. උදාහරණයක් විදිහට අධ්‍යාපන කටයුතු නිසා ආතතියට පත්වෙන කෙනෙකු සෑම දිනකම විෂය කරුණු පාඩම් කිරීම කළ යුතුයි. මේ නිසා අවසන් මොහොතේ සියලු කරුණු එකවර පාඩම් කිරීමට ගොස් පීඩාවට පත්වීම මගහරවා ගත හැකියි.

ඒ වගේම නොතේරෙන විෂය කරුණු වෙනත් යාළුවෙක්ගෙන්, ජ්‍යෙෂ්ඨ සිසුවෙක්ගෙන්, එහෙමත් නැත්නම් ආචාර්යවරයෙක්ගෙන් අසා දැනගත හැකියි. රටේ පවතින ආර්ථික අර්බුදයත් එක්ක තමන්ගෙ වියදම් දරාගැනීම සමහර සිසුන්ට ලොකු අභියෝගයක්. මෙවැනි අවස්ථාවකදී විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සුභසාදන සංගමය හා සම්බන්ද වී එමගින් යම් උදව්වක් ගැනීමට පැකිලෙන්න එපා. ඒ සමාගම් මුදල් කළමනාකරණයද පරෙස්සමින් සිදු කළ යුතුවෙනවා. මත්පැන් මත්ද්‍රව්‍ය ඇබ්බැහිය හා පෞරුෂ සාධකත් ආතතියට බලපානවා. ඇතැම් කෙනෙක් යාළුවන් අතරින් කොන්වේ යයි බයෙන් මත්පැන්, මත්ද්‍රව්‍ය බීමට පෙළඹෙනවා.

නැත්නම් වෙන දෙයක් කිරීමට නැති නිසා මත්පැන් භාවිතයට පෙළඹෙනවා. මොනයම් ක්‍රමයකින් හෝ මත්පැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහියෙන් සිදුවන්නේ කාලය, මුදල්, ජීවිතය නාස්ති කිරීමක්. අවසානයේදී ආතතිය වැඩිවීමට මෙම කරුණු හේතු වෙනවා. තවද විශ්වවිද්‍යාලය තුළ ඇති ක්‍රීඩා සහ අනෙකුත් බාහිර සංගම් වලට සහභාගී වීමෙන්, ඒවායේ ක්‍රියාකිරීමෙන් ආතතිය අඩු කරගැනීමට උපකාරී වෙනවා.

උදාහරණයක් විදිහට Photography club, Buddhist society ඒවගේම සින්දු ඇසීම, කවි ලිවීම වගේ විනෝදාංශයකට යොමු වීම ඉතා වැදගත්. පාඩම් කිරීමට අමතරව මෙවැනි දෙයක් සිදු කිරීමෙන් සිතට එන ආතතිය මග හරවාගැනීමට උදව් වෙනවා. නමුත් මතක තබාගත යුත්තක් තමයි ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතයෙන් සිදු කරන විනෝදාංශ ඇතිනම් ඒවාට වැඩි කාලයක් යොමු නොකිරීම.

■ ආතතිය අසීමිත ලෙස වැඩි බව දැනගැනීමේ අවශ්‍යතාවය….

මෙය ඇතැම් විට එම පුද්ගලයාටම දැනෙන අතර සමහර විටෙක ඇය/ඔහු සමග සිටින මිතුරන් හට දැනෙනවා. වෙනදා වගේ සිතට සතුටක් නොදැනීම, වැඩක් කිරීමට උනන්දුවක් නොමැති වීම, කලින් සතුටු හිතුණු දේවල් වලට දැන් කිසිම සතුටක් නොදැනීම (උදා: සින්දුවක් ඇසීම, ක්‍රිකට් ක්‍රීඩාව නැරඹීම) ආහාර අරුචිය හෝ අධිකව ආහාර ගැනීම, නින්ද යාමේ වෙනස්කම් (අඩු හෝ අධික නිදිමත ගතිය), තමා සහ අනෙකුත් සියලු දේ ගැන ඍණාත්මක සිතුවිලි පහළ වීම, සියදිවි නසා ගැනීමේ සිතුවිලි මේවායින් සමහරක්.

■ මැරෙන්නම හිතුණොත්…

තමාගේ ජීවිතය හානි කරගැනීමට සිතීම ප්‍රශ්නවලට එම අවස්ථාවේ ඇති එකම විසඳුම ලෙස සිතුවත් එය එසේ නොවේ. මෙම අවස්ථාවන්වලදී වෙනත් කෙනෙකු සමග කතාබහ කරනවිට ප්‍රශ්න වලට වෙනත් විසඳුම් ඇති බව අවබෝධ කරගත යුතුයි. මේ නිසා මෙවැනි සිතුවිලි පැමිණෙන විට විශ්වාසවන්ත කෙනෙකු සමග කතාබහ කරන්න. එවැනි කෙනෙක් නැතිනම් ඒ වෙනුවට තවත් මාර්ග බොහෝමයක් තියෙනවා. සෑම විශ්වවිද්‍යාලයකම පාහේ වෛද්‍ය මධ්‍යස්ථානය සමග සම්බන්ධ වූ උපදේශන සේවා සහය ලබා ගත හැකියි. ඊට අමතරව විශ්වාසදායී විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් හමු වී ගැටලුව ගැන කතා කළ හැකියි.

විශ්වවිද්‍යාලයට අනුයුක්තව වෛද්‍ය පීඨයක් ඇතිනම් එහි මනෝ වෛද්‍ය ඒකකය හා සම්බන්ධ වී උපකාරයක් ලබාගත හැකියි. එසේත් නොමැතිනම් රජයේ රෝහලක මනෝ වෛද්‍ය සායනයට පැමිණ වෛද්‍යවරයෙකු හමුවිය හැකියි. ඒ වගේම නොමිලේ උපදේශන සහය ලබා ගැනීමට 1926 දුරකථන අංකය යටතේත් දැන් අවස්ථාව උදා වෙලා තියෙනවා.

■ ප්‍රශ්නයක් තව කෙනෙක් එක්ක කතා කිරීම වැදගත්…

බොහෝ විට ප්‍රශ්නයකට මැදිවූ අධික ආතතියෙන් පෙලෙන කෙනෙකුට එම ප්‍රශ්නයට අදාළව දකින විසඳුම් සීමිත වෙන්න පුළුවන්. මේ නිසා වෙන කෙනෙකුගේ කෝණයකිනුත් මේ ගැන විමසීම උදව්වක් වෙනවා. තවත් විටක අපේ සිත තුළ තිබෙන ගැටලුව වචනයට පෙරලන විට අපිටම ඒ ගැන වෙනත් පැතිකඩක් පෙනෙන්නට ගන්නවා. සමහර විට අපි නොදන්නා, අපිට සහයෝගය ලබා ගත හැකි ආයතන/ පුද්ගලයන් ගැන වෙනත් කෙනෙක් දැනගෙන ඉන්නට පුළුවන්. මේ නිසා ප්‍රශ්න වෙනත් විශ්වාසදායි කෙනෙක් සමග කතාබහ කිරීම සුදුසුයි.

■ සිහි බුද්ධියෙන් අසන්නා උදව් කළ යුත්තේ මෙහෙමයි…

මේ දේ හරිම වැදගත්. ඇතැම්විට අනෙක් අයට අවවාද උපදෙස් දෙන කෙනෙක් වුණත් අධික ආතතියට පත්ව, විශාදයෙන් පෙළෙමින් සියදිවි නසාගන්නා සිතුවිලි වලින් සිටිය හැකියි. මේ නිසා කෙනෙක් තමාගේ පීඩනය සහ සියදිවි හානිකර ගන්නා සිතුවිලි පවසන විටෙක සෑමවිටම එය අසන්නා ගැඹුරින් සලකා බැලිය යුතුයි. මෙවැනි අවස්ථාවක බරපතලකම නිවැරදිව අවබෝධ කරගැනීමට මනා පුහුණුවක් අවශ්‍ය වන නමුත් පහත සඳහන් කාරණා තිබෙනවානම් වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

● එම පුද්ගලයා අන් අයගෙන් ඈත්වී තනිව සිටීම

● සියදිවි හානිකර ගන්නා ආකාර ගැන පැවසීම

● අසාමාන්‍ය මත්පැන් භාවිතය

● කලින් මානසික රෝගයකට ප්‍රතිකාර ගැනීම (ඇතැම් විට විශ්වවිද්‍යාල වලට පැමිණීමට පෙර ලබාගන්නා ඖෂධ විශ්වවිද්‍යාලයට පැමිණීමෙන් පසු මගහැරෙන අවස්ථා දැකිය හැකිවෙනවා) යම් කෙනෙක් සියදිවි හානි කරගන්නා සිතුවිලි පවසන විට “ඕවා විකාර/ ඔන්න ඔහේ අමතක කරලා දාන්න” වැනි පිළිතුරු නොදී, හොඳින් සංයමයෙන් ඒවාට ඇහුන්කම් දිය යුතුයි. පුළුවන් හැමවිටම යම් ප්‍රශ්නයකට පිළිතුරු ලබාගැනීමට උදව් කළ යුතුයි. තමන් හට එය කළ නොහැකිනම් සුදුසු කෙනෙකුන්ගෙන් උදවු උපකාර ලබා ගත යුතුය. මෙවැනි කෙනෙකුන් තනි නොකිරීමට වග බලා ගත යුතුයි. බොහෝ විට මෙවැනි දරුවෙකුගේ පවුලේ සාමාජිකයෙක් සම්බන්ධ කරගැනීම සුදුසුයි. සිතට සතුටක් ගෙන ඒමට යම් ක්‍රියාවක් කිරීම, සුදුසු පරිදි උදව් ලබා ගැනීමට යොමුවීම කළහැකියි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මනෝවෛද්‍ය විශේෂඥ
ලක්ෂිකා අමරකෝන්
කළුබෝවිල ශික්ෂණ රෝහල
වෛද්‍යපීඨය – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

■ එරංදි කෞශල්‍යා

TAGGED: Social Relations, Suicide, සියදිවි නසාගැනීම
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?