මේ ලෝකෙ අවශ්‍යම වෙලාවෙ මගහරින්නෙ පිට මිනිස්සු නෙවේ, අපි ළඟින්ම හිටපු මිනිස්සු. එහෙම අපිට සමීප වෙලා ළඟින් හිටපු, කවදාවත්ම අත්හරින්නෙ නෑ කියල කියපු, මොන ප්‍රශ්නෙ ආවත් අපි ගාවම ඉඳී කියල අපි හිතපු අයම තමයි අවශ්‍යම මොහොතේ අපිව දාලා යන්නේ. නමුත් අවශ්‍යම වෙලාවෙදි අපිට මතක් වෙන්නෙත් අපි ළඟින්ම හිටපු ඒ අය මිසක් පිට අයව නෙවේ.
අවශ්‍යම මොහොතවල් ජීවිතේ වැඩිපුරම තියෙන්නේ හදවත හා සම්බන්ධ තැන්වල. අපිට ආදරේ අවශ්‍යම වෙලාවල් තියෙනවා. රැකවරණය අවශ්‍යම වෙලාවල් තියෙනවා. අඩුගාණෙ වචනෙකින් හරි අපිව නගා සිටුවයි කියන බලාපොරොත්තු අපි ගාව තියෙනවා. එහෙමත් නැත්නම් මොකක් හරි වැඩක් කරද්දි යහපත් උපදේශයක් හෝ අපි සමීපතමයන්ගෙන් බලාපොරොත්තු වෙනවා.
අපිට බාහිරින් අවශ්‍යතා සපුරගන්න මිල මුදල් තිබුණත් මානසික අවශ්‍යතා සපුරගන්න අපිට සමීප ආදරණීය පුද්ගලයෙක් අවශ්‍යයි. බාහිර අවශ්‍යතා සපුරගන්න මිල මුදල් නොතිබුණොත් අපි ඒ මුදල් අවශ්‍යතාව සපුරගන්නෙත් අපේ සමීපතමයෙක් හරහා.අපි හිතමු දරුවො සහ දෙමාපියෝ, දරුවන්ගෙ මුළු ලෝකෙම දෙමාපියො.
නමුත් දරුවෙක්ට අවුරුදු පහක් සම්පූර්ණ වෙන්නත් කලින්ම ඔවුන්ව දාලා යන දෙමාපියෝ ඕනතරම් ඉන්නවා. එතකොට අම්මෙක්ගෙ තාත්තෙක්ගෙ ආදරේ නැතුව ඒ දරුවො කොච්චර අසරණ වෙනවද? දෙමාපිය ආදරේ අවශ්‍යම මොහොතෙදි එයාලට ඒ දේ නැතිවෙනවා. ගොඩක් දරුවන්ගෙ පෞරුෂය ගොඩනැගෙන්නෙ තමන්ගෙ තාත්තගෙන්. නමුත් තාත්තාගේ රැකවරණයක් අවශ්‍යම කාලෙදි කිසියම් ප්‍රශ්නයක් නිසා තාත්තා දරුවන්ව දාලා යනවා. පාසලේ අනිත් දරුවො තාත්තලා එක්ක එනකොට, තාත්තලා එක්ක සෙල්ලම් කරනකොට තාත්තා දාලා ගිය දරුවට තාත්තගෙන් වෙන දිරිගැන්වීම නැති වෙනවා.
ඊළඟට තමන් ආදරේ කරන කෙනාට දරුණු ලෙඩක් හෝ කුමනාකාරයේ අනතුරක් සිදුවුණොත් දාල යන අය ඉන්නවා. ඒක මම පෞද්ගලිකව අත්විඳි දෙයක්. මම මගේ සැමියාව කසාද බැන්දෙ හැමෝම එපා කියද්දි. ඔහු රස්සාවට ගිහින් එද්දි කෝච්චියේ බෝම්බෙකට අහුවෙලා මැරුණා. නමුත් හෙමීට ආයෙ ගොඩ ආවා. දෙමාපියන් වගේම ඔහුත් කිව්වා ඔහුව දාලා යන්න කියලා. නමුත් මම ගියේ නෑ.
අපි දැන් විවාහ වෙලා අවුරුදු 25ක්. ඔහුගෙ එක කනක් තවමත් ඇහෙන්නෙ නෑ. මම නිතරම ඉඳගන්නෙ ඔහුගෙ කන ඇහෙන පැත්තෙන්. තමන් ආදරය කරන කෙනාට දරුණු අනතුරක් වෙලා මානසිකව වැටිලා ඉන්න වෙලාවක ඔයාට යන්න ඕනෙම නම් යන්න. නමුත් අඩුගාණේ ඔහු හෝ ඇය සනීප වෙනකල්වත් ඉන්න. මොකද එහෙම ඇඳකට වෙලා වේදනාවෙන් ඉන්න කෙනෙක්ට වැඩියෙන්ම ඕන තමන් ආදරය කරන කෙනාගෙ ආදරය, සෙනෙහස, රැකවරණය. තමන් අසාධ්‍ය තත්ත්වයේ ඉද්දි තමන් ළඟම හිටපු කෙනෙක් දාලා ගියොත් සනීප වෙලා ආයෙමත් නැගිටින කෙනාව ආයෙ මොන විදිහකින්වත් වට්ටන්න බැරි වෙනවා.
ආදරවන්තයා, ආදරවන්තිය විතරක් නෙවේ සමහර ප්‍රශ්නවලදි අපිට හොඳම යාළුවා, හොඳම යෙහෙළිය ඕන වෙන වෙලාවකදි ඔවුන් අපිව මගහැර යන අවස්ථා තියෙනවා. අපි හිතනවා කවුරු නැතත් යාළුවෝ තමන් වෙනුවෙන් කතා කරයි කියලා. නමුත් ඔවුන් අහක බලාගන්නවා. නම්බර්ස් බ්ලොක් කරල දාන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට අපේ කඳුළු පිහිදන්න, වචනෙකින් හරි සනසන්න කෙනෙක් අපිට නෑ කියල අපි වටහාගන්න තැන තමයි අපි නැවතත් නැගිටින තැන. එතන තමයි හැම කෙනෙකුගේම ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් වෙන්නෙ.
සමාජයේ යම්කිසි ස්ථාවරයක ඉන්න බොහෝ දෙනෙක් ප්‍රතික්ෂේප වීමකින් හෝ යම්කිසි අහිමිවීමකින් නැගිටපු කෙනෙක්. තමන් විශ්වාස කරන් හිටපු මිනිස්සු තමන්ව මගහැරලා දැම්මට පස්සෙ තමන් ශක්තීන් හොයාගෙන ගිය මිනිස්සු තමයි වැඩිපුර ඉන්නේ. මෙතනදි කාරණා දෙකක් කතා කරන්න පුළුවන්. එයාලා නිසයි මට මෙහෙම වුණේ කියල එයාලට බැන බැන නොඉඳ “මට මෙහෙම දෙයක් කරන්න” තිබුණා කියල තමන්ව සාධාරණීකරණය කරගන්න.
මොකද අපිට බෑ අනිත් අයගේ සිතුවිලි පාලනය කරන්න. දාලා යන එක එයාලගෙ කැමැත්ත. දාලා ගිය අයට බැන බැන ඉන්න ගියොත් වෙන්නෙ එක තැන පල් වෙන්න. දාලා ගිය අයට බනින්න වැය කරන ශක්තිය ඔබ අභ්‍යන්තරයේ ඇති ශක්තිය හා සම්බන්ධ කරගෙන නැගිටින්න උත්සාහ කරන්න. එහෙම කෙනා අනිවාර්යයෙන්ම දවසක අවශ්‍යම මොහොතේ තමන්ව මගහැරප, දාලා ගිය අයට ස්තූතිවන්ත වේවි.
මනෝ උපදේශිකා හා
මනෝ චිකිත්සක
රොෂානි වික්‍රමසිංහ
එරංදි කෞශල්‍යා ✍️