බෞද්ධයන් වන අපට සම්බුදු සසුනේ සිදු කර ගත හැකි පූජා විධි ප්‍රධාන වශයෙන් දෙකකි.
■ ආමිෂ පූජා
■ ප්‍රතිපත්ති පූජා
මෙම පූජා විධි අතරින් බුදුරජාණන්වහන්සේ වඩාත් අගය කළ යුතු පූජාව වන්නේ ඉතා නිවරැදිව, අවබෝධයෙන් හා දැක්මකින් යුක්තව සිදු කරන ප්‍රතිපත්ති පූජාවන්ය.ආමිෂ පූජා පිංකම්වලින් මානසික වූ පින් සිතුවිළි වර්ධනය වේ. පිං සිතුවිළි නිසාම ආමිස පූජාවන් සිදු කරන පුද්ගලයාට ප්‍රතිපත්තිගරුක වූ ජීවිතයක් සංවර්ධනය කර ගැනීමට මනා වූ පිටුවහලක් ලැබෙනු ඇත. ආමිෂ පූජාවන් අතර සැදැහැතියන් විසින් ඉතා සතුටින් සිදු කරන මනරම් පිංකමක් ලෙස මුතුකුඩ පූජාව හැඳින්විය හැක.
මුතුකුඩ පූජාව…
ශාසනික වචනයන්ට අනුව මුතුකුඩ පූජාව “ ඡත්‍ර පූජාව ” යන නාමයෙන් හැඳින්වේ. ලොව වැඩ සිටින උත්තරීතර රත්නයන් ලෙස බුද්ධ රත්නය, ධම්ම රත්නය සහ සංඝ රත්නය යන තෙරුවන් ගුණ අපි නිරන්තරව සිහිපත් කරමින් වන්දනා කරමු. මෙම වන්දනාවන්හිදී ශ්‍රද්ධාබර සිතකින් පින්බර වූ සිතුවිලි ජනිත කරමින් වැඩම කිරීම සඳහා මෙම මුතුකුඩ හෙවත් “ ඡත්‍ර ” භාවිත කිරීමට සැදැහැවතුන් තුළ උනන්දුවක් ඇති වී තිබේ. එම පිංකම් සඳහා මුතුකුඩ භාවිත කිරීමද නිසා සිදු කරන පිංකම තුළ රමණීය සිත්කළු ස්වරූපයක් ආරෝපණය වේ.
මුතුකුඩ පූජාවේ ආනිශංස
කුඩයකින් අපට අව්වෙන්, වැස්සෙන් ආරක්ෂාව ලබා දෙන බැව් අමුතුවෙන් කිව යුතු නොවේ. එමෙන්ම ඔබ කුඩයක් යම් පූජා කරන්නේද තවත් අයෙකුට අව් වැසි කාලයේදී ආරක්ෂාවක් ලබා දීමටය. එතැන ඇත්තේ කරුණාවයි. කුඩයක් පූජා කිරීමේ අරමුණ වන්නේ තවත් අයෙකුට ඇති වෙන ශාරිරික පීඩාවන්ට සහනයක් ලබා දීමයි.
මෙම මුතුකුඩ පූජාවේ ආනිශංස සලකා බැලීමේදී “ අපදාන පාළිය ” ඉතා වැදගත් වේ. එහි සඳහන් වන තොරතුරුවලට අනුව “ 293 වන ඡත්තදායක තේරාපදානය තුළ “ ඡත්‍ර දායක “ නම් හිමි නම පෙර ජීවිතයකදී තමන්ගේ එකම පුතණුවන් පැවිදිව රහත් භාවයට පත්ව පිරිනිවීමට පත්ව ඇත. එම රහත් උත්තමයන්වහන්සේගේ දවාලන සෑය දැක වන්දනා කර සුදු රෙදි කැබැල්ලකින් සෑයට කුඩයක් කොට ඔසවන ලදී.
එම පින නිසා කල්ප අනු හතරක් සැප විපාක ලැබූණු බවත්, ඒ පිනින් තෙවරක් සක්විති රාජ්‍යත්වයට පත් වූ බව උක්ත තේරාපදානයේදී විස්තර කර ඇත. එම ඡත්ත හිමිපානන් පෙර අත් භවයකදී අත්ථදස්සි බුදුරජාණන්වහන්සේට සුදු කුඩයක් දරා සිටීමේ පින්කමෙන් කල්ප හැත්තෑ හතක් දෙවි මිනිස් සැප ආඪ්‍යව ලැබූ බවත්, එම කුසල බලයේ අනුහසින් 77 වතාවක් සක් දෙවිඳු වී විපාක ලැබුණු බවත් දහස් වතාවක් සක්විති රාජ්‍යත්වයට පත් වූ බවට අපදාන පාළියේ 412 වන අපදානයේ විස්තර කර ඇත. ආනන්ද හාමුදුරුවන් විසින් කරන ලද මුල්ම පිංකම වන්නේ පදුමුත්තර බුදුරජාණන්වහන්සේට අව්වෙන් ආරක්ෂාවීම සඳහා රනින් කරන ලද කුඩයක් හිසට එසවීමයි. මංමාවත්, සක්මන්, පාවහන්, හැරමිටි පාලම්, ඒ දඬු මුතුකුඩ මේ සියල්ල යාන වාහන පූජාවට ඇතුලත් වේ.
පිළින්දවච්ඡ තෙරුන් වහන්සේ මුතුකුඩ සම්බුදු සසුනට පූජා කිරීමේදී ආනිශංස අටක් ලබා ගෙන ඇත. එනම්
- ශීතලෙන් පීඩා නොලැබීම
- තම ශරීරයේ කුණු නොඇලලීම
- උපද්‍රවවලට පත් නොවීම
- අන්අයගේ ගෞරවයට පත් වීම
- සියුම් සමක් ඇති වීම
- පවිත්‍ර වූ සිතින් කටයුතු කිරීමට හැකි වීම
- උෂ්ණයෙන් පීඩා නොලැබීම
- විචිත්‍ර වූ ඡත්‍රයන් දරමින් වාසය කිරීමට ලැබීම ( මහේශාඛ්‍ය කුලවල උපත ලැබීම ) යන ආනිශංස වේ.
ආමිස පිංකම් අතරින් ඉහත තොරතුරු අනුව ලෞකික දිවිය තුළදී කායික සහ මානසික වූ සමබරතාවයකින් දෙලොව ජය ගැනීමට ඇවැසි ශක්තිය ගොඩ නගා ගැනීමට හේතු වේ. එමෙන්ම සුවපත් වූ ජීවිතයක් ගත කිරීමට ඡත්‍ර හෙවත් මුතුකුඩ පූජා කිරීමේ පිංකම උපකාරී වන බව මෙයින් පැහැදිළි වේ.
ඒ නිසාම බොහෝ සැදැහැවතුන් මේ පූජාව සිදු කිරීමට ඉතාම කැමැත්තක් දක්වන බවද සඳහන් කළ යුතු වේ. සංඝරත්නය වැඩම කිරීමේදී මුතුකුඩයක් ඔසවාගෙන වැඩම කිරීම නිසා තවත් ආනිශංසයක් ලැබෙන බැව් සඳහන් කළ යුතුය.
සංඝයාවහන්සේ මුතුකු ඔසවා ඒ යටින් සංඝයා වහන්සේ වැඩම කරනුයේ එක් අයෙකු වුවද, ඒ ගෞරණීය පිළිගැනීම පිංකමට සහභාගී වන සියළු දෙනාම නියෝජනය වෙන නිසා ධර්මය ශ්‍රවණය සේම අතිරේක පුණ්‍යානිශංසනයක් ලැබේ. මෙම පිංකම් තුළින් පුද්ගලයා මෙලොව සැනසීම අත්පත් කර ගන්නා අතරම බුදදුහමේ ඒකායන පරමාර්ථය වන නිර්වාණාවබෝධය ලැබීමට ඇවැසි ප්‍රතිපත්ති පූජාවන් වර්ධනය කර ගැනීමද වැදගත් බැව් අවසාන වශයෙන් සඳහන් කළ යුතු වේ.
කෝන්කටුව ශ්‍රි බෝධිගිරි විහාරාධිපති
ඇඹිලිපිටිය සිරිරතන මූලික පිරිවෙන්
පරිවෙනාධිපති
ගෞරව ශාස්ත්‍රවේදී
දොරපනේ ඉන්දරතන හිමි
ශ්‍රි බෝධිගිරි විහාරය
කෝන්කටුව ඇඹිලිපිටිය
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️