මිනිසුන්ගේ හැකියාවන් හරිම අපූරුයි. ඒවා අපි මතුපිටින් දකින්නේ නැහැ. නමුත් මේ හැකියාව සමග නිර්මාණශීලිත්වය එකට යා වෙන දවසක් එළැඹෙනවා. එදාට ලෝකය වෙනුවෙන් අපූරු නිර්මාණ එළි දක්වන්න ඔවුන්ට හැකියාවක් ලැබෙනවා. ජපන් ජබර කියන්නේ ආක්‍රමණශීලී පැලෑටියක්. ජපන් ජබර ඉතිහාසය දෙවන ලෝක යුද්ධ කාලයට සම්බන්ධයි. ජපානය සහ ජර්මානු ප්‍රහාරක ගුවන් යානාවන් නොමග යැවීම සඳහා මේ වෙන විට මිත්‍ර පාර්ශවික රටක් ලෙස සැලකුන ලංකාවේ ජලාශවල ජපන් ජබර පැලෑටිය වගා කිරීමට පටන් ගත්තා. ජලාශයන්හි ජපන් ජබර වගා කළ විට එය ගුවනට පෙනෙන්නේ හිස් පිට්ටනියක් හෝ භුමියක් විදිහටයි. එවැනි තැනක ගුවන් යානාව ගොඩ බැස් වූ විට යානාව ගිලා බැස්වීම උපක්‍රමයක් ලෙසින් ඒ කාලයේදි භාවිත වුණා. නමුත් මේ උපක්‍රමය අපට පසුකාලයේදී විශාල තර්ජනයක් බවට පත් වුණා.
ජපන් ජබර කෘෂිකර්මාන්තයට වගේම මිනිස් අවශ්‍යතා සඳහා ජලය ලබා ගැනීමටත් ගැටලුවක්. වැව් පිටාර ගලන කාලයට වාරි පද්ධති පවා අවහිර වෙනවා. නමුත් මේ ආක්‍රමණශිලී පැලෑටියෙන් කලාත්මක නිර්මාණයන් කරන අපූරු පුද්ගලයෙක් රාජාංගනය ප්‍රදේශයෙන් හමු වුණා.
ඔබ ගැන කියලම මේ කතාව පටන් ගමු
මගේ නම රනිල් වසන්ත. මම යුධ හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවා කාලය අවසන් කිරීමෙන් පසුව විශ්‍රාම ගත්තා. අපේ පළාතේ වැව්වල ජපන් ජබර ආක්‍රමණික ශාඛ නිසා ජලය පාවිච්චියට ගත නොහැකි විදිහට අපවිත්‍ර වෙනවා. පාරිසරික වශයෙන් මේ තත්ත්වය ලොකු ගැටළුවක්. මේ ගැන විකල්ප හොයන කාලයක “ යළි පිබිදුම ” වැඩ සටහන පටන් ගත්තා.
මේ වැඩ සටහන නේපාලයේ ව්‍යාපෘතියක්. ඔවුන් ඒ රටේ “ ලොක්ටා ” ශාඛයෙන් කඩදාසි නිර්මාණය කරනවා. ඒ වගේ අපේ රටේදි කරන්න පුළුවන් මොනවද කියල අධ්‍යනයක් කරන විට මේ ජපන් ජබර, සේර, අලි මානා, කෙසෙල් වැනි ශාඛ ගැන අවධානය යොමු වුණා.
ඒ වගේම කෙසෙල් අපද්‍රව්‍ය. කොහු වගේ දේවල් ආදේශ කර බැලුවා. මාන සහ කෙසෙල්වලින් නිෂ්පාදන කළාම ඒවා ගොරෝසු ගතියක් තිබුණා. නමුත් ජපන් ජබර බොහොම මෘදුයි. තන්තු බහුලයි. ඒ නිසා අවසානයේදී ජපන් ජබරවලින් කඩදාසි නිෂ්පාදනය කරන්න නේපාල ව්‍යාපෘතිය තීරණය කළා.




ඔබ ඒ වෙනුවෙන් සන්නාමයක් ගොඩ නගා ගත්තා.
ඔව්. මම මේ වැඩ සටහන “ MANA” යනුවෙන් නම් කළා. පරිසර හිතකාමී අත්කඩදාසි ලෝකයට ලබා දීම මගේ සන්නාමයේ අරමුණයි. අපේ පරිසරය හරිම ලස්සනයි. ආක්‍රමණික ශාඛ නිසා ලස්සන ජලතලා විනාශ වෙනවා. ජපන් ජබර වැනි ශාඛ පරිසරයෙන් ඉවත් කිරීම පහසු නැහැ.
මෙතැනින් ඉවත් කළත් ඒවා තවත් තැනක එකතු වෙනවා. ඒ නිසා පාරිසරික වශයෙන් ගැටළුවක් ඇති නොවන අන්දමින් මේ ආක්‍රමණික ශාඛ ඉවත් කිරීමට විකල්පයක් විදිහට අත්කඩදාසි නිෂ්පාදනය හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම මේ කර්මාන්තයෙන් ග්‍රාමීය සංවර්ධනයක් ඇති වෙනවා. ගමේ අයට රැකියා උත්පාදනයක් ගොඩ නැගෙනවා.
මෙම නිෂ්පාදන වෙනුවෙන් රසායනික සංයෝගයක් එකතු කිරීම සිදු වෙනවාද?
නැහැ. මේවා සම්පූර්ණයෙන්ම ස්වභාවිකයි. අපි මුලින්ම ජපන් ජබර ශාඛ කපා ගෙනැවිත් ඒවා හොඳින් පිරිසිදු කරනවා. එතැනින් පසුව මේ ශාඛ කුඩා කුඩා කැබලි කරනවා. එතැනින් පසුව කැපූ ජපන් ජබර ශාඛ කැබලි හොඳින් තම්බනවා. හොඳින් සෝදා මේවායේ තන්තු වෙන් කර ගෙන වතුර එකතු කරමින් බ්ලෙන්ඩ් කරලා පල්පයක් හදා ගන්නවා.
ලී රාමුවක දැල් ගසා සාදා ගත් බන්දේසිය වතුර ටැංකියක් මත තබා සාදා ගත් පල්පය ඒ මත අතුරනවා. එතැනින් පසුව වතුර බේරා ගෙන පල්ප බන්දේසිය ඉර අව්වේ වියලා ගත්තාම දැල් බන්දේසියේ ප්‍රමාණයට හතරැස් කඩදාසියක් ලැබෙනවා. මේ කඩදාසිය Calending යන්ත්‍රයක දමා පදම් කර ගෙන නිමාව ලබා ගන්නවා.අපි මේ අත්කඩදාසි නිෂ්පාදනය කිරීමේදී කිසිම රසායනික ද්‍රව්‍යක් එකතු කරන්නේ නැහැ. ස්වභාවික වර්ණයෙන්ම ඒවා නිම වෙනවා.

සංචාරකයන් අතර ඉල්ලුම…
සංචාරකයන් අතර හොඳ ඉල්ලුමක් තිබෙනවා. ජපන් ජබර අත් කඩදාසිවලින් පොත්, නෝට් පොත්, දින දර්ශන, ආරාධනා පත්‍ර, බිත්ති සැරසිළි, තෑගි අයිටම්, බෑග් සහ කාඩ්ස් වැනි විවිධ විසිතුරු නිර්මාණ කරනවා. සංචාරක කලාපවලට මේ නිෂ්පාදන අලෙවි කරනවා.අපි මේ නිර්මාණ කරද්දී ඒ ඒ පළාතට අනන්‍ය විදිහට සකස් කරනවා.
උදාහරණයක් විදිහට සීගිරිය වගේ පළාතක නිර්මාණවලට සීගිරි අප්සරාවෝ, මහනුවර පළාතට දළදා මාළිගාව වගේ සිතුවම් නිර්මාණ කරනවා. සංචාරකයන්ගෙන් හොඳ ඉල්ලුමක් ලැබෙනවා. තෑගි විදිහටත් ඔවුන් ඒවා තමන්ගේ හිතවතුන්ට ලබා දීමට මිළට ගන්නවා. සංචාරය කරන පළාතේදී මිළට ගන්නා ඒ පළාතට අනන්‍ය සිහිවටනය ඔවුන්ට රසවත් මතකයක්.
එතකොට අපේ රටේදී ලැබෙන ඉල්ලුම ගැනත්…
අපේ රටේත් මේ කඩදාසිවලට හොඳ ඉල්ලුමක් තිබෙනවා. මේ අත්කඩදාසි යොදා ගෙන සකස් කරපු ආරාධනා පත්‍රවලට හොඳ ඉල්ලුමක් ලැබෙනවා. අත්කඩදාසියක පෙනුම එයටම අනන්‍ය ස්වභාවයකින් යුක්ත වෙන නිසා අනිත් කඩදාසි අතර සුවිශේෂි බවක් තිබෙනවා.
අපනයනය කිරීමට අදහසක් නැතිද…?
දැනට කැනඩාව සහ මාලදිවයිනට මේ කඩදාසි අලෙවි කරනවා. 2024 වසරේ වාණිජ මණ්ඩලය මගින් ප්‍රදානය කරන ලද“ ලෝකඩ පදක්කම ” මම ලබා ගත්තා. මගේ මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට කර්මාන්ත සංවර්ධන මණ්ඩලයෙන් ලැබුන සහයෝගය මෙහිදී විශේෂයෙන් සිහිපත් කරනවා.
අනාගතයේදී ඔබේ තවත් අරමුණු තිබෙනවාද…?
මගේ තවත් ඉලක්කයක තිබෙනවා. අනුරාධපුරයේ පූජා නගරයේ දවස්පතා බැතිමතුන් විසින් පූජා කරන මල් විශාල ප්‍රමාණයක් ඉවත දානවා. ඒ මල් යොදා ගෙන කඩදාසියක් හදන්නත් මගේ අදහසක් තිබෙනවා. එහෙම වුණොත් අනාගතයේදී අපට ඉවත දමන මල් වෙනුවෙනුත් පරිසර හිතකාමී විකල්පයක් සමාජගත කරන්න ලැබේවි.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️