පාසලේ දරුවන්ට පොල් ගස ගැන ලියාගෙන එන්න කිව්වොත් ඒ දරුවා වැඩිහිටියන්ගෙන් විස්තර අහනවා. යම් වයසක නම් පොත් පත් හෝ අන්තර්ජාලයෙන් තොරතුරු සොයනවා. නමුත් ගහක් ගැන තොරතුරු ගහෙන්ම ලබා ගන්න දවසක් අනාගතයේදී ලැබේවි.
ඉතින් මේ තාක්ෂණයේ අයිතිකරුවන් කවුද…?
බාසුරු විජේසුන්දර සහ මධුශංක බණ්ඩාර ගස් කතා කරවන අයිතිකාරයෝ. මේ දෙන්නා මාතලේ පදිංචිකරුවන්. ක්‍රිස්තුදේව විද්‍යාලයෙන් ජීව විද්‍යා අංශයෙන් ඔවුන් ඉගෙනුම ලැබුවා. පාසල් කාලයේ පටන්ම මේ දෙන්නා හොඳ මිතුරන්. ඒ වගේම විවිධ නවෝත්පාදන කටයුතුවල නිරත වුණා. විශේෂයෙන් විද්‍යා ප්‍රදර්ශනවල රොබෝ තාක්ෂණ නිපැයුමක් තිබුණොත් එහි අයිතිකරුවන් වුණේ බාසුරු සහ මධුශංඛ…
අද ඔවුන් ගස් සමග කතා කරන්න හැකියාවක් ඇති තාක්ෂණයක් හොයා ගෙන තිබෙනවා…
2019 වසරේ රටේ ආර්ථිකය සමග විශාල වෙනසක් ඇති වුණා. මේ කාලයේ අපි E Learing ක්‍රමය පටන් ගත්තා. නමුත් තාවකාලිකව Zoom තාක්ෂණය යටතේ දරුවන් හා පංති කාමරය සම්බන්ධ වුණා. නමුත් යුරෝපා රටවල්වල මේ ක්‍රමය ඉතා සාර්ථකයි. ඉතින් අපි විවිධ විදිහට විද්‍යුත් තාක්ෂණය ඔස්සේ තොරතුරු සමාජගත කරන ක්‍රමවේද සංවර්ධනය කිරීමට සූදානමින් ඉන්නවා.
මේ වෙනුවෙන් මුල පිරීම සිදු වුනේ කොහොමද?
මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙනුවෙන් අපි QR කේත ක්‍රමයක් සකස් කළා. මේ වෙලාවේ අපට ගස් විතරක් නොවෙයි,සංචාරකයන්ගේ ආකර්ශණීය ස්ථාන අලලා ක්‍රමයට විස්තර තනියෙන්ම ලබාගත හැකි ක්‍රමයක් සකස් කළා. මේ ව්‍යාපෘති වාර්තාව අපි සංචාරක මණ්ඩලයටත් ඉදිරිපත් කළා.

ඉතින්… කොහොමද ගහක් එක්ක කතා කරන්නේ…
මෙතැනදී අපි කේතයක් ගහට ලබා දෙනවා. නමුත් ඇණ වගේ දෙයකින් මේ කේතය අමුණන්න ගියොත් ගහට තුවාල වෙනවා. ඒ නිසා අපි කේතය ගහේ රඳවනවා. ඔබ මේ ගහ සමීපයට ගිහින් ගහේ විස්තර විමසා සිටියොත් ඒ ගැන විස්තර ඔබට ලැබෙනවා. ගහේ උද්භිද විද්‍යාත්මක නම… ආයු කාලය… ගහේ ප්‍රයෝජන මේ වගේ විස්තර ලබා ගන්න පුළුවනි. අන්තර්ජාලයෙන් දරුවා ලබා ගන්නා තොරතුරු නැවත Filter කරන්න වෙනවා. එතැන අවශ්‍ය වගේම අනවශ්‍ය තොරතුරුත් තිබෙනවා. නමුත් මේ ක්‍රමයේදී ඒ ගැටළුව නැහැ. ගහෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද…? ඇහුවොත් ඔහුට ඒ තොරතුරු විතරක් ලබා දෙනවා.

ඒ විතරක් නොවෙයි, ගහ සහ මිනිසා අතර සංවේදී බැඳීමක් ගොඩ නැගෙනවා. ඔබ කපන්නද… ගහේ මල් කඩන්නම්… වගේ තොරතුරක් විමසා සිටියොත් අනේ මාව කපන්න එපා… මට හිරිහැර කරන්න එපා කියන පණිවිඩය අපට ලැබෙනවා. එය බොහොම සංවේදී ඉල්ලීමක් වෙනවා. අපේ දරුවන් දැන් විනෝද චාරිකා යනවා. ලංකාවේ දර්ශණීය තැන නරඹන්න ඔවුන් හරිම කැමැතියි.
අම්මා… තාත්තා කට කැඩෙනකම් කියනවා. පුතේ… ඔය නොදන්න තැන්වල නාන්න එපා කියලා. නමුත් දරුවාට එය මතක නැහැ. මේ ක්‍රමයේදී අපි ලංකාවේ තියෙන දියඇළිවලටත් කේත ක්‍රමය ලබා දෙනවා. උදාහරණ විදිහට මාතලේ දිස්ත්‍රික්කයේ තිබෙන “ බඹරකිරිඇල්ල ” ඉතාම පිරිසිදුයි. සේර ඇල්ල ස්නානනයට අනතුරුදායකයි. ඔබ ගිහින් සේර ඇල්ලෙන් මෙහෙම අහනවා.

මට මෙතැන නාන්න පුළුවනිද…?
එතකොට මේ දියඇල්ල පිළිතුරු දෙනවා.
එපා… ඔතන අනතුරුදායකයි… බිසෝ ඇල්ල ළඟට ගිහින් අපට ඔබේ ඉතිහාසය ගැන දැනගන්න පුළුවන්ද ඇහුවොත්. දියඇල්ලේ ඉතිහාස කතාව අහගන්න පුළුවන්.
මේ ක්‍රමය ChatBoT හා සමානයි නේද…?
නැහැ. ChatBoT වලදී අපි අහන ඕනෑම ප්‍රශ්නයකට මොනවා හෝ පිළිතුරක් ලබා දෙනවා. නමුත් මෙතැන එහෙම නැහැ. නොදන්නා තොරතුරු ලබා දෙන්නේ නැහැ. මම ඒ ගැන දන්නේ නැහැ. කියන පිළිතුර ලැබෙනවා. අද සංචාරකයන් පැත්තෙන් මෙය ඉතාම වාසිදායකයි. ඔවුන්ට නිවරැදිම තොරතුරු ලැබෙනවා.
දරුවන් වුණත් මේවා සමග කතා කරන්න කැමැතියි. ගෙදර මහ පොතක් ඇත. එකක්වත් මතක නැත. කිව්වත් මෙතැනදී ඒ ගැටළුවත් නැහැ. ඒ ඇයි කිව්වොත් දරුවා ගස හෝ දියඇල්ල සමග සෘජුවම කතා කරනවා. ඔවුනොවුන් අතර සමීප සම්බන්ධයක් ගොඩ නැගෙනවා. ලැබෙන තොරතුරු හොඳින් ධාරණය වෙනවා.
ගසක් සම හැර වෙනත් කටයුතුවලටත් QR කේත යොදා ගන්න පුළුවනිද…?
ඔව් ඖෂධ පැත්තෙන් ගනිමු. රෝගියා ලබා ගන්නා ඖෂධයේ නම’’ එය වෛද්‍යවරයා නිර්දේශ කළේ ඇයි. අපි කියමු මේ ඖෂධය ලබා ගත්තාට පසුව රෝගියාට නිදිමත ගතියක් ඇති වෙනවා. එවිට කේත ක්‍රමයෙන් පිළිතුරු ලැබෙනවා. බයවෙන්න එපා. මේ ඖෂධය නිසා ඇති වුණ අතුරු සංකුලතාවයක්.
මුළුතැන් ගෙටත් පුළුවන්ද…?
අපි යම් නිෂ්පාදනයක් ගත් විට එහි සකස් කරන ක්‍රමයක් තිබෙනවා. එය හැමදාම එකම වට්ටෝරුවක්. නමුත් අපට වෙනස් ක්‍රමයකට අවශ්‍ය වෙනවා. එවිට ක්‍රමය මගින් තව තවත් ක්‍රම කියා දෙනවා. ඒ විතරක් නොවෙයි, මේ ආහාරය සකස් කරන්න ගොරක අවශ්‍යයි. නමුත් ගෙදර ගොරක නැහැ. ඔබ කේත් ක්‍රමයෙන් අහනවා. එහෙමනම් සියඹලා දාන්න. වගේ ආදේශක කියා දෙනවා.

මේ කේත ක්‍රමයෙන් ඕනෑම භාෂාවකින් පිළිතුරු ලැබෙනවාද…?
දැනට යුනිකෝඩ් ” සම්බන්ධ භාෂා සියයක් පමණ ඇතුලත්. සිංහල භාෂාව යුනිකෝඩ් වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීම දුර්වල නිසා යම් ගැටළුවක් තිබෙනවා. නමුත් අපි සිංහල සුමට විදිහට උච්චාරනය කරන වැඩ සටහනක් සූදානම් කරනවා.
මේ වෙනුවෙන් දැනුම ලබා ගැනීම…
මේ සඳහා හොඳම දැනුම හොඳම විදිහට යොදා ගන්නවා. අපි ඖෂධ ගැන නම් ඒ පිළිබඳව හොඳ දැනුමක් ඇති කෙනෙක් අවශ්‍යයි. ආහාර වට්ටෝරුවක් නම් ඒ වෙනුවෙන් වූ දැනුම උපරිම අයෙකුගේ සහය අවශ්‍යයි.
ගැබිණි මවකට මේ කේත ක්‍රමය යොදා ගෙන ගත යුතු ආහාර, එන්නත් දින… වගේම අවශ්‍ය පෝෂණය ගැනත් විස්තර අසා දැන ගන්න පුළුවන්.
දැනට කතා කරන ගස් තියෙන්නේ කොහෙද…?
මාතලේ සුපිරි වෙළඳසැල ඉදිරියේ කතා කරන ගස් දහයක් පමණ තිබෙනවා. ඔබට ඇවිත් ගස් සමග කතා කරන්න පුළුවනි. ඉදිරියේදී සංචාරක ස්ථාන 70 ක් වෙනුවෙන් මේ කේත ක්‍රමය යොදා ගැනීමට අපි අවසර අරගෙන ඉන්නවා.මේ වෙනුවෙන් විශාල පිරිවැයක් අවශ්‍ය වෙනවා. නමුත් ආයතන මටට්මින් ඔවුන්ගේ නිෂ්පාදන සඳහා ලබා දෙන්න කිව්වොත් තාක්ෂණය ලබා දීමට අපි සූදානම්. ඒ වගේම දැනුම ලබා දෙන සම්පත් දායකයන් අවශ්‍යයි. ඒ වගේ ගැටළු තිබෙනවා. මෙතැනදී නිවරැදි දැනුම ලබා දීම ඉතාම වැදගත්.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️