ලෝකය සීඝ්‍රයෙන් වෙනස් වෙමින් ඉදිරියට යයි. එය විද්‍යාත්මක මෙන්ම සංස්කෘතික වශයෙන්ද ලොවටම පොදුය. ඉපැරණි නවක වද සම්ප්‍රදායක් අප පවත්වාගෙන යන්නේ ඇයිද යන්න අද ලංකාවේ දස දෙසින් මතුවන ප්‍රශ්නයයි. නවක වදය නිසා ඇතිවන මානසික හා චිත්තවේගීය කැළැල් (Mental and Emotional Scars) මතුපිටින් බලා තේරුම්ගත නොහැකියි. ශාරීරික හිංසනය පසෙක තැබුවත් මේ මානසික හිංසනය කුරිරුයි. ඒ නිසාම නවකයින්ට දෙන මෙම ආරම්භක පිළිගැනීම මුලිනුපුටා දැමීමට මේ කාලයයි.
සිහින බොඳකරයි
අලුතින් විශ්වවිද්‍යාලයකට එන්නේ අනාගතය ගැන සුන්දර සිහින මවමිනි. මේ සිහින අධ්‍යාපන බලධාරීන් නොවන පිරිසකගේ අතින් බොඳ කළ හැකිද යන්න ප්‍රශ්න කළ යුතුමය. යම් කටයුත්තකින් නරකක් සිදුවේ නම් තවදුරටත් එහි හොඳ පැති දැකිය යුතු නොවේ. එසේ දකිමින් රැකීම සමාජ විරෝධීයි. බිය, නින්දාව සහ ජීවිත අහිමිවීම දැන් දැන් ප්‍රභලව මතුවෙමින් පවතී.
පවතින නීති ක්‍රියාත්මක විය යුතුයි
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ආයතනවල නවක ශිෂ්‍යයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මුදා හැරිම (ප්‍රචණ්ඩත්වය යන්නට මානසික ප්‍රචණ්ඩත්වයද අදාළ කළ හැක) වැළැක්වීම සඳහා 1998 අංක 20 දරණ පනත ස්ථාපිත කර ඇත. එය ක්‍රියාත්මක නොවෙනවා පමණක් නොව වින්දිතයින් වෙනුවෙන් ආරක්ෂණ යාන්ත්‍රණ, ආයතනික ආධාරක පද්ධති ක්‍රියාත්මක වෙමින් මහජන දැනුවත්භාවයද වැඩිවිය යුතුය. නවකවදයට එරෙහිව කතා කිරීම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූවන්ට පමණක් හිමි අයිතියක් නොවේ.
මානසික සෞඛ්‍යයට තර්ජනයක්
නවකයාගේ මානසික ගැටලු මහජන මානසික සෞඛ්‍ය හා බද්ධ වේ. නවකවදය හේතුවෙන් කාංසාව, මානසික අවපීඩනය, නින්ද නොයාම සහ පශ්චාත් කම්පන ආතතිය (Post-Traumatic Stress ) ඇතිවිය හැකි බව මනෝ වෛද්‍යවරු අනතුරු හඟවති. තමුන් නොවටිනා බව හැඟීයාම සහ චිත්තවේගීය අංශභාගය, (Emotional Paralysis) සියදිවි නසා ගැනීමට පොළඹවයි. කීර්තිමත් ඉන්දීය කෙටි දුර ධාවන ශූරියක වන දුටී චාන්ද් පවා තම ක්‍රීඩා ජීවිතයේ මුල් අවධියේදී තමා හිරිහැරයට ලක්වූ ආකාරය හෙළි කරමින් එම චිත්තවේගීය වේදනාව තමාට දරාගත නොහැකි වූ බව මෑතකදී ප්‍රකාශ කළාය. එය එසේ වුවත් ඉන්දියාව දැඩි නවක වද මර්දන පියවර අනුගමන කරයි. එය ශ්‍රී ලංකාවට ආදර්ශයකි.
නවක වදයට නිර්වචනයක් සැපයිය හැකිද?
වෙනත් ශිෂ්‍යයකුට යම් අපහසුතාවක්, මානසික හානියක්, බියක් හෝ පහත් කිරීමක් ඇතිකරන ඕනෑම ක්‍රියාවක් නවක වදය ලෙස, ඉන්දියානු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අර්ථ දක්වයි. එය වාචික, ලිඛිත හෝ ශාරීරික විය හැකියි. යමකුට නින්දා සහගත ක්‍රියාවක් කිරීමට බලකිරීම, ඔවුන් ලැජ්ජාවට පත්කිරීම හෝ මානසික ආතතිය ඇති කරන්නේ නම් ඒ නවක වදයයි.
නිහඬතාව අවසන් කළ යුතුයි
සිසුන් නිහඬව සිටින්නේ නවකවදය අනුමත කිරීම නිසා නොවේ. එසේ වන්නේ එරෙහි වීමට ඇති බිය, තමුන් වෙනුවෙන් කෙරෙන ආයතනික පිළියම් කෙරෙහි ඇති අවිශ්වාසය නිසාය. මේ නිහඬතාව බිඳ දැමීමට නම් විශ්වවිද්‍යාල මගින් සියලුම සිසුන් වෙනුවෙන් ආරක්ෂිත පරිසරයක් ඇතිකළ යුතුය. සමාජය මගින් සමාජගත කිරීමේ විනෝදාත්මක සම්ප්‍රදායක් ලෙස නවක වදය අර්ථ ගැන්වීමෙන් වැළකී එය අපරාධයක් ලෙස වර්ග කළ යුතුය.
https://www.healthshots.com/mind/mental-health ඇසුරින්
සුනිල් අල්ගම ✍️
නවකයින්ට කැම්පස් එපා කරවන නවක වදය

Leave a comment