ජීවිතේට එන ඕනම ප්‍රශ්නෙකදි මුලින්ම වෙන්නෙ අපි කඩාවැටෙන එක. අපි ලේසියෙන්ම ඒකට දානවා නමක් ස්ටේරස් හෝ ඩිප්රෙෂන් කියලා. මෙහෙම කඩාවැටෙන ඕනම වෙලාවක අපි නිරන්තරයෙන් හිතන්නෙ ගැටලුව ගැන විතරයි. නැතුව ගැටලුවට පිළිතුරු නෙවේ. ඒ නිසා තමයි හැකි ඉක්මණින් වැටිලා ඉන්න තැනින් නැගිටින්න ඕන. ඩිප්රෙෂන් තියෙන කෙනෙක් නම් නිතර හිතන්නෙ “අයියෝ මට මෙහෙම වුණා, ඇයි මට මෙහෙම වුණේ?, දැන් මං මොකද කරන්නෙ?” වගේ දේවල්. නමුත් කරන්න ඕනෙ ප්රශ්නය ගැනම හිත හිත ඉන්නවට වඩා මම දැන් මේ ප්‍රශ්නෙට මොකද කරන්නෙ කියන දේ ගැන හිතන එක. ප්රශ්නය තියෙනවා ඒකෙ වෙනසක් නෑ. නමුත් පිළිතුරක් තියෙනවා නම් අපිට පුළුවන් ප්රශ්නය ලිහාගන්න.
අපි සංස්කෘතික වශයෙන් හෝ ආගමික වශයෙන් ගොඩනැගිලා ඉන්නවා ලැබෙන දේවල් බාරගන්න. පාඩුවක් අසාධාරණයක් වුණත්, ලෙඩක් හැදුණත් අපි හිතනවා මේක මගේ ලැබීම වෙන්නැති, පෙර කරපු අකුසලයක් වෙන්නැති කියලා. මේකෙන් අප විසින් ගොඩනැගීමට උත්සාහ කිරීම මගහැරෙනවා. මේකට ලොකුම ප්‍රශ්නෙ ආකල්ප. ඕනම අභියෝගයක් අපට පුළුවන් නම් අවස්ථාවක් කරගන්න ඒ ඇතුළේ තියෙනවා උත්තරයක්. නමුත් අපි හිතන්නෙ ඕනම ප්‍රශ්නෙකට තියෙන්නේ එක උත්තරයයි කියලා. උදාහරණයකට කැඩුණු ප්‍රේම සම්බන්ධයක් ගත්තොත් ගෑනු ළමයා, පිරිමි ළමයා දුක් වෙන්නෙ ‘මට එයාවමයි ඕනෙ එයා නැතුව මට ජීවත් වෙන්න බෑ’ කියලා.
ජීවිතේ යම් සිදුවීම් අමතක කරන එක අයිති මොළේට. මා ගාවට පැමිණෙන බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි “මට එයාව අමතක කරන්න ඕනෙ” කියන දේ. එයාව අමතක කරන්න මේ වෙනකල් කළේ මොනවද ඇහුවම කියන්නෙ හැමදාම උත්සාහ කරනවා නමුත් බැරිවුණා කියලා. දෙයක් අමතක කරන්න ඕන කියල නිතරම හිතන එකෙන් වෙන්නෙත් ඒ සිදුවීම නැවත නැවත අපට මතක් වෙන එක.
රැකියාව පැත්තෙන් ගත්තොත් අපිට දරාගන්න අමාරු පීඩනයක් එක්ක අපි වැඩ කරනවා වෙන්න පුළුවන්. නමුත් රැකියාවෙන් ඉවත් වෙන්න උත්සාහ කරන්නෙ නෑ. ඒ මොකද එතනින් පිට හිතන්න අමාරුයි. මේ රස්සාව නැත්නම් ජීවිතේම ඉවරයි කියල හිතන් ඉන්නවා. නමුත් ඊට වඩා හොඳ රැකියාවක් පොඩ්ඩක් හෙව්වා නම් ලැබෙන්නත් ඉඩ තියෙනවා. ඔය වගේ අපි හිතන්නෙ ප්‍රශ්නෙකට තියෙන්නේ එක උත්තරයයි කියලා. නමුත් ප්‍රශ්නයක් ගොඩනැගෙන හැම මොහොතකම ඒ එක්ක උත්තර කිහිපයකුත් නිර්මාණය වෙනවා. ඒකනෙ නිතරම කියන්නෙ නිතරම Plan B එකකුත් තියාගන්න කියලා.
Breakup එකක් වුණොත් පොඩි කාලයක් මනසට නිදහසක් දෙන්න. ප්‍රේම සම්බන්ධය තිබුණ කාලෙ මගහැරුණු දේවල්වලට අවධානය දෙන්න. යම් දෙයක් ඉගෙනගන්න. නමුත් බොහෝ දෙනා මේ දේ කරන්නෙ නෑ. ඕනෑම දෙයක් දිහා ධනාත්මකව බලන්න පුළුවන් නම් ප්‍රශ්න ගොඩක් දුරට අඩුවෙනවා. හැමදේම දිහා සෘණාත්මකව බැලුවොත් වෙන්නෙ තමන් විසින්ම තවත් ප්‍රශ්නයක් නිර්මාණය කරගන්න එක.
සාමාන්‍යයෙන් අපේ මොළේ ස්වභාවය තමයි අපි වැදගත් දෙයක් ගැන මතක් කරනකොට මොළේ ඊට මුල් තැන දෙන එක. වැදගත්කමක් දෙන්නෙ නැති දේවල් ක්‍රමානුකූලව මකල දානවා. උදාහරණයක් විදිහට අපි උසස් පෙළට, සාමාන්‍ය පෙළට පාඩම් කරපු දේවල් දැන් අපිට මතක නෑ. නමුත් අපිට හොඳින් මතකයි විභාග පැවැත්වුණු වර්ෂ හා ඒ ආශ්රිත සිදුවීම්.
ඒ නිසා හොඳම දේ දෙයක් අමතක කරන්න බලෙන් උත්සාහ නොකිරීම. මුලින්ම ඒ සිදුවීම එකසැරයක් මතක් කරගන්න. ඊට පස්සෙ සිදුවීම තේරුම් ගන්න. ඒ නිසා ඒක ජීවිතේට පාඩමක් විදිහට මතක තියාගෙන ඉස්සරහට යන්න. නැත්නම් සම්පූර්ණයෙන් අමතක කළොත් වෙන්නෙ ආයෙමත් ඒ දේට මුහුණ පාන්න සිදුවෙන එක. පාඩම් ඉගෙන ගන්න පුළුවන් සිදුවීම් මතක තියාගන්න. නමුත් අමිහිරි සිදුවීම්වලට මූලික තැන දෙන්න එපා.
ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක හා මනෝ චිකිත්සක
ඩී. එස්. හේවගේ
එරංදි කෞශල්‍යා ✍️
ජීවිතේට Plan B එකකුත් තියාගන්න

Leave a comment