මඩොල් දූව කිව්වාම අපට මතක් වෙන්නේ මාර්ටින් වික්‍රමසිංහයන් විසින් අපේ හිතේ නිර්මාණය කළ පුංචි දූපතක කතාවයි. ඒ කාලයේ බොහෝ දරුවන් මේ මඩොල් දූව බලන්න යන්න ආසාවෙන් කාලය ගත කළා. නමුත් අදටත් කොග්ගල ගංදූව දූපතේ ජීවත්වෙන එල්. ජී. එච් සඳුනි වාසනා ගැන කවුරුත් නොදන්නවා වුණාට අපිට කතා කරන්න විශේෂත්වයක් තිබෙනවා.
ඔබ දූපතක ජීවත්වීමට ගත් තීරණය ගැනත් කිව්වොත්…?
මගේ තාත්තා මේ දූපතේ ජීවත් වුණා. ඔහු කුරුඳු වගා කරුවෙක්. මම හබරාදූව මාර්ටින් වික්‍රමසිංහ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. තාත්තා නැති වුණාට පස්සේ මේ කර්මාන්ත කර ගෙන යන්න කෙනෙක් නැති නිසා මමත් තාත්තාගේ අඩි පාරේ ගියා.
දැනට ගංදූව දූපතේ ජීවත් වෙන්නේ?
මම ඉපදුණේ මේ දූපතේ. මගේ සීයා මුලින්ම මේ දූපතට ඇවිත් හෙළි පෙහෙලි කර ගෙන කුරුඳු වගාව පටන් ගත්තා. ඊට පසුව අපේ තාත්තා විදේශිකයන්ට කුරුඳු කර්මාන්තය ගැන විස්තර කියා දුන්නා. දැන් මගේ තාත්තා ජීවතුන් අතර නැහැ. අදටත් මම වගේම තවත් පවුල් පහක් මේ ගංදුව දූපතේ ජීවත් වෙනවා. ඒ අයත් අපේ තාත්තාගේ සහෝදරයෝ. ඒ හින්දා අපට ලොකු ශක්තියක් තිබෙනවා. මේ දූපත ගොඩබිමට සම්බන්ධ නැහැ. අපට අවශ්‍ය දේවල් ගන්න ඔරුවකින් ගොඩ බිමට යන්න එන්න ඕන.

ඔබ දැනට කරන්නේ?
අපේ රටට විදේශිකයෝ ආවාම ගයිඩ්ලා ඒ ගොල්ලන් කොග්ගල ගංදූව දූපතට එක්ක ගෙන එනවා. ඒ ගොල්ලන් එන්නේ කුරුඳු තලනවා බලන්න. අපේ රටේ කුරුඳු රසය සහ සුවඳ ගැන ලෝකයම දන්නවා. සංචාරකයෝ අපේ රටට එන්න පෙරාතුව පටන්ම නරඹන්න යන ස්ථාන ගැන සැලසුමක් අරගෙන එන්නේ. ඒ අතරට ගංදූව දූපතත් අයිති වෙනවා.
මව්භාෂාවෙන් හැදෑරීම ඉතාම වැදගත්.
සන්නිවේදනය ලැබෙන්නේ භාෂාවෙන්. විදේශිකයන් හැම කෙනෙකුටම වුණත් ඉංග්‍රිසි භාෂාව බැහැ. ඒ වගේම සංචාරකයන්ට මග පෙන්වන අයට වුණත් ඔබ සිංහලෙන් හෝ ඉංග්‍රිසියෙන් සඳහන් කරන දෙය පෙරලා සංචාරකයන්ට පැහැදිළි කිරීම අපහසුයි. ඒ නිසාම අපේ අත්දැකීමෙන් පවා දන්නා දෙයක් තියෙනවා. අපේ සංස්කෘතික උරුමයන් නරඔන්න එන සංචාරකයන්ට පවා මාර්ගෝපදේශකයන් සඳහන් කරන දේ සමහර විට නිවරැදි නැහැ. මෙතැන භාෂාව ප්‍රබල අවියක්. සාමාන්‍යයෙන් භාෂා විශාරදයන් පවා සඳහන් කරන දෙයක් තියෙනවා. අපි වෙනත් දෙයක් ඉගෙන ගන්නවා නම් එය මව් භාෂාවෙන් හැදෑරීම ඉතාම වැදගත්. වැඩියෙන් අවබෝධ කර ගැනීමට නම් මව් භාෂාව වැදගත් වෙනවා.

මෙතැනින් සංචාරකයන්ට සිදු වෙන අසාධාරණයට ඔබ ගෙන් ලැබෙන විකල්ප විසඳුම ගැන… කිව්වොත්…?
ඔව් අපි කුරුඳු තලනවා දිහා බලාගෙන හිටිය පමණින් විදේශිකයන්ට ඒ ගැන දැනුමක් ලැබෙන්නේ නැහැ. අපට නම් පාරම්පරිකව මේ ශිල්පය පුරුදුයි. නමුත් විදේශිකයෙකුට අපි ඊට වඩා ඔබ්බෙනේ කරුණු කාරණා කියා දෙන්න ඕන.
මම කුරුඳු තලන අතරේ ඒ ගැන ඔවුන්ට රුසියන්, ජර්මන් භාෂාවලින් මේ ගැන කියා දෙනවා කුරුඳුවල සෞඛ්‍ය ප්‍රතිලාභ සහ කුරුඳු වගාවේ ඉතිහාසය ගැනත් දැන්වීම් තිබනවා. ඒවායිනුත් වැඩිදුර ඔවුන්ට ඉගෙන ගන්න පුළුවනි.
දූපතක ජීවත්වෙන ඔබ මේ විදේහීය භාෂා ගැන දැනුම ලබා ගත්තේ…
මම මේ දැනුම ලබා ගත්තේ මේ විදේශිකයන් කතා කරන දේ අහගෙන සිටිමෙන්. ඒ හැර මගේ භාෂා දැනුම දියුණු කර ගන්න මට කිසිම විකල්ප ක්‍රමයක් තිබුණේ නැහැ. මම භාෂාව හසුරුවන විදිහ දකින අපේ රටේ අය වගේම විදේශිකයනුත් පුදුම වෙනවා.ඔයා හරි හොඳට අපට කුරුඳු ගැන කියා දුන්නා. විදේශිකයන් එහෙම කියද්දී මට හරිම සතුටක් දැනෙනවා.
ගංදූව දූපතේ කුරුඳු විශේෂයිද…?
ඔව්… අපි සම්ප්‍රදායික විදිහට කුරුඳු තලන අය. කිසිම රසායනික ද්‍රව්‍යක් එකතු කරන්නේ නැහැ. රසායනික පොහොර යොදන්නනෙත් නැහැ. ඒ නිසා කාබනික කියන වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මේ කුරුඳු රසයෙන් හා ගුණයෙන් ඉහළයි. ඒ නිසාම මගෙන් විදේශිකයන් බොහෝ දෙනෙක් කුරුඳු ඔවුන්ගේ රටවල්වලට අරගෙන යනවා. ඒ වගේම ලෝකයෙන්ම හොඳ කුරුඳුවලට ලංකාව ප්‍රසිද්ධයි කියලා ඔවුන්ම කියනවා. ඒකත් අපේ රටට ලොකු ආඩම්බරයක් නොවයිද…?
දූපතේම ඉඳගෙන අනාගතය ගැන හිතන්නේ කොහොමද…?
මම දූපත් මානසිකත්වයක නැහැ. මට අවශ්‍ය වෙන්නේ හෙට දවස අලුතින් දකින්න. ඒ නිසා මම මේ කර්මාන්තයම වැඩි දියුණු කර ගෙන ඉදිරියට යන්න අදහස් කරනවා. ගොඩබිමෙන් විතැන් වුණත් අපි බොහොම මගේ ව්‍යාාපරය සහ මගේ පවුල නෑදෑයින් සමග එකට එක්ව සතුටින් ජීවත් වෙනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️