බෞද්ධයන් ලෙස අපි උදේ හවස තෙරුවන් වන්දනා කරන පිරිසක්. සූවිසි ( 24 ) තෙරුවන් ගුණ අතර බුද්ධ වන්දනාවේදී නව අරහාදී බුදු ගුණ හෙවත් ඉතිපිසෝ ගාථාවෙන් අපි බුදුගුණ ගායනා කරමු. පාලි පාඨ ගාථා සජ්ජායනාවෙන් වන්දනා කළත් එම ගාථාවෙන් කියැවෙන බුදුගුණ පිළිබඳව සිංහල අර්ථය දැන ගැනීමත් වැදගත්. එසේ දැනගත් විට එම පාලි පාඨ ගායනා කරන විට එහි අර්ථය මෙනෙහි කරමින් බුද්ධාලම්බන ප්‍රිතියෙන් බුදුගුණ ගායනා කිරීමට අපට අවස්ථාව ලැබෙනවා.
නව අරහාදී බුදු ගුණ
ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්මසාරථි. සත්තා දේවමනුස්සානං බුද්ධෝ භගවාතී…
බුදුරජාණණ්වහන්සේගේ “ අරහං ”ගුණය
විශුද්ධි මාර්ගයෙහි බුදුරජාණන්වහන්සේගේ අරහං බුදුගුණය මේ අන්දමින් විස්තර කර තිබේ.කෙලෙසුන් කෙරෙන් දුරුව සිටිනා හෙයින්ද කෙලෙස් සතුරන් හා කෙලෙස් දැවි නැසූ හෙයින් ප්‍රත්‍යාදියට අතිශයින් සුදුසු වූ හෙයින් රහසින්වත් පව් නොකරන හෙයින්…. අරහ නම් වන සේක.
කෙලෙසුන් කෙරන් දුරු වූ සේක…
භාග්‍යවතුන්වහන්සේ පංචස්කන්ධය පිළිබඳ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණයන් නුවණින් සලකා බලා අනිත්‍ය, දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණයන්ගෙන් නුවණින් සලකා බලා දුක්ඛ සත්‍යය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍යය සහ දුක්ඛ ගාමිණී නිරෝධ පටිපදා යන චතුරාර්ය සත්‍යයන් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි අරහත් යන සතර මාර්ග ඥානයෙන් අවබෝධ කරගත් සේක. මාර්ග ඥාන බලයෙන් රාග, ද්වේශාදි කෙලෙස් සම්පූර්ණයෙන්ම නැසූ සේක. එබැවින් බුදුරජාණන්වහන්සේ “අරහ” නම් වන සේක.
කෙලෙස් සතුරන් හා කෙලෙස් දැවි නැසූ සේක
බුදුරජාණන්වහන්සේ රාගාදි කෙලෙස් ප්‍රඥාවෙන් නැසූ සේක සිත කිලිටි කරන කෙලෙස් සමුහ වශයෙන් බෙදා වෙන් කළ විට එක්දහස් පන්සියයකි. මෙම කෙලෙස් පුද්ගලයාගේ ආධ්‍යාත්මික පරිහානියට හේතු වේ. සංසාරය රථ චක්‍රයකි. අවිද්‍යාව මුල් කර ගෙන ඇති වෙන සංඛාර, විඤ්ඤාන, නාම රූප, සළායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව ජාති, ජරා, මරණ ඇති වේ. බුදුරජාණන්වහන්සේ විසින් සංසාර ගමන අවසන් කළ සේක. “ නත්ථි දානි පුනබ්භවෝ. ” යැයි වදාල සේක. එබැවින් කෙලෙස් සතුරන් හා කෙලෙස් නැසූ බුදුරජාණන්වහ්නසේ අරහ නම් වන සේක.
ප්‍රත්‍යාදියට අතිශයින් සුදුසු වූ හෙයින්
පුද පූජා ලැබීමට සුදුසුය යන අර්ථයෙන් අරහං යන වචනය ගොඩ නැගී තිබේ. බුදුරජාණන්වහන්සේ ලෝකයා විසින් කරනු ලබන ආමිෂ සහ ප්‍රතිපත්ති පූජාවන්ට අග්‍ර දක්ෂින්‍යෙය වන සේක.
රහසින්වත් පව් නොකරන හෙයින්…
බුදුරජාණණ්වහන්සේ කෙලස් දුරු කළ හෙයින් රහසින් හෝ පව් නොකළ සේක. චිංචිමානවිකාව, සුන්දරී පරිබ්‍රාජිකාව ලවා තීර්ථකයන් විසින් බුදුරජාණන්වහ්නසේට අපහාස කිරීමට ගත් උත්සාහයන් නිරර්ථක වූයේද උන්වහන්සේ රහසින් හෝ පව් නොකරන නිසාම වන්නාහ.
බුදුරජාණණ්වහන්සේගේ “ සම්මා සම්බුද්ධ” ගුණය
ඒ භාග්‍යවතුන්වහන්සේ පරෝපදේශ රහිතව දුක්ඛ සත්‍යය, මනාව අවබෝධ කළ හෙයින්ද, සමුදය සත්‍ය ප්‍රහානය කළ හෙයින්ද, මාර්ග සත්‍ය භාවනා වශයෙන් ප්‍රගුණ කළ හෙයින්ද, සංඛාර, විකාර, ලක්ෂණ, ප්‍රඥප්ති, නිබ්බාන යන පංචවිධ ඥෙය්‍ය මණ්ඩලය තමන් වහන්සේ විසින් ස්වයංභූ ඥානයෙන් මනා කොට අවබෝධ කළ හෙයින්ද, අන්අයටත් මනා කොට අවබෝධ කරවූ හෙයින්ද, “ සම්මා සම්බුද්ධ ” නම් වන සේක.
සම්බුදු පදවි ලබනුව හිමි කිසිදාක උවදෙසක් යමෙකුගෙන් නොලැබූ සේක සව්නේ මඬල අතැඹුල සේ දත් සේක “සම්මා සම්බුද්ධ ” නම් හිමි ලැබු සේක.
බුදුරජාණණ්වහන්සේගේ “ විජ්ජාචරණසම්පන්න ”ගුණය
ඒ භාග්‍යවතුන්වහන්සේ අෂ්ට විද්‍යාවෙන් හා පසළොස්චරණ ධර්මයන්ගෙන් යුක්ත වූ හෙයින් විජ්ජාචරණසම්පන්න නම් වන සේක.
දිව්සක්නැණ විපස්ණැන ඈ ලැබු සේක සිව් පිරිසිදු සුසිල් චරනින් හෙබි සේක දම් අටවිදු පසළොස් චරණැති සේක ගෞතම මුණිඳු “විජ්ජාචරණ ” නම් වූ සේක
අෂ්ට විද්‍යාව යනු
- විදර්ශනා ඥානය
- මනෝමය සෘද්ධි ඥානය
- සෘද්ධි විධ ඥානය
- දිව්‍ය සෝත ඥානය
- පරචිත්ත විජානන ඥානය
- පූර්වේ නිවාහානුස්සති ඥානය
- දිව්‍ය චක්ෂුරහි ඥානය
- ආශ්‍රවක්ෂය ඥානය
පසළොස්චරණ ධර්මයන්
- ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය
- ඉන්ද්‍රිය සංවර ශීලය
- පමණ දැන වැළඳීම
- නින්ද අඩු කර සිහියෙන් විසීම
- තුණුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව
- පාපය පිළිකුල් කිරීම
- පාපයට බිය වීම
- බොහෝ ධර්ම ශාස්ත්‍ර දැනීම
- නොපසුබට වීර්ය
- යහපත් සිහි නුවණ
- බෝධි පාක්ෂික ධර්ම ඥානය
- ප්‍රථම ධ්‍යානය
- දෙවන ධ්‍යානය
- තෘතිය ධ්‍යානය
- චතුරාර්ය ධ්‍යානය
බුදුරජාණණ්වහන්සේගේ “ සුගත ”ගුණය
විසුද්ධි මාර්ගය දක්වා ඇති අන්දමට “ සුගත ” බුදුගුණය මෙසේ විග්‍රහ කළ හැක.ශෝභන ගමන් ඇති හෙයින්ද සුන්දර තැනට ගිය බැවින්ද මනා කොට ගිය බැවින්ද මනා වචන ඇති බැවින්ද සුගත නම් වූ සේක.
ශෝභන ගමන් ඇති හෙයින්ද
බුදුරජාණන්වහන්සේගේ ගමන ශෝභනය. සන්සුන්ය. ශාන්තය.දුටු දුටුවන් ඇස් කරුණාවෙන් තෙත් වෙති. පියුම් පිට පියුමක් තබන්නා සේ වඩිනා සේක. අප්‍රමාණ ප්‍රාතිහාර්ය පාමින් මහ මග වඩනා සේක.
සුන්දර තැනට ගිය බැවින්ද…
පරම, සුන්දර ශාන්ත, ප්‍රණීත වූ නිර්වාණයට යොමු වූ හෙයින් “ සුගත ’‘ නම් වන සේක. සියලු ක්ලේශයන්ගෙන් නික්මීම හෙවත් ප්‍රහීණය නිවනයි.
මනා කොට ගිය බැවින්ද
නැසූ කෙලස් නැවත පෙරලා නොඑන ගමනින්ද, දීපංකර පාද මූලයේ නියත විවරණ ලද දිනයේ පටන් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා බුදු බවට පත්ව පුරා පන්සාලිස් වසක් ලෝවැඩ සැලසූ හෙයින් උන්වහ්නසේ “ සුගත ” නම් වන සේක.
මනා වචන ඇති බැවින්ද…
බුදුරජානණ්වහන්සේ මනා කොට වචන කතා කරන සේක. සුදුසු වචන මිස නුසුදුසු වචන ප්‍රකාශ නොකරන සේක. හැම වචනයක්ම ලෝ වැඩ සඳහාම පවතින සේක එබැවින් උන්වහ්නසේ “ සුගත ” නම් වන සේක.
බුදුරජාණන් වහන්සේගේ “ ලෝකවිදු ”ගුණය
ඒ භාග්‍යවතුන්වහන්සේ තිලොවට තිලක වූ තිලොවට එකම ගුරු වූ, බුදුරජාණන්වහන්සේ කාම, රූප, අරූප යන ත්‍රිවිධ ලෝකය නිරවශේෂයෙන් දැන වදාළ හෙයින්ද, සත්ත්ව ලෝකය, සංස්කාර ලෝකය, අවකාශ ලෝකය යන ත්‍රිවිධ ලෝක පිළිබඳව චතු සත්‍ය වශයෙන් දැන වදාළ හෙයින්ද, සියළු ලෝක පිළිබඳව සර්වප්‍රකාරයෙන් දැන වදාළ හෙයින්ද, “ ලෝකවිදූ ” නම් වන සේක.
බුදුරජාණන් වහන්සේගේ “අනුත්තර පුරිස ධම්ම සාරථි ”ගුණය
ඒ භාග්‍යවතුන්වහන්සේ සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශන ගුණයන්ගෙන් අගතැන් හෙයින්ද, උන්වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ අයෙකු තබා සමාන අයෙකු හෝ කොතැනක හෝ නැති හෙයින්ද, දිව්‍ය බ්‍රහ්ම ආදී සියල්ලන් අතර සීලයෙන් ගූණයෙන් හා ඥානයෙන් අගතැන් බැවින්ද, අතීතයේ විසූ සම්මා සම්බුදුවරයින් වහන්සේලාට පමණක් සමාන වන හෙයින්ද, වෙනත් කිසිවෙකුට දමනය කිරීමට නොහැකි සත්වයින් දමනය කළ හෙයින්ද “අනුත්තර පුරිස ධම්ම සාරථි ” නම් වන සේක.
බුදුරජාණන් වහන්සේගේ “අනුත්තර පුරිස ධම්ම සාරථි ”ගුණය බුදුසිරිතෙන් ප්‍රකට වුන අවස්ථා
- මානයෙන් උඩඟු වූ දෙවියන් හා බ්‍රහ්මයින් දමනය කිරීම.
- සච්චක වැනි මහා පඬිවරුන්
- දරුණු අංඟුලිමාල
- චණ්ඩ පරුෂ ආලවක, සචිරෝම, බරරෝම, යක්ෂයින්
- නාලාගිරි, ධනපාල වැනි චණ්ඩ ඇතුන්
- අග්නි සිඛ, ධුම සිඛ වැනි නාගයින්
- නොදැමුන, නොහික්මුන දුර්දාන්ත බොහෝ සතුන්
බුදුරජාණන් වහන්සේගේ “ සත්ථා දේවමනුස්සානං ”ගුණය
බුදුරජාණන්වහන්සේ මෙලොව, පරලොව යහපත සඳහාද, නිවන සඳහාද සුදුසු පරිදි දෙවි මිනිසුන්ට අනුශාසනා කරන හෙයින් “ සත්ථා දේවමනුස්සානං ” ( ශාස්තෘ ) නම් වන සේක
සබ්බ පාපස්ස අකරණං- කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං- එතං බුද්ධානසාසනං
සියළු පව් නොකළ යුතුය. සියළු කුසල් රැස් කළ යුතුය. තමාගේ සිත පිරිසිදු කර ගත යුතුය. මෙය සියළු බුදුවරුන්ගේ අනුශාසනාවයි.
බුදුරජාණන් වහන්සේගේ “ බුද්ධො ”ගුණය
බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ යුතු ධර්මයෝ අවබෝධ කළ හෙයින්ද, පිරිසිඳ ගත යුතු ධර්මයෝ මෙය යැයිද, ප්‍රහීණ කළ යුතු ධර්මයෝ… මෙය යැයිද, ප්‍රථ්‍යක්ෂ කටයුතු ධර්මයෝ මෙය යැයිද, අවබෝධ කළ යුතු ධර්මයෝ මෙය යැයිද අවබෝධ කළ හෙයින් “ බුද්ධ ” නම් වන සේක.
බුදුරජාණන් වහන්සේගේ “ භගවා ”ගුණය
භාග්‍යවතුන්වහන්සේ වෙසක් පුන් පොහෝ දින බෝ මැඩ පිටදී අනන්ත ගුණයෙන්, අනන්ත ඥානයෙන්, අනන්ත සෘද්ධියෙන් හා අනන්ත වූ පුණ්‍ය තේජෝ බලයෙන් යුක්ත වූ මහා භාග්‍ය ඇති හෙයින්ද, පස්මරුන් බිඳ හළ හෙයින්ද, ලෝභ, දෝස, මෝහ යන අකුසල් මුල් සිඳ ලූ හෙයින්ද, සසර ගමන නතර කළ හෙයින්ද, “භගවා ” නම් වන සේක.
රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක
ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස ස්වාමීන්වහන්සේ
ශ්‍රි අභිනවාරාමය, කතරගම
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️