‘මම මේ කතාව ජපන් සෙන් කතාවකින් පටන් ගන්නම්. එක්තරා දවසක් ජපන් හිමිනමක් සිය ගෝල හිමිනම එක්ක ගමනක් යන්න පිටත් වුණා. යන අතරමග රෑ බෝ වුණ නිසා රාත්‍රියේ නවතින්න පුළුවන් තැනක් සොයමින් ගිය උන්වහන්සේලාට කුඩා නිවසක් දකින්න ලැබුණා. මේ ස්වාමීන් වහන්සේලා ගෙහිමියාගෙන් ඉල්ලීමක් කරනවා රාත්‍රිය පහන් කරන්න ඔහුගේ නිවසේ ඉඩක් දෙන ලෙසට. ගෙහිමියා ඉතාම සතුටින් මේ ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම පිළිඅරගෙන උන්වහන්සේලාට රාත්‍රිය පහන් කරන්නට පහසුකම් සලසා දුන්නා සේම උන්වහන්සේලාට ඇප උපස්ථාන ද කළා.
නින්දට යන්න පෙර නායක හිමි නම ගෙහිමියා සමඟ පොඩි කතාබහක් පටන්ගත්තා. මේ කතාබහේදි ගෙහිමියා පැවසුවා තමන්ට දිනපතා සශ්‍රීකව කිරි ලබාදෙන එළදෙනක් සිටින බවත්, ඒ එළදෙනගෙන් ලැබෙන කිරි තුන් වේල සපුරාගෙන ජීවත් වන්නට ප්‍රමාණවත් නිසාවෙන් සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකි බවත්.
මෙම කෙටි කතාබහ අවසානයේ ස්වාමීන් වහන්සේලා දෙනම නින්දට ගියා. නිවසේ ඇති සුවපහසුම ස්ථානය උන්වහන්සේලාට දී ගෙහිමියා වෙනත් ඉඩ ඇති තැනක නිදන්නට වුණා. මැදියම් රෑ පහන් වනවිට නායක ස්වාමීන්වහන්සේ ගෝල හිමි නම අවදි කොට කලබල හඬින් පිටවීමට ලෑස්ති වන ලෙස පැවසුවා. ගෝල හිමිනම ඇසුවා මේ මැදියම් රැයේම පියවිය යුතුද කියා. ‘ඔව් අප යායුතුයි‘ නායක හිමිනම පැවසුවා.
ගෝල හිමිනම යන්නට සූදානම් වනවිට නායක හිමිනම පැවසුවේ ‘අප දෙදෙනා පමණක් නොවේ මෙම ගෙහිමියාට අයිති එළදෙනද අප රැගෙන යා යුතුයි බවයි. නායක හිමිට අවනත වූ ගෝල හිමිනම නායක හිමිනම සමඟ එළදෙන ද රැගෙන ගෙහිමියා අවදි වන්නට පෙර නිවසෙන් පිටවුණා. බොහෝ දුරක් එළදෙන සමඟ ගමන් කළ නායක හිමි නම මගදී හමුවුණු ගම්මානයක ගම්වැසියෙකුට එළදෙනව දී යළිත් ඔවුන්ගේ ගමනාන්තයට පිටත් වුණා. ගෝල හිමිනම කල්පනා කළා තමන්ට රාත්‍රියේ වාසස්ථානයත් සපයා, උවටැන් කළ ගෙහිමියාට සිටි එකම වස්තුව නායක හිමිනම හොරෙන් රැගෙන ගියේ ඇයි කියලා.
බොහෝ කාලයක් ගෝල හිමිනමගේ හිතේ මේ පැනය තිබුණා. වසර කිහිපයක් ගතවුණා. දිනක් මේ ගෝල හිමිනම නැවතත් ආපසු තමන් වහන්සේලාට වසර ගණනකට ඉහතදී නවාතැන් දුන් ගෙහිමියා සොයා යන්න පිටත් වුණා. ගෝල හිමිනම ඔහුගේ නිවස කරා යද්දී උන්වහන්සේ ඈත තියාම දැක්කා ඉතාම සරුවට වැවී ඇති පලතුරු උද්‍යානයක්. සරු ගෙවත්තක්. ඒ ගෙවත්තේ කෙළවරක පෙර තිබුණු කුඩා ගෙපැළ වෙනුවට අලංකාර නිවසක් ඉදි වී තිබුණා. ඒ වගේම එම ගෙවත්ත පුරා කුකුළන්, ඌරන්, ගවයන් ආදී බොහෝ සතුන් සිටිනු දුටුවා. පෙර කල සිටි දුප්පත් මිනිසා දැන් බොහෝ දියුණු වූ මිනිසෙක් බව ගෝල හිමිනම දුටුවා.
නිවසට ගොඩ වූ ස්වාමීන් වහන්සේ පෙර හැඳුනුම්කම මතක් කොට දී මෙලෙස දියුණු වූයේ කෙසේදැයි විමසුවා. එවිට ගෙහිමියා මෙසේ පැවසුවා. “ඔබ වහන්සේලා දෙනම මට මතකයි. අළුයම ඔබවහන්සේලා නිවසින් පිට වී තිබුණා. මට ඔබවහන්සේලාට උදෑසන සංග්‍රහ කිරීමටවත් නොහැකි වුණා. එයට සමාවන්න.” මෙලෙස පැවසූ ඔහු හිමිනමගේ පාද නමස්කාර කළා. ගෙහිමියා දියුණුවේ කතාවට මුලපිරුවා. “ඔබවහන්සේලා පිට වූ දවසේ මම මගේ එළදෙනගෙන් කිරි දොවාගන්න යද්දී එළදෙන හිටියෙ නෑ.
මට මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව ගියා. මට තිබුණු එකම වස්තුව සහ ජීවන මාර්ගය වුණේ ඒ එළදෙනයි. බොහෝ කල්පනා කරලා කරන්න දෙයක් නැති තැන මම තීරණය කළා මගේ ගෙවත්තේ වගා කරන්න. මිත්‍රයකුගෙන් ඉල්ලගත්ත පලතුරු බීජ කිහිපයක් රැගෙනවිත් ගෙවත්තේ පස හොඳින් පෙරළා සිටෙව්වා. කැලෙන් විවිධ දෑ කඩාගෙනවිත් ගම්මානේ විකිණුවා. ටික කලකින් මම වැපිරූ බීජවලින් අස්වනු ලැබෙන්න පටන්ගත්තා. මම ඒවා නගරෙට ගෙනගොස් අලෙවි කළා. ඒ ලැබුණු ආදායමෙන් ගොවිපලට සතුන් මිලට ගත්තා. ඒ වගේම ආදායම හොඳට කළමනාකරණය කරගෙන මම පුංචියට නිවසකුත් ඉදි කරගත්තා. මම දැන් බොහොම සරු ජීවිතයක් ගත කරනවා” ඔහු පැවසුවා.
මේ සියල්ලම සාවධානයෙන් අසා සිටි ගෝල හිමිනම ගෙහිමියාගෙන් ඇහුවා මෙතරම් හැකියාවක් තිබියදීත් ඔබ මෙය පෙර කරන්නට නොසිතුවේ ඇයි කියා. එවිට ගෙහිමියා මෙසේ ප්‍රකාශ කළා. “ස්වාමීන්වහන්ස මට කිරි එළදෙන හිටපු නිසා සහ එළදෙනගෙන් මට සියලු දේ ලැබුණු නිසා මම උත්සාහ කෙරුවෙ නෑ වෙනත් ජීවිතයක් ගැන හිතන්න.
ඒත් එළදෙන නැති වුණාම තමයි මට හිතන්න අවස්ථාවක් ලැබුණේ ඊළඟට මම මොකද්ද කරන්නෙ කියලා. නැවත එළදෙනක් මිලට ගන්න තරම් ධනයක් මා ළඟ තිබුණේ නෑ. මට තිබුණු එකම ගෙවත්තේ වගා කරන්න පටන්ගත්තේ ඉන් පසුවයි. එහෙම කරගෙන යනකොට තමයි මට තේරුණේ මට තවත් බොහෝ හැකියාවන් ඇති බව. ඒ සියලු හැකියා පාවිච්චි කරලා අද මම මේ දියුණුව අත්කරගත්තා. එක් අතකින් මගේ එළදෙන රැගෙන ගිය කෙනාට මා ස්තූතිවන්ත විය යුතුයි. මොකද ඒ එළදෙන මට අහිමි වුණේ නැත්නම් මම තවමත් ඒ එළදෙන මත පමණක් යැපෙන සාමාන්‍ය මනුස්සයෙක්.”
එවිට ගෝල හිමිනම තේරුම්ගත්තා නායක ස්වාමීන්වහන්සේ කර ඇත්තේ කුමක්ද කියා.මෙම ලිපිය කියවන ඔබ ඔබෙන් විමසා බලන්න. තවමත් ඔබ ඔබේ එළදෙන රැකගෙන සිටිනවද? තමන්ගෙ එළදෙනව කවුරුන් හෝ සොරාගෙන යනතෙක් සිටින්න එපා. එළදෙනව තමන්ගෙ ජීවිතෙන් මොහොතකට ඈත් කළොත් ඔබට ජීවිතේ ගොඩක් දුර යන්නට පුළුවන් වේවි.
ප්‍රවීණ දේශක හා
මනෝවිද්‍යා පුහුණු උපදේශක,
මොහාන් පල්ලියගුරු
එරංදි කෞශල්‍යා