රනුලි කවිත්‍යා
නිදහස් අධ්‍යාපනය කියන්නේ ජීවිතය දිනන්න ලැබෙන ලොකු අවස්ථාවක්. ලංකාවේ තියෙන්නේ තරඟකාරී අධ්‍යාපන රටාවක්. ඒ නිසා විශ්වවිද්‍යාලයට එන්න ආස වුණත් ඒ හීනය හැබෑ කරගන්න පුළුවන් වෙන්නේ අතළොස්සකට විතරයි. ලංකාවේ විශ්වවිද්‍යාලයකට පිවිසෙන්න හැකියාව ලැබෙන්නේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීල අවුරුදු දෙකකට පස්සෙ. ඒත් 2024 වර්ෂයේම සාමාන්‍යපෙළත් කරල මාස හයකට පස්සේ උසස් පෙළටත් මුහුණ දීල විභාග දෙකම ඉහළින්ම සමත් වුණ දක්ෂ දුවෙක් අපට හමුවුණා. ඇය නමින් රනුලි කවිත්‍යා විජේසිරිවර්ධන.
රනුලි පාසලේ අධ්‍යාපනය ලබපු විදිය මතක් කළොත්?
මම මුලින්ම ඉගෙනගත්තේ පාදුක්ක සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලයෙන්. පහ වසර ශිෂ්‍යත්ව විභාගයට ලකුණු 190 ක් අරගෙන සමත් වුණ නිසා මම කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළත් වුණා. සාමාන්‍ය පෙළ විභාගයෙන් ( 2024 මැයි ) A 8 B 1 ලබා ගෙන ඒ අවුරුද්දේම දෙසැම්බර් මාසයේ උසස් පෙළට මුහුණ දුන්නා. උසස් පෙළ ලියන නිසි වයස සම්පුර්ණ නැති නිසා පෞද්ගලික අපේක්ෂිකාවක් විදියට තමයි මම විභාගයට මුහුණ දුන්නේ.
විශාඛා විද්‍යාලයෙන් අයින් වෙනවට පාසලේ ගුරුවරු කැමති වුණේ නැහැ. මමත් දුකින් තමයි අයින් වුණේ. ඒත් ඒ කරපු කැපකිරීම් වලට ප්‍රතිඵලයක් ලැබීම ගැන සතුටුයි. කොළඹ දිස්ත්‍රික්කයෙන් 217 වෙනියා ලෙසත් ලංකාවෙන්ම 963 වෙනියා ලෙස විභාගයෙන් සමත් වී ඉංජිනේරු විද්‍යා පීඨයට අඩු වයසින් ඇතුළත් වීමට හැකි වීම මට ලැබුණ ලොකු අවස්ථාවක්.
සාමාන්‍ය පෙළ ලියන අවුරුද්දෙම උසස් පෙළට මුහුණ දුන්නේ ඇයි?
මගේ තාත්තා සංයුක්ත ගණිත ගුරුවරයෙක්. තාත්තගේ මඟපෙන්වීම මත තමයි මම සාමාන්‍ය පෙළ ලියන අවුරුද්දෙම උසස් පෙළ ලිව්වේ. අවුරුදු දහසයෙන් උසස් පෙළ ලියනවට අම්ම නම් මුලදී කැමති වුණේ නැහැ. ලංකාවේ උසස් පෙළ ලියල විශ්වවිද්‍යාලයෙන් අයින් වෙද්දී වයස අවුරුදු විසි හතරක් හෝ විසි පහක් වෙනවා. ජොබ් එකක් ගනිද්දී තිහක් වගේ වෙනවා. ජීවිතේ වටිනම කාලයක් තමයි ගෙවිලා යන්නේ. විදේශ රටවල නම් වයස අවුරුදු විසි දෙකක් වගේ වෙද්දී උපාධිය ගන්න පුළුවන් ඒ නිසා මම ඒ අභියෝගය භාරගෙන විභාගයට මුහුණ දුන්නා.
මුලින්ම ප්‍රතිඵලය දැක්කම මොකද හිතුණේ?
ඇත්තටම ලොකු සතුටක් දැනුණා. ඉංජිනේරු විද්‍යා පීඨයට අඩු වයසින් ඇතුළත් වෙන්න පුළුවන් වීම මට ලැබුණ ලොකු අවස්ථාවක්.මම කරපු කැපකිරීම්වලට ප්‍රතිඵලයක් ආවා නේද කියන හැඟීම තමයි මට දැනුණේ.

රනුලි කොහොමද මේ වගේ ප්‍රතිඵලයක් ගන්න වැඩ කළේ
මම කාලසටහනක් හදාගෙන තමයි වැඩ කළේ. සාමාන්‍යපෙළ වගේම උසස් පෙළත් එක අවුරුද්දේ ලියන නිසා විෂයන් ගණනාවක කරුණු මතක තියාගන්න ඕන. මම සමබරව සියලු විෂයන්වල වැඩ කළා. පොඩි කාලෙ ඉදන්ම මම ගණිතය විද්‍යාවට කැමතියි. ඒ නිසා ගණිත අංශයෙන් වැඩිදුර ඉගෙනගැනීම මට පීඩනයක් වුණේ නැහැ. ගෙදරින් මට ස්ටේරස් එකක් දීල නැහැ. මම සැහැල්ලුවෙන් තමයි මගේ පාඩම් වැඩ කටයුතු කළේ.
තාත්තා සංයුක්ත ගණිත ගුරුවරයෙන් නිසා නිතරම මට මඟ පෙන්වීම් ලැබුණා. සෙනසුරාදා ඉරිදා ගෙදරට වෙලා ඉන්න නිසා මම තාත්තාගේ සංයුක්ත ගණිත පන්තිවලට ගිහින් පිටිපස්සෙන් වාඩිවෙලා ගණිත ගැටළු හැදුවා. තේරෙන්නෙ නැති දේවල් තාත්තගෙන් අහල ඉගෙන ගත්තා. පුළුවන් හැම වෙලාවෙම පාස් පේපර් කළා. පන්තිවල උගන්වන කරුණු ගොඩගහ ගන්නෙ නැතිව එදිනෙදා පාඩම් කළා.
සාමාන්‍ය පෙළ වගේම උසස් පෙළ දෙකම එක අවුරුද්දේ සමත් වෙන එක ලේසි නැහැ. කොහොමද ඒ අභියෝගයට මුහුණු දුන්නේ?
ඔව් අභියෝගයක්. ඒත් මම ඒ අභියෝගය භාරගත්තා. සාමහර වෙලාවට උදේ පාන්දර එලාම් එක තියලා නැගිටලා පාඩම් කළා. ඒ වගේම රෑ නිදිමරාගෙනත් පාඩම් කරපු වෙලාවල් තිබුණා. මට වැරදෙන ගණිත ගැටළු නැවත නැවත හදල මගේ වැරදි හදාගත්තා.එදිනෙදා වැඩ එදිනෙදාම කළා. ඒ නිසා අභියෝගයක් වුණත් මට ජයග්‍රණය කරන්න පුළුවන් වුණා.
රනුලිට මේ වගේ ප්‍රතිඵලයක් ගන්න උදව් කළේ කවුද?
මගේ පවුලේ අයගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. අම්මයි තාත්තයි හෙවණැල්ලක් වගේ මගේ පිටිපස්සෙන් හැමදේටම හිටියා. තාත්ත නිසා තමයි අඩු වයසින් උසස් පෙළ ලියන්න හිතුවෙත්. මම ඉගෙනගත්ත විශාඛා විද්‍යාලයේ ගුරුවරුත් මට උදව් කළා. ඒ වගේම යාලුවොත් උදව් කළා.
රනුලි පුංචි කාලේ ඉදන්ම විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් වෙන්නද හීන මැව්වේ?
ඔව්. මගේ තාත්ත අවුරුදු විස්සක් වගේ සංයුක්ත ගුරුවරයෙක් විදියට ඉගැන්වීම් කටයුතු කරනවා. ඒ නිසා පුංචි කාලේ ඉඳන්ම තාත්තා උගන්වනවා දැකලම මම දන්න දේවල් අනෙක් අයට කියල දෙන්න කැමතියි. ඒ නිසා ඉංජිනේරු විද්‍යා පීඨයට ගිහින් හොඳට විභාගවලට මුහුණ දීල විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් වෙන්න ආසයි. ඒක පොඩි කාලේ ඉදන් තිබුණ හීනයක්.
රනුලි භාහිර වැඩවලට සම්බන්ධ වුණාද?
ඔව්. මම සංගීත විෂය ධාරාවට කැමතියි. ඒ නිසා සංගීතය වැඩි දුර ඉගෙනගත්තා. ඊට අමතරව බැඩ්මින්ටන්, ස්විමින් කළා. මට පොඩි නංගියෙකුයි මල්ලියෙකුයි ඉන්නවා. ඉඩක් ලැබුණ ගමන් මම එයාලත් එක්ක සෙල්ලම් කරනවා.
ඉස්සරහට උසස් පෙළ ලියල හොඳ රිසාල්ට් එකක් ගන්න ඉන්න නංගිල මල්ලිට රනුලිට මොනවද කියන්න තියෙන්නේ?
මුලින්ම අභියෝග භාරගන්න බය වෙන්න එපා. ජීවිතයට මොන බාධයක ආවත් බයේ පැනල යන්නෙ නැතිව මුහුණ දෙන්න. මට මේ වගේ ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වුණෙත් ඒ නිසාමයි. තමන් ගැන විශ්වාසයක් තියෙනව නම් කරන්න බැරි දෙයක් නැහැ. හැබැයි විශ්වාසය විතරක් තිබිලා වැඩක් නැහැ. ජයග්‍රණයක් ලබා ගන්න නම් කැපකිරීම් කරන්න ඕන.
පවනි දිලේකා ✍️