සිනමා නිර්මාණයක විවිධාකාරයේ චරිත ඉන්නවා. මේ චරිතවලට පණ පොවන්නේ නළු නිළියන්. චරිතවල විවිධත්වයක් ඇති කරන්න. අඳින ඇඳුම්, පැළදුම් වගේම මේකප් භාවිතයත් හේතු වෙනවා. සාමාන්‍ය මේකප් එකකදී සිද්ධ වෙන්නේ වර්ණ ගැන්වීමක් පමණයි. නමුත් ඊට එහා ගිය ප්‍රොස්තටික් මේකප් කලාව තුළින් නවමු චරිතවලට පණ පොවන්න පුළුවන්. පසුගිය කාලයේ ජනප්‍රිය වුණ සීදේවී මම සීදේවී මම නුඹේ හැලයා සිංදුවේ හැලයා සීදේවී චරිත මවන්නෙත් මේ ප්රොස්තරික් කලාවෙන්මයි. මේ චරිත නිර්මාණය කරන්නේ ඔෂාන් යාපා අමරසේකර. ඔහු කැළණිය විශ්වවිද්‍යාලයේ ප්‍රතිබිම්භ කලා විශේෂවේදී ගෞරව උපාදිදාරියෙක්. ඒ වගේම ඔහු රත්මලාන, කුලියාපිටිය, මාතර, යාපනය විශ්වවිද්‍යාල හා කැළණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අංශයේ බාහිර කථිකාචාර්යවරයෙක් විදියට කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි ලංකාවේ සහ ඉන්දියාවේ සිනමා ක්ෂේත්රයේ විශේෂ ප්‍රයෝග අංග රචනා ශිල්පියෙක් විදිහටත් කටයුතු කරනවා.
ඇත්තටම මොකක්ද මේ ප්‍රොස්තටික් කලාව කියන්නේ?
ඕනෑම සිනමා නිර්මාණයක තිර පිටපතක් තියෙනවා. තිර පිටපත තුළ විවිධාකාරයේ චරිත ඉන්නවා. ඒ චරිත තමයි චිත්‍රපටයේ කතාව ඉදිරියට අරගෙන යන්නේ. චරිතවල කායික විද්‍යාත්මක ( භාහිර ස්වරූපය) සමාජ විද්‍යාත්මක පැතිකඩ ( චරිතය සමාජයේ නිරූපණය කරන්නේ කුමන තත්ත්වයක්ද?) මනෝවිද්‍යාත්මක ලක්ෂණත් මේ චරිතවලින් නිරූපණය වෙනවා. නළු නිළියන් විසින් චිත්‍රපටයක මේ චරිත නිරූපණය කරනවා.
අංග රචනා ශිල්පියෙක් තිර පිටපතේ තිබෙන චරිතවලට අනුව නළු නිළියන්ගේ ස්වරූපය සැකසීම සිදු කරනවා. සාමාන්‍ය අංග රචනයකදී සම මත වර්ණ ගැන්වීමක් තමයි සිදු කරන්නේ. නමුත් සෑම චරිතයක්ම වර්ණ ගැන්වීම් ඔස්සේ නිරූපණය කරන්න බැහැ. උදාහරණයක් විදියට චිත්‍රපටයක ඇසිඩ් ගහපු පුද්ගලයෙකුගේ චරිතයක් තිබෙනවා. මේ පිළිස්සුම් තුවාල සාමාන්‍ය වර්ණ ගැන්වීමකින් ඉස්මතු කරන්න බැහැ.
එවන් අවස්ථාවක සම මත ගොඩනැංවීමක් කරන්න ඕන. පිටතින් වෙනත් ලෙයර් එකක් සාදාගෙන එය සමට බද්ධ කිරීම සිදු කරනවා. ඒ නිසා බද්ධ අංග රචනය ලෙසත් විශේෂ ප්‍රයෝග අංග රචනයත් මේ ප්රොස්තරික් කලාව හඳුන්වනවා. මෙහිදී සිදුවන්නේ මායාවක් සත්‍යයක් ලෙස නිරූපණය කිරීමක්.
ප්‍රොස්තටික් මේකප් ගැන ඉගෙනගත්තේ කොහොමද?
මුලින්ම යූටියුබ් එකේ තියන ටියුටෝරියල්ස්වලින් තමයි ප්‍රොස්තටික් මේකප් ගැන ඉගෙනගත්තේ. 2018 වර්ෂයේ ෆිල්ම් ටීම් කියන ප්‍රොඩක්ෂන් හවුස් එකෙන් එංගලන්තයේ the good Karma hospital නමින් ටීවී සීරියස් එකක් ලංකාව තුළ රූපගත කළා. ඒ ටීවී සීරියස් එකේ ප්‍රොස්තටික් මේකප් කළේ බි්රතාන්ය ජාතිකයෙක් වන ඩේවි ජෝන්ස්. ඔහු යටතේ මම ප්‍රොස්තටික් මේකප් ගැන හැදෑරුවා. අදටත් ඔහු මේ ප්‍රොස්තටික් මේකප් කලාව ගැන ඔන්ලයින් මාර්ගයෙන් ඉගැන්වීම් කරනවා.
ලාංකීය සිනමා ගමනේ දියුණුවට ප්‍රොස්තටික් කලාව යොදාගන්නේ කොහොමද?
ප්‍රොස්තටික් මේකප් කියන්නේ සිනමා නිර්මාණවල පවතින සිනමාත්මක ස්වරූපය නිර්මාණය කරන්න ප්‍රධාන දායකත්වයක් සපයන කලාවක්. වර්තමාන ලෝකයේ තාක්ෂණය දියුණුයි. චිත්‍රපටයක් අපි බලන්නේ පුළුල් තිරයක. ලාංකීය ප්‍රේක්ෂකයන් හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ් වගේ සිනමා නිර්මාණ බලනවා. ඒ නිසා ලාංකීය සිනමා ප්රේක්ෂකාගාරයත් ලංකාවේ චිත්‍රපටවලින් ගෝලීය චිත්‍රපටවල තිබෙන ගුණාත්මකභාවය බලාපොරොත්තු වෙනවා.
විශේෂයෙන්ම තරුණ පරපුර මේ තත්ත්වය බලාපොරොත්තු වෙනවා. නිදසුනක් විදියට ගෝලීය සිනමාවේ වෝර්කින් ඩෙඩ් වගේ සොම්බින් ඉන්න චිත්‍රපට, ඒලියන්ස්ලා ඉන්න චිත්‍රපට නිර්මාණය වෙනවා. නමුත් ලංකාවේ තවමත් ඒ වගේ කන්සෙප්ට්වලට චිත්‍රපට නිර්මාණය වෙලා නැහැ. මේ වගේ විශේෂිත චරිත නිර්මාණය කරන්නෙ ප්‍රොස්තටික් කලාවෙන්. සිනමා නිර්මාණවලට නැවුම් බවක් ගේන්න ප්‍රොස්තටික් මේකප්වලට පුළුවන් අපි කලින් දැකල නැති අලුත් කන්සෙප්ට් මේ ඔස්සේ නිර්මාණය කරන්න හැකියාවක් තිබෙනවා.


ඔෂාන් දැනට කරල තියෙන විශේෂ නිර්මාණ ගැන කිව්වොත්?
ප්‍රභාත් අගම්පොඩි කතිකාචාර්යවරයාගේ අධ්‍යක්ෂණයෙන් කළ වියසිදුරු චිත්‍රපටයේ විශේෂ ප්‍රයෝග අංග රචන වැඩවලට සම්බන්ධ වුණා. ඊට අමතරව අහස් ගැබ යට චිත්‍රපටයටත් සම්බන්ධ වුණා. අහස් ගැබ චිත්‍රපටය මේ වසරේදී රිලීස් වෙනවා. ඒ වගේම් සීදේවි මියුසික් වීඩියෝ එකේ හැලයා සහ සීදේවි යන චරිතවල මුහුණු නිර්මාණය කළා. ඒක තමයි ලංකාවේ කාටුන් චරිතය ප්‍රොස්තටික් මේකප් භාවිතයෙන් සැකසූ පළමු අවස්ථාව. මීට අමතරව තවත් චිත්‍රපට කිහිපයකම ප්‍රොස්තටික් මේකප් වැඩවලට සම්බන්ධ වුණා.
කොහොමද මේ ප්‍රොස්තටික් මේකප් කරන්නේ?
ප්‍රොස්තටික් කියන්නේ ලොකු පරාසයක පැතිරිලා තියෙන කලාවක්. ප්‍රොස්තටික් ඩමි කියන්නෙ මේ කලාවටම අයිති දෙයක්. තිර පිටපතක නළුවෙක්ට නිළියෙක්ට කරන්න බැරි දේවල් තියෙනවා. ඒ වගේ අවස්ථාවක ඩමියක් තමයි ඒ චරිත නිරූපණය කරන්නේ. චිත්‍රපටයක අතක් කපන දර්ශනයක් තියෙනවනම්, කෙනෙක්ගේ ඔලුව කපල අතට ගන්නවනම් ඒ වගේ වෙලාවක ප්‍රොස්තටික් ඩමිවලින් තමයි ඒක පෙන්වන්නේ.
ප්‍රොස්තටික් මේකප්වල ප්‍රධාන ක්‍රියාවලිය තමයි ඇඹීම. අපට අවශ්‍ය තුවාලය මොන්ස්ටා කියන ක්ලේ වර්ගය යොදාගෙන ඇඹීම සිදු කරනවා. දෙවෙනි පියවර සිලිකන්වලින් මෝල්ඩ් එකක් ගැනීම.
තුන්වෙනි පියවර තමයි හදාගත්තු මෝල්ඩ් එකට සිලිකන් එකතු කරල රන් මෝල්ඩ් එකක් සාදාගැනීම. හතරවෙනි පියවර සමට ඇලවීම සිදු කිරීම. අවසන් පියවර තමයි සමේ පාටට වර්ණ ගැන්වීම.ප්රොස්තරික් මේකප්වලදී රිසච් එකක් කරල තමයි මේ ක්‍රියාවලිය සිදු කරන්නේ. තුවාලයක් නම් ඒ තුවාලය නිර්මාණය කරන්න කලින් ඒ තුවාලය තිබෙන ස්ථානයේ කුමන වර්ගයේ පේශි, සන්ධිද තියෙන්නේනේ කියල බලල තමයි මේකප් කරන්නේ.
මොන වගේ අමුද්‍රව්‍යද යොදාගන්නේ?
ප්‍රොස්තටික් මේකප්වලදි භහුලව යොදාගන්නේ සිලිකන්. ඊට අමතරව රබර් කිරි, ස්පෙෂල් ප්ලාස්ටික් වගේ අමුද්‍රව්‍ය යොදාගන්නවා. මේකප් එකේ ස්වරූපය අනුව භාවිත කරන අමුද්‍රව්‍ය තීරණය වෙනවා.








ප්‍රොස්තටික් කලාව අලුත් දෙයක්. ඒ නිසා ආපු අභියෝග මොනවද?
ලංකාවට අලුත් දෙයක් නෙමෙයි. ලංකාවේ කළු සුදු චිත්‍රපටවලටත් ප්‍රොස්තටික් කලාව යොදාගෙන තියෙනවා. 1959 වනමෝහිනි චිත්‍රපටයට මේ ප්‍රොස්තටික් මේකප් යොදාගත්තා. ලෝකයේ දියුණුවත් සමඟ ප්‍රොස්තටික් කලාව අද වෙද්දී ට්‍රනේඩ් එකක් බවට පත් වෙලා. ප්‍රොස්තටික් කලාව කරනවනම් අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා. නළු නිළියන්ගේ සමත් එක්කනේ ප්‍රොස්තටික් මේකප් කරන්නේ.
මේකප් නිසා නළුනිළියන්ට ඇලජික් එකක් වෙන්න බැහැ. ඒ නිසා මේකප් කරද්දී සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම මේකප් කරන්න අවශ්‍ය බඩු පිටරටින් ගේන්න ඕන. ඒ සඳහා බදු මුදලක් ගෙවන්න ඕන. ලංකාවේ චිත්‍රපටවලට ප්‍රොස්තටික් මේකප් කළත් ගෙවන්නේ අඩු මුදලක්. ඒ වගේම ප්‍රොස්තටික් මේකප් එකක් කරන්න ලොකු කාලයක් වැය වෙනවා.
මොනවද ඉස්සරහට කරන්න ඉන්න අලුත් වැඩ?
ඒලියන් කෙනෙක් ඉන්න මියුසික් වීඩියෝ එකක් කරනවා. ඒ වගේම මේ දවස්වල ප්‍රොස්තටික් කලාව සම්බන්ධයෙන් පොතක් ලියමින් ඉන්නේ. ඒ පොත මේ වසරේ පබ්ලිශ් කරන්න හිතාගෙන ඉන්නවා.
ලොකු ඉවසීමක් ඕන නේද ප්‍රොස්තටික් මේකප් කරන්න?
ප්‍රොස්තටික් මේකප් කරන්න චිත්‍ර කලාව ගැන හොඳ දැනුමක් තියෙන්න ඕන. මම විශ්වවිද්‍යාලයේ පළවෙනි වසරේ චිත්‍ර කලාව ඉගෙනගත්තා. ඒ ලැබුන අත්දැකීම් එක්ක තමයි මේ කලාව කරන්නේ. චිත්‍ර ඇදීම කියන්නේ ඉවසීමෙන් කරන්න ඕන දෙයක්නේ. ප්‍රොස්තටික් කාලාවෙත් ඇඹීම, වර්ණ ගැන්වීම තමයි මූලිකවක සිදු වෙන්නේ. පළවෙනි නිර්මාණය කරද්දී වැරදෙන්න පුළුවන් ඉවසීමෙන් වැරදි වැරදි කරන්න ඕන. අත්දැකීම් තුළින් ඉගෙනගන්න ඕන.
ප්‍රොස්තටික් කලාව ඔස්සේ කරන නිර්මාණ ප්‍රේක්ෂයන් අතරට ගෙනියන්නේ කොහොමද?
මගේ ෆෙස්බුක් ෆෙජ් එක හරහා තමයි මම දැනුවත් කිරීම් කරන්නේ.
ප්‍රොස්තටික් කලාව මේ වෙද්දී දරුවන්ට ඉගැන්වීම් කරනවද?
ඔව්. මේ වෙද්දී වෘත්තීය තාක්ෂණික විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනි අධ්‍යනාංශය යටතේ ප්‍රොස්තටික් කලාව සම්බන්ධයෙන් වර්ක්ශොප් කරනවා. රත්මලාන විශ්වවිද්‍යාලයේ රූපවාහිනි අධ්‍යයනාංශය යටතේ ඉගැන්වීම් කරනවා. ඒ වගේම තවත් විශ්වවිද්‍යාල කීපයකම මේ ප්‍රොස්තටික් මේකප් පිලිබඳව ඉගැන්වීම් කරනවා.
ප්‍රොස්තටික් කලාව වැඩිදුර ඉගෙන ගන්න ආස අයට මොනවද කියන්න තියෙන්නේ?
ප්‍රොස්තටික් කලාව ඉගෙනගන්න ආස නම් මුලින්ම ඒ ගැන හොඳට අධ්‍යයනය කරන්න ඕන. දැනට ප්‍රොස්තටික් කලාව තුළ සිදු කර තිබෙන විශේෂ නිර්මාණ ගැන ගවේෂණය කරන්න ඕන. අලුත් තොරතුරු හොයන්න ඕන. අවුරුද්දකින් ප්‍රොස්තටික් කලාව ගැන ඉගෙනගන්න බැහැ. පුහුණුව අත්දැකීම් එක්ක තමයි දිග ගමක් යන්න පුළුවන් වෙන්නේ.
චිත්‍ර කලාවෙන් ඉදිරියට ගහින් වැඩක් නෑ කියල හිතන අයට මොකක්ද කියන්න තියෙන්නේ?
කලාව කරල ඉස්සරහට යන්න බෑ කියල දුර්මතයක් ලංකාවේ තියෙනවා. සෑම දෙමව්පියෙක්ම හිතන්නේ තමන්ගෙ දරුවා ඩොක්ටර් කෙනෙක්, ඉන්ජිනියර් කෙනෙක් වෙන්න ඕන කියල. ඒ නිසාම අද වෙද්දී තරඟකාරී අධ්‍යාපන රටාවක් බිහි වෙලා තියෙනවා. ඒත් කලාව කියන්නේ අනික් අයව සතුටු කරන දෙයක්. තමන් මොන ක්ෂේත්රයෙන් ඉස්සරහට ගියත් ඒක ආසාවෙන් හරියට කරනවනම් ඉස්සරහටම යන්න පුළුවන්.
පවනි දිලේකා