මුළු ලොවක් ආදරයෙන්, දයාවෙන් වසඟ කළ උත්තමයෙකුගේ නික්ම යෑම – 1936- 2025
පාප්වහන්සේ කියන්නේ ලෝකය පුරාම ප්‍රචලිත රෝමානු කතෝලික නායකයායි රෝමයේ අගරදගුරුතුමන් ලෙස කටයුතු කරන්නේත් පාප් වහන්සේයි. පාප් ධූරය ආරම්භ වුණ ජේසුස් වහන්සේගේ ගෝලයන් දොළොස් දෙනාගේ නායකයා වූ ශුද්ධ වූ පේදුරුතුමන් ජේසුස් වහන්සේගේ මරණයෙන් පසුව ධර්මය ඉදිරියට ගෙන යාමේ වගකීම භාරගන්නවා. පාප් යන නිළ නාමය නොදැරුවත් පළමු පාප් වහන්සේ ලෙස සලකන්නේ පේදුරුතුමන්. ජේසුස් වහන්සේගේ ධර්මය අන් අයට පහදා දීමේ වගකීම ගන්නේ ගෝලයන් දොළොස් දෙනා ප්රමුඛ ජේසුස් වහන්සේ විශ්වාස කළ ජනතාවයි. බයිබලයේ සඳහන් වෙන පරිදි ඔවුන්ට විශේෂ දේව වරප්‍රසාදයක් හිමි වී තිබෙනවා. එනම් ඔවුන්ට අනන්‍ය භාෂාවකින් කතා කළත් ධර්මය ප්රචාරයේදී අනුගාමිකයන්ට ඔවුන්ගේ භාෂාවලින් කියන දේවල් නිසි ලෙස අවබෝධ වීම සිදුවී තිබෙනවා.
මෙලෙස දේව වරම් ලැබූ ජනයා ලෝකය පුරා ගොස් ධර්මය ප්‍රචාරය නිසා ලෝකය පුරා කිතුනු දහම වැළඳගත් අනුගාමිකයන් බිහි වෙනවා. පේදුරුතුමා තෝරගන්නේ රෝමයෙන් නව පාප්තුමකුගේ පුරප්පාඩුවක් ඇතිවන්නේ පාප්තුමන් මියයාමත් සමඟයි. ඇතැම් විට පාප්තුමන් තනතුරින් ඉල්ලා අස් වුවහොත් නව පාප්වහන්සේ කෙනෙක් පත් වෙනවා. සාමාන්‍යයෙන් සම්මතයක් විදියට පාප් ධූරයට පත් වූ පසු මිය යන තුරුම එම තනතුරේ රාජකාරින්හි නියැළෙනවා.
නව පාප්තුමෙකු නැවත පත් කිරීම සිදු වන්නේ කාදිනල්වරුන් අතින්. තදබල අසනීපයකින් පෙළෙන්නේ නම් හෝ වයස අසූවට වැඩි වන්නේ නම් පමණක් හැර ලෝකය පුරා විසීරී සිටින කාදිනල්වරුන් වතිකානුවට පැමිණීමෙන් පසුව නව පාප්වහන්සේ කෙනෙකු කාදිනල්වරුන් අතරින් තෝරා ගැනීම සිදු කරනවා. කාදිනල්වරුන් සිදු කරන රහස් ජන්දයකින් මේ පත් කිරීම සිදු කරනවා. ෆ්‍රැන්සිස් පියතුමන් 260 වෙනි පාප්තුමන් වෙන්නේ මේ විදියටයි.
1936 දෙසැම්බර් 17 වෙනිදා ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස්හි හෝර්හේ මාරියෝ බර්ගොග්ලියෝ නමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පියතුමන් උපත ලබනවා. ඔහු පස් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවාවයි. උන්වහන්සේගේ පියා මාරියෝ බර්ගොග්ලියෝ වන අතර මව රජිනා සිවෝර් බර්ගොග්යෝ නම් වේ. ඔහු තරුණ අවදියේ පූජක දිවියට ඇතුළත්වීමට පෙර රසායනාගාරයක තාක්ෂණික ශිල්පියෙක් ලෙසත් රාත්‍රී සමාජ ශාලාවක ආරක්ෂක නිළධාරියෙක් ලෙසත් කටයුතු කර තිබෙනවා.

1969 දී හෝර්හේ මාරියෝ බර්ගෝලියෝ නාමයට සමු දී පූජාත්වරය ලබා පැවිදි දිවියට ඇතුළත් වෙන උන්වහන්සේ 1973 ත් 1979 අතර කාලයේ ආජන්ටිනාවේ ජේසු නායක පූජකයන්ගේ ප්‍රධානියා ලෙස සේවය කරනවා. 1980-1986 අතර කාලයේ සැන් මිගෙක් දේවධර මහා දර්ශන පීඨයේ ප්‍රධානියා ලෙසත් 1997 ජූනි 03 බුවනෝස් අයර්සී සහයක අගරදතුමන් බවටත් පත් වෙනවා.
එමෙන්ම 1998 පෙබරවාරි 28 දී බුවනෝස් අයර්ස් හි අගරදගුරුතුමන් ලෙස පත් වෙන්න උන්වහන්සේට හැකි වෙනවා. 2001 පෙබරවාරි 21 එවකට සිටි පාප්තුමන් වූ දෙවන ජුවාන් පාවුලු පාප්තුමන් විසින් කාදිනල්වරයෙක් බවට පත් කරනවා.
2013 පෙබරවාරි 28 දින එවකට සිටි පාප් තුමන් වූ 16 වන බෙනඩික්ට් පාප්තුමන්ගේ වියපත්භාවය හේතු කරගෙන පාප්ධූරයෙන් ඉවත් වන බව ප්‍රකාශ කරනවා. ඉන්පසුව නව පාප්වහන්සේ නමක් පත් කරගැනීම වතිකානුවේදී මන්ත්‍රණ සභාවේ කාදිනල්වරු 115 මැදිහත්වීම මත සිදු වෙනවා. 2013 මාර්තු 13 වෙනිදා 260 වෙනි පාප්වහන්සේ ලෙස බර්ගොග්ලියේ පාප්වහන්සේ පත් කරනු ලබනවා. පාප් පදවියට පත් වීමෙන් පසුව ෆ්‍රැන්සිස් යන නාමය ලබාගන්නවා.
සාමාන්‍ය ජීවිතයේදී පාප්තුමන් සරල නිහතමානී අල්පේච්ඡ ජීවිතයක් ගත කරන පුද්ගලයෙකු ලෙස බොහෝ දෙනා අතර ප්‍රසිද්ධියක් උසුලයි. උන්වහන්සේ ගුවන් ගමන්වලදී පවා සාමාන්‍ය පංතියේ යාම පුරුද්දක් කරගෙන තිබෙනවා. ශුද්ධ වූ සභාව වඩාත් විවෘත හා කාලානුරූපී විය යුතුයි යන්න එතුමාගේ මතයයි. අසීමිත හා නොහික්මුණු ලෙස ධනය රැස් කිරීම හා මාක්ස්වාදී සංකල්පවලට එතුමන් විරුද්ධත්වය පළ කර තිබෙනවා.
පාප් වහන්සේ ගබ්සාව වැළැක්වීමට පුරෝගාමීව කටයුතු කර තිබෙනවා. එමෙන්ම උන්වහන්සේ ළමා අපචාරයන්ට විරුද්ධව නැගී සිටි අයෙක්. සමලිංගික විවාහයන් අනුමත නොකළත් සමලිංගික ප්‍රජාව වෙනුවෙන් උන්වහන්සේ පෙනී සිටීමත් විශේෂත්වයක්. එමෙන්ම පාරිභෝගික අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් එතුමන් තම හඬ නඟා තිබෙනවා. එතුමන් දුප්පතුන් වෙනුවෙන් පෙනී සිටිමින් දයාබරිත පියෙක් මෙන් කටයුතු කළ අයෙක් උන්වහන්සේ සිය දේශනවලදී සියලුදෙනාට සාධාරණව සලකන ලෙස ඉල්ලා සිටි අතර සමාජයේ සිටින දුප්පත්ම ජනතාව කෙරෙහි අවධානය යොමු කිරීමට අපොහසත් වූ ආණ්ඩු විවේචනය කිරීමට පසුබට නොවුනු අයෙක්.
උන්වහන්සේ පවසන්නේ, “අපි ජීවත් වෙන්නේ වඩාත්ම අසමානකම් තිබෙන කොටසේ. ආර්ථිකය උපරිමයෙන් දියුණු වෙලා තිබෙනවා. ඒත් දුප්පත්කම අඩු වෙලා නැතිතරම්.”ලොවට අපරිමිත වූ සේවයක් කළ උන්වහන්සේ 2025 අප්‍රේල් 21 වෙනි දින ආඝාතයකින් පසු ඇති වූ හෘදයාබාධයක් නිසා ස්වර්ගස්ථ විය.
කතෝලික දින දර්ශනයේ වැදගත්ම සිදුවීමක් ලෙස සැලකෙන පාස්කු ඉරුදින වතිකානුවේ ශාන්ත පීතර චතුරස්රයේ පෙනී සිට පැය 24 කටත් අඩු කාලයකින් අනතුරුව උන්වහන්සේගේ ස්වර්ගස්ථ වීම සිදුවිය. පාප්වහන්සේගේ අන්තිම කැමැත්තට අනුව රෝමයේ සාන්ත මේරි මේජර් බැසිලිකාවේ විශේෂ සැරසිලි නොමැතිවම භූමිදාන කිරීමට නියමිතය. එමෙන්ම තම දේහය මිහිදන් කරන ස්ථානයේ තම නාමය ලතින් භාෂාවෙන් Franciscus ලෙස සටහන් කරන ලෙසද උන්වහන්සේ අවසන් කැමැත්තෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
පවනි දිලේකා