නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: නෙල්ලි රසකැවිල්ලේ කතාව
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

නෙල්ලි රසකැවිල්ලේ කතාව

Published April 7, 2025

නෙල්ලි ගෙඩිය හැදුණේ පාර්වතී දේවියගේ ඇහෙන් මහපොළොවට වැටුණු සතුටු කඳුළකින් කියලා ඉන්දියානු දේව කතාවල සඳහන් වෙනවා. දෙව්පුරයෙන් ආපු නෙල්ලි වුණත් ගුණයෙන් අධික නෙල්ලි තියෙන්නෙ ලංකාවේ කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? නමුත් ගුණයෙන් කොච්චර ඉහළ වුණත් නෙල්ලි කියන්නෙ මිනිස්සුන්ට අතහැරුණු අතැඹුලක්. ඒකට හේතුව නෙල්ලි ගෙඩියක තියෙන රස. අපි කවුරුත් දන්නවා නෙල්ලි ගෙඩියක රස පහක් තියෙන බව. ඒත් ඒ පහ මිශ්‍රවෙලා දැනෙන රසයට බොහෝ දෙනෙක් අකමැති නිසා පලතුරු කඩයකින් වැඩියෙන්ම ඉතිරි වෙන පලතුරු වෙන්නෙත් නෙල්ලි. කන්න අපහසු නෙල්ලි ලංකාවේ පළමු වතාවට කන්න පුළුවන් විදිහට, රසට හැපෙන්න නිෂ්පාදනයක් හදපු අපූරු තැනැත්තියක් එක්කයි අද අපේ කතාබහ. ඇය දිල්හාරා ශ්‍යාමදන්ති. දිල්හාරාට නෙල්ලිවලින් මෙහෙම රසකැවිල්ලක් හදන්න හිතුණ විදිහේ අපූරු කතාවක් තියෙනවා. ඇයට ඒ අදහස ආපු විදිහෙන්ම මේ කතාබහ පටන්ගත්තා…

“මම අවු. 17ක්ම වැඩ කළේ පීපල්ස් බෑන්ක් එකේ. දැනට අවු. 2කට කලින් මම ජොබ් එකෙන් අයින් වුණා. ඒ ව්‍යවසායිකාවක් වෙන්න තිබුණ ආසාව නිසා. අවුරුදු 14ක් මගේ රාජකාරිය වුණේ ව්‍යාපාරවලට ණය දෙන එක. මම මිනිස්සු පටන්ගත්ත විවිධ ව්‍යාපාර දැක්කා. ඒකත් එක්ක තමයි මටත් ව්‍යාපාරයක් කරන්න ආසාවක් ඇති වුණේ. ව්‍යාපාරය විදිහට නෙල්ලි තෝරගත්තෙ නම් අහම්බෙන්. රැකියාව කරපු කාලේ මට ක්ෂය රෝගය හැදුණා.

ශරීරයට හොඳින් ප්‍රතිශක්තිය ලැබෙන කෑම තමයි කන්න කිව්වෙ. ඉතින් ඔෆිස් එකට ගිහින් කන්න දෙයක් හිතාගන්න බැරි වුණා. ඊටපස්සෙ මගෙ මහත්තයා නෙල්ලි ගෙඩි පළලා අවුවෙ වේලලා දුන්නා මට ඔෆිස් එකට ගිහින් තියාගෙන කන්න. නමුත් නෙල්ලි ඒ විදිහට කන්න අපහසුයි. ඉතින් ජොබ් එකෙන් අයින් වුණාට පස්සෙ මායි මහත්තයයි නෙල්ලි අපහසුවක් නැතුව කන්න පුළුවන් විදිහක් ගැන රිසර්ච් කළා. මගේ සැමියා ජපුර විශ්වවිද්‍යාලයේ බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් උපාධියක් තියෙන කෙනෙක්. අපි දෙන්නගෙම දැනුම එකතු කරලා 2024 ජනවාරි වෙද්දි ෆෝමියුලා එක හරියටම අපි හදාගත්තා.

හොඳ රැකියාවකින් ඉවත් වෙලා එකපාරට ව්‍යාපාරයකට අතගහද්දි බයක් දැනුණෙ නැද්ද?

මුලින් බයක් දැනුණා. මම බැංකුවේ හිටියෙ ඩිපියුටි මැනේජර් විදිහට. හොඳ වැටුපක් ලැබුණා. මගේ ආසාව තිබුණේ ඉංග්‍රීසි කථිකාචාර්යවරියක් වෙන්න. නමුත් තාත්තා ඇප්ලිකේෂන් දාලා බැංකු රස්සාව මට ලැබුණා. රස්සාව කරනගමන් වැඩිහිටියන්ට ඔන්ලයින් ඉංග්‍රීසි කෝස් එකක් පටන්ගත්තා. ඒකෙන් ලැබුණු මුදලින් තමයි මම බිස්නස් එක පටන්ගත්තේ. නමුත් දැන් අපි දෙන්නම මේ ව්‍යාපාරය ගැන හොඳටම තෘප්තිමත්. මම රස්සාවෙන් අයින් වුණේ මැනේජර් එක්සෑම් එකත් පාස් වෙලා තියෙද්දි.

පලතුරකින් රසකැවිල්ලක් හදන්න අත්හදාබැලීම් කළේ නෙල්ලිවලින් විතරද?

වෙරළුත් උත්සාහ කළා. නමුත් මූලිකවම උත්සාහ කළේ නෙල්ලි. නෙල්ලි තෝරගන්න තවත් හේතුවක් තමයි ලංකාවේ වාණිජමය නෙල්ලි වගාවක් නැති වීම. වගාවක් වෙනුවෙන් නෙල්ලි හඳුන්වා දෙන්න ලොකු උවමනාවක් අපිට තිබුණා. සාමාන්‍යයෙන් ගෙවතුවල හැදෙන නෙල්ලි ගහකින්, දෙකකින් ගෙඩි කඩලා තමයි වෙළෙඳපොළේ විකුණන්නේ. එහෙම නැතුව නෙල්ලි වාණිජමය වගාවන් නෑ. ලංකාවේ විතරයි ගුණයෙන් ඉහළම නෙල්ලි තියෙන්නේ. ඉන්දියාවෙ තියෙන ලොකු නෙල්ලිවල වැඩි ප්‍රතිශතයක් තියෙන්නෙ වතුර. අපේ නිෂ්පාදනය විද්‍යාගාරයට යැව්වම පෙන්නුම් කළා නෙල්ලි ග්‍රෑම් 100ක විටමින් ක්‍ 680ක ප්‍රමාණයක් තියෙනවා කියලා.

ඒ කියන්නෙ ස්වභාවික නෙල්ලි ගෙඩියෙන් ලැබෙන ගුණයම ඔබේ නිෂ්පාදනයෙන් ලැබෙනවද?

අනිවාර්යයෙන්ම. මේක අපි හදන්නෙ නෙල්ලි ගෙඩියම කොටස්වලට කපලා. මේ නිෂ්පාදනයට කිසිම රසකාරයක් අඩංගු නෑ. ටෙස්ට් රිපෝට්ස් තියෙන නිසා අපට ඒක තහවුරු කරන්න පුළුවන්. නෙල්ලි ගෙඩියෙන් ලැබෙන විටමින්, මැංගනීස්, අයන්, සෝඩියම් සියල්ලම නොඅඩුව මේ රසකැවිල්ලෙන් ලැබෙනවා.

නෙල්ලි ගෙඩියේ රස පහක් තියෙනවනේ. මේ රසකැවිල්ලෙන් ලැබෙන්නෙ මොන රසයක්ද?

ඒ රස පහම ලැබෙනවා. කස්ටර්මර්ස්ලගෙන් වැඩිම ප්‍රතිචාර ලැබෙන්නෙ මේක කද්දි දැනෙන රස ගැන. ඒවා තමයි මට ලැබෙන හොඳම කමෙන්ට්ස්. නෙල්ලි ගෙඩියක් කාලා වතුර උගුරක් බිව්වම කටට දැනෙන නැවුම් ගතිය මේ රසකැවිල්ල කාලා වතුර බිව්වමත් ලැබෙනවා. සිය දෙනෙක් ගත්තොත් එක්කෙනෙක් දෙන්නෙක් කිව්වා මේක තරමක් තිත්තයි කියලා. නමුත් මේ ස්වභාවික තිත්ත රසය නැති කරන්න රසකාරක පාවිච්චි කළොත් අපේ අරමුණ ඉෂ්ඨ වෙන්නෙ නෑ. අපිට ඕන වයස් බේදයකින් තොරව කාටත් කන්න පුළුවන් විදිහේ ගුණ දෙයක් දෙන්න.

වෙළෙඳපොළ අභියෝගයට මුහුණ දුන්නෙ කොහොමද?

ඒකනම් හරි අපහසුයි. හේතුව මේක පොඩියට පටන්ගත්ත ව්‍යාපාරයක් වීම. අපි කලින් මිනි සුපර් මාකට් බැලුවා. ඒවට අපිට යන්න අමාරුයි එයාලා ඉල්ලන ස්ටොක්ස් අපිට එකපාරට දෙන්න අමාරු නිසා. අනිත් එක එයාලා දෙන මාජින් එක. තව හේතුවක් වැට් එක. අපි සුළු පරිමාණ ව්‍යාපාරිකයෝ විදිහට හොඳම නිෂ්පාදනයක් හැදුවත් මේ ප්‍රශ්න නිසා සුපිරි වෙළෙඳසල්වලට දාන්න බෑ. ඒ නිසා දැනට ව්‍යාපාරය කෙරෙන්නෙ Online හරහා විතරයි. රජයෙන් මැදිහත් වෙලා අපි වගේ සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට සහන ණයක් හෝ වෙනයම් සහනයක් සුපිරි වෙළෙඳසල් පැත්තෙන් හෝ ලබා දෙනවනම් ඒක ගොඩක් වටිනවා.

ඔබ මේ ව්‍යාපාරයට නෙල්ලි ලබාගන්නෙ කොහෙන්ද?

පලතුරු වෙළන්දන්ගෙන්. නමුත් අපිට අවශ්‍යයි මේ ගැන මිනිස්සුන්ව දැනුවත් කරලා නෙල්ලි වගාවකට යොමු කරවන්න. ගෙවත්තක එක නෙල්ලි ගහක් තියෙනව නම් මාසෙකට රු 50,000ක් විතර උපයන්න පුළුවන්. නෙල්ලිවලින් හදන්න පුළුවන් මේ රසකැවිල්ල විතරක් නෙවේ. වර්ණක, පවුඩර්, ටී බෑග් වගේ දේවලුත් හදන්න පුළුවන්. ඒ නිසා අවශ්‍ය වෙන්නෙ හොඳ නෙල්ලි වගාවක නෙල්ලි. කාගෙහරි ගෙදරක සරු ඵලදාවක් ඇති නෙල්ලි ගහක් තියෙනවනම් අපිට දැනුම් දෙන්න පුළුවන්. ගෙඩිවල කළු තිත් තිබුණත් අපි මේ නිෂ්පාදනයට යොදාගන්නෙ නෑ.

දෙව්පුර කියන නම යොදාගන්න හේතුව මොකද්ද?

දෙව්පුර කියන්නෙ දෙවියන් වැඩ සිටින තැනක්. මේ නෙල්ලි හැදුණා කියන්නෙත් පාර්වතී දේවියගේ සතුටු කඳුළකින් කියලා කතාවක් තියෙනවනේ. අපිට ඕන වුණේ ඒ වගේ පිරිසිදු තැනකින් එන නෙල්ලිවලින් පිරිසිදුව හදන නිෂ්පාදනයක් කියලා මිනිස්සුන්ට අදහසක් දෙන්න.

ඔබට මේ ව්‍යාපාරයට සහාය දෙන අය මතක් කළොත්…

මගේ මහත්තයා නැත්නම් මට මේ ව්‍යාපාරය කරන්න වෙන්නෙ නෑ. ඔහු තමයි හැම මොහොතකම මගේ හයියට හිටියේ. නෙල්ලි ගෙඩි කැබලිවලට කපන මැෂින් එක පවා හැදුවේ ඔහුයි. ඒ වගේ මැෂින් එකක් ලංකාවේ කොහෙවත් නෑ. අනිත් කෙනා පුතා. එයා තමයි අපි මේ නිෂ්පාදනය අත්හදා බලපු මුල්ම දවසෙ ඉඳන් අවසන් ප්‍රතිපලය එනකල්ම නිෂ්පාදනය රස බලලා ගුණ දොස් කිව්වේ.

පුතාගෙන් මුල ඉඳන් පියවරෙන් පියවර මේ නිෂ්පාදනයට ලැබුණු ප්‍රතිචාර කොහොමද?

පුතා නිසා තමයි මේ නිෂ්පාදනය සාර්ථක වුණේ. පොඩි අය බොරු කියන්නෙ නෑනේ. ඒ නිසාමයි අපි හදන හැමදේම එයාට කන්න දීලා බැලුවේ. ඉතින් එයා ඇත්තම කිව්වා. “මේක රස නෑ, කන්න බෑ” කියලා.

අවසන් නිෂ්පාදනයට පුතා ගොඩක් කැමති වුණා. ඊටපස්සෙ පුතාගෙ ස්කූල් බස් එකේ අයටයි, පන්තියේ අයටයි නෙල්ලි රසකැවිල්ල රස බලන්න දුන්නා. ඒ දරුවන්ගෙන් අපිට ලැබුණේ අවංක ප්‍රතිචාර. මොකද ගෙදරට ආපු නෑදෑයෙක්ට ඕක රස බලන්න දුන්නොත් හිත රිදෙයි කියලා රස නැති බව කියන්නෙ නෑනේ. පොඩි දරුවො එහෙම නෑ.

රැකියාවෙන් ඉවත් වෙලා තමන්ගෙම ව්‍යාපාරයක් පටන්ගන්න ආස කෙනෙක්ට ඔබට කියන්න තියෙන්නෙ මොනවගේ දෙයක්ද?

මට ඕන වුණා අපිට ජොබ් එකක් මතම යැපෙන්න බලාගෙන ඉන්න ඕන නෑ කියලා තරුණ ප්‍රජාවට පෙන්නන්න. තමන්ගෙ හිතේ තියෙන අලුත් දෙයක් කරන්න කාටහරි හැකියාවක් තියෙනවා නම් බය නොවී ඒ දේ කරන්න ඕන.

එරංදි කෞශල්‍යා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?