නර්තනාචාර්ය ප්‍රදීපා ආරියංශ
පුංචි ළමයි මල් වගෙයි. මල් වගේ ලස්සන හිත් තියෙන පොඩි දරුවෙක් සමාජයට බිහි කරන්න දරුවක්ගේ ජීවිතයට සෞන්දර්ය එකතු කරන්න ඕන. මෙහෙම කියන්නේ ප්‍රවීණ නර්තනාචාර්ය ප්‍රදීපා ආරියංශ. සුවහසක් දරුවන්ව සාම්ප්‍රදායික නර්තනයෙන් ඔප මට්ටම් කරන ඇගේ ගුරු ජීවිතයට මේ වෙද්දී අවුරුදු 28 ක්. ඇය මේ දිනවල ඇගේ කලායතනයේ දරුවන් එක්ක විශේෂ වැඩකට සූදානම් වෙනවා.
මේ දවස්වල ජීවිතය කොහොමද?
මේ දවස්වල නම් ටිකක් කාර්යබහුලයි මාර්තු 29 ජාතික අධ්‍යාපන පීඨයේ අභිනය නර්තන අට නමින් නර්තන ප්‍රසංගයක් පවත්වන්න සූදානමින් ඉන්නවා. කලා ආයතනයේ දරුවන් දෙසීයක් විතර මේ ප්‍රසංගයට සහභාගී වෙනවා. සාම්ප්‍රදායික උඩරට, පහතරට, භරත, ගීතානුකූල නර්තන, ගැමි නැටුම් වගේ නර්තන අංග ගණනාවක් ප්‍රසංග දිනයේ පවත්වන්න නියමිතයි.
නර්තනය හදාරන්න යොමු වුණේ කොහොමද?
මම නර්තනය හදාරන්න යොමු වුණේ අවුරුදු පහේදී වගේ. මගේ අම්ම මගේ නර්තන හැකියාව හඳුනගෙන මාව නර්තනය ඉගෙනගන්න යොමු කළා. පුංචි කාලේදිම තමයි භරත නර්තන කලාව හදාරන්න යොමු වුණේ.
පාසල් අධ්‍යාපනයෙන් පසුව වැඩිදුරටත් නර්තනය ගැන හදාරන්න ඉන්දියාවේ කලා ක්ෂේත්‍ර සරසවියට ඇතුල් වුණා. ඉන්දියානු ගැමි නර්තනයන්, කර්ණාටක සංගීතයත් විශ්වවිද්‍යාලය තුළදී හැදැරුවා. අද වෙද්දී මම ලබා ගත්ත දැනුම දරුවන්ට දෙන්න මගේම කලා ආයතනයක් පවත්වාගෙන යනවා.
ඉන්දියාවේදී ලබා ගත්ත අත්දැකීම් දරුවන්ට දෙන්නේ කොහොමද?
මේ වෙද්දී මගේ ගුරු ජීවිතයට අවුරුදු 28 වෙනවා. මම උඩරට, පහතරට, භරත නර්තනයන් වගේම බෙර වාදනයත් උගන්වනවා. ඉන්දියාවේ නර්තනය ඉගැන්වීමයි ලංකාවේ නර්තනය ඉගැන්වීමයි අතර ලොකු වෙනසක් තියෙනවා.
මම ඉන්දියාවේදී නර්තනය හැදෑරුවේ තද නීති රීති එක්ක. ලංකාවට ඇවිත් නර්තන ගුරුවරියක් විදියට මම ඉගෙනගත්ත නීති රීතිත් එක්ක දරුවන්ට ඉගැන්වීම් කළත් ඒ ක්‍රමය සාර්ථක වුණේ නැහැ. දරුවෝ කැමැත්තෙන් නර්තනය හදාරන්න යොමු වුණේ නෑ. ඒ නිසා මම ඉගෙනගත්ත දැනුම ඔවුන්ගේ මනසට බරක් නොවී කැමැත්තක් ඇති වන විදියට තමයි ඉගැන්වීම් කරන්නේ.
කලාව පොඩි දරුවෙක්ගේ ජීවිතයට වැදගත්ද?
නර්තනය විතරක් නෙමෙයි සංගීතය, චිත්‍ර කලාව ආදියත් කලාවට ඇතුළත් වෙනවා.අද තියෙන තරඟකාරී අධ්‍යාපන රටාව නිසා දෙමව්පියො උත්සාහ කරන්නේ දරුවන්ව ටියුෂන් ගෙනිහින් තවත් වැඩියෙන් ඉගැන්වීම් කරන්න.
ඒ නිසා කලාව ටිකෙන් ටික දරුවන්ගෙන් ඈත් වෙමින් පවතිනවා. දරුවන්ව පොඩි කාලයක් හරි සෞන්දර්ය විෂයක නියැලෙන්න පුරුදු කරන්න ඕන. කාලාවෙන් දරුවෙක්ට උගන්වන දේවල් ගොඩක් තියෙනවා. චිත්‍රයක් අදිද්දී ඉවසීම පුරුදු වෙනවා.

සංගීතයට සවන් දෙනකොට හිතේ තියෙන තරහ අඩු වෙලා හිත නිවෙනවා. නර්තනය හදාරද්දී ගුරුවරුන්ට, වැඩිහිටියන්ට ගෞරව කරන්න. හික්මීම ඇති කරන්න, විනයගරුක වෙන්න ඉගෙන ගන්නවා. සාම්ප්‍රදායික නර්තන අංගයන් පටන් ගන්නේ නමස්කාරය කිරීම නිසා දරුවන් පොඩි වයසෙදිම ගරු කිරීම ඉගෙනගන්නවා. ඒ නිසා හිත ලස්සන දරුවෙක්ව බිහි කරන්න කලාවට පුළුවන්.
දුවයි පුතයි අම්ම වගේ නර්තනය හදාරනවද?
දුවයි පුතයි දෙන්නම නර්තනය හදාරන්නම ඕන කියල බල කිරීමක් නැහැ. දරුවො ආස දේ කරන්න පිටිපස්සෙ ඉදන් උදව් කරනවා. දුව නම් මේ වෙද්දී නර්තනය හදාරනවා. විෂාරදත් කළා. ඒත් දුවගේ හීනය ලෝය කෙනෙක් වෙන එක. පුතා චෙෆ් කෙනෙක් වෙන්න ආසයි කියල කියනවා. ඒ හීනවලට යන්න පාර පෙන්වනවා.
කොහොමද ගෙදර වැඩත් එක්ක නර්තන වැඩ කටයුතු කරන්නේ?
ඇත්තටම මගේ පවුලේ අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මානසිකව මම හරිම සතුටෙන් ඉන්නේ. මහත්තයා මගේ නර්තන කටයුතු කරන්න එපා කියල කිසිම දවසක කියල නැහැ. ගෙදර වැඩවලටත් මහත්තයා උදව් කරනවා.

දරුවො දෙන්නත් පුළුවන් උපරිමෙන් කලා වැඩවලට උදව් කරනවා. ඉදිරියේදී පවත්වන ප්‍රසංගයට එකට දුවත් නර්තනයෙන් සම්බන්ද වෙනවා. විවාහයෙන් පස්සේ බහුතර කාන්තා පාර්ශවය තමන් කැමති දේ කරන්නෙ නැහැ. ඒත් මට අද වෙද්දිත් මම ආස දේ කරන්න පවුල කිසිම බාධාවක් වෙලා නැහැ.
දෙමව්පියන්ට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද?
මගේ කලා ආයතනයට නර්තනය ඉගෙනගන්න දරුවො එනවා. සමහර දෙමව්පියො දරුවො ආස නිසා අහනවා සෝෂල් ඩාන්ස් උගන්වනවද කියල.
ඒ නිසා දෙමව්පියෝ දරුවන්ව යොමු කරන්නේ ඒ පැත්තට. ඒත් මුලින්ම නර්තනයට පිවිසෙන දරුවෙක් සාම්ප්‍රදායික නර්තනය කියන්නේ මොනවද කියල දැනගන්න ඕන.
ඒ නර්තන අංග පුරුදු වෙන්න ඕන. සෝෂල් ඩාන්ස් ඉගෙනගන්න පන්ති යන්න ඕන නැහැ.දෙමව්පියො දැනගන්න ඕන පොඩි දරුවෙක්ව කලාවට යොමු කරනවනම් ඒක හරි විදියට කරන්න. සාම්ප්‍රදායික නර්තනය ඉගෙන ගෙන පස්සෙ තමන් කැමති නර්තන අංග ඉගෙනගන්න පුළුවන්.
පවනි දිලේකා ✍️