චීනයේ හිටපු ජේඩ් අධිරාජ්‍යයා ගැන ඉතිහාසයේ ඇතැම් තැන්වල සඳහන් වෙන්නෙ ඔහු ඉතා කරුණාවන්ත, උදාර රජ කෙනෙක් විදිහට. නමුත් ඔහු ඔහුගේ ප්‍රියතම ක්‍රේන් පක්ෂියා දඩයක්කරුවෙකු අතින් ඝාතනය වුණ තරහට මුළු ගමක්ම ගිනි තියන්න සැලසුම් කළ අයුරු චීන පහන් සැණකෙළි ඉතිහාසය ගැන හොයාබලද්දි සඳහන් වෙනවා. අධිරාජ්‍යයා තීරණය කරලා තිබුණේ චන්ද්‍ර වර්ෂයේ පසලොස්වක දින ගම්මානය ගින්නෙන් විනාශ කරන්න. මේ ගැන සංවේදී වූ අධිරාජ්‍යයාගේ දියණිය පියාණන්ගේ සැලසුම ගම්වැසියෙක්ට කියනවා. ගමේ හිටපු ප්‍රඥාවන්ත ගම්වැසියෙක් ගම්වාසීන්ට උපදෙස් දෙන්නේ ගම දැනටමත් ගිනි අරගෙන ඇති බවට හැඟීමක් අධිරාජ්‍යයාට දනවන්න ගම පුරාම රතු පහන් දැල්විය යුතු බවයි. මුළු ගමම රතු පැහැයට හැරීම නිසා ගම ගිනි ගන්නවායැයි සිතූ අධිරාජ්‍යයා ඒ ගම ගිනි තියන සිතිවිල්ල යටපත් කරගෙන තියෙනවා. වසරක් පාසා චීනයේ පැවැත්වෙන පහන් කූඩු සැණකෙළියේ ඉතිහාසය ගැන දැක්වෙන්නෙ එවැනි කතාවක්.
මෙවර චීන පහන් කූඩු සැණකෙළියට දින වෙන් වෙලා තිබුණේ පෙබරවාරි 12 වෙනිදට. මේ දවසට චීනයේ වීදි සියල්ලක්ම වර්ණවත් පහන් කූඩුවලින් සැරසෙනවා. වීදි විතරක් නෙවෙයි නිවාස, ගොඩනැගිලි, සාප්පු ඉදිරියෙන් පහන් කූඩු එල්ලීම අනිවාර්ය අංගයක්. පහන් කූඩු සංකේතවත් කරන්නේ මිනිසුන් පසුගිය වසර අතහැර දමා නව වසර වාසනාවන්ත ලෙස පිළිගැනීමයි.
එමෙන්ම අනාගතය ආලෝකමත් කිරීමයි. මේ එල්ලන ඇතැම් සාම්ප්‍රදායික රතු පැහැ පහන් කූඩුවල ප්‍රහේලිකා සටහන් කර තිබීම විශේෂ අංගයක්.


ප්‍රහේලිකා විසඳන්න කූඩුව වටේ එකතු වෙන ඈයොන්ට පුළුවන් හරියටම ඒක විසඳුවා කියලා හිතුවොත් පහන් කූඩුවෙන් ප්‍රහේලිකාව ගලවගෙන ගිහින් සාප්පු හිමියගෙන් උත්තර පත්‍රය පිරික්සලා පුංචි තෑග්ගක් ලබාගන්න. ලංකාවෙත් දක්නට ලැබෙන මේ සාම්ප්‍රදායික චීන පහන් කූඩු සියල්ල රතු පැහැයෙන් යුතු වෙන්නේ වාසනාව කැඳවීමටයි.
චීන පහන් කූඩු සැණකෙළියෙදි විශේෂ තැනක් හිමිවන කෑමක් තියෙනවා. ඒ තමයි ටැන්ග්යුවාන් නම් වූ විශේෂ සහල් බෝල. මේ සහල් බෝලවලත් සැඟවුණු අපූරු කතාවක් තියෙනවා.
මේවා ආහාරයට ගැනීමෙන් නැවත එක්වීම, සම්පූර්ණත්වය සංකේතවත් වෙනවා. සහල් බෝලවල ඇත් වටකුරු හැඩය සහ පාත්‍රවල රවුම් හැඩය පූර්ණත්වය සහ එකමුතුකම සංකේතවත් කරන බවත් චීන ජනයා විශ්වාස කරනවා.
සැණකෙළි පැවැත්වෙන රාත්‍රී කාලයෙදි වීදිවලට රැස්වෙන ජනයා මේ ටැන්ග්යුවාන් නම් වූ සහල් බෝල ආහාරයට ගනිමින් වීදි පුරා සංචාරය කෙරෙන මකර සහ සිංහ නැටුම් නරඹමින් විනෝද වීම චාරිත්‍රයක්.චීනයේ වඩාත් කැපී පෙනෙන සාම්ප්‍රදායික ජන නැටුම් ද්විත්වයක් ලෙස මකර සහ සිංහ නැටුම් බහුලව දක්නට ලැබෙනවා.
චීන ජනතාව සිංහයාව සලකන්නේ නිර්භීතකමේ සහ ශක්තිය් සංකේතයක් ලෙසයි. සිංහයාගේ පෙනුමට නපුර පලවාහැර මිනිසුන් සහ පශු සම්පත් ආරක්ෂා කළ හැකි බව ඔවුන් විශ්වස කරනවා.
මකරාද ඔවුන් වන්දනාමානයෙන් සලකන අතර වාසනාවේ සංකේතය ලෙස මකරාව සලකනවා.මේ වනවිට චීන පහන් කූඩු සැණකෙළිය සීමා වී ඇත්තේ චීනයට විතරක්මත් නෙවේ. බටහිර රටවලත් වැඩි වශයෙන් මේ චීන පහන් කූඩු සැණකෙළි දක්නට ලැබෙනවා වගේම ජනප්‍රිය වෙමින් පවතිනවා.
චීනෙටත් කලින්ම මේ අවුරුද්දේ ජනවාරි 12 වැනිදා චීන පහන් කූඩු උත්සවය පැවැත්වුණේ ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර. ඒ වගේම පෙබරවාරි මාසයේදි නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවරත් චීන පහන් කූඩු සැණකෙළියක් පැවැත්වෙනවා. ඒත් සැබෑවටම වචනයේ පරිසමාප්ත අර්ථෙයන්ම චීන පහන් කූඩු සැණකෙළියක් බලන්නනම් යන්න ඕනෙ චීනෙටම මිසක් වෙන රටවලට නෙවේ.
එරංදි කෞශල්‍යා ✍️