නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ලංකාවෙන් පිටරට යන්න සැරසෙන කොස් බයිට්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ලංකාවෙන් පිටරට යන්න සැරසෙන කොස් බයිට්

Published July 29, 2024

”අතීතයේ ඉඳලම කොස් කියන දේශීය ආහාරය ගොඩක් ජනප්‍රියයි. හැබැයි වර්තමානය වෙද්දි මේ වගේ දේශීය දේවල් අපේ ආහාර විදියට එකතු කරගන්නවා හරිම අඩුයි. ඉතින් මට ඕන වුණේ අපි ‘බත් ගහ’ කියලා අඳුරගන්න කොස් ගහෙන් ගන්න කොස් අපතේ නොයවා ඒවායින් උපරිම ප්‍රයෝජනයක් ගන්න.”

මේ වගේ අලුත් විදිහට හිතන තරුණයෙක් අපිට හමුවුණේ, කොස් ප්‍රධාන අමුද්‍රව්‍ය විදිහට භාවිත කරලා “සීහල ෆුඩ් ප්‍රොකඩක්ට්ස්” නමින් තමන්ගේම ව්‍යාපාරයක් කරගෙන යන තරුණ ව්‍යවසායකයෙක් විදියට. ඉතින් අද අපි ඔහුව අපේ කතාබහට සම්බන්ධ කරගත්තා.

මොකක්ද මේ කොස්වලින් කරන ව්‍යාපාරය.

මම සීහල ෆුඩ් ප්‍රොකඩක්ට්ස් නමින් කොස් ආශ්‍රිත නිෂ්පාදන පෙළක් හඳුන්වා දීලා තියෙනවා. එයින් කොස් බයිට්, කොස් මුරුක්කු, කොස් ටොෆි වගේම කැවුම්, කොකිස් වගේ කැවිලි වර්ගත් කොස් පිටි මිශ්‍ර කරලා අලුත් රසයකින් එළි දක්වලා තියෙනවා.

කාවින්ද කියන තරුණ ව්‍යවසායකයා කවුද?

මම කාවින්ද මද්දුමගේ, දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ බෞද්ධ උරුමය හා සංචාරක කර්මාන්තය පිළිබඳ විශේෂවේදී උපාධිය හදාරන සිව්වන වසර විද්‍යාර්ථයෙක්.

ඉගෙනගන්න අතරේම ව්‍යවසායකයෙක් වෙන්නත් ඕන කියලා ඔයාට හිතුනෙ ඇයි?

ඇත්තටම කැම්පස් එකේ දෙවැනි අවුරුද්දේ ඉගෙන ගන්න කාලෙම තමයි ව්‍යාපාරයක් කරන්න ඕන කියන අදහස මට ආවෙ. ඒකට හේතුව වුණේ කැම්පස් එකේ විවිධ වැඩසටහන් කරන කොට ඒවාට අවශ්‍ය මුදල් එකතු කරගන්න අපි විවිධ වැඩ කරනවා. ඉතින් එක පාරක් අපට අදහසක් ආවා කොස් මදුළු කැම්පස් එකේ විකුණලා බලමු කියලා. ඒ වැඩේට කොස් මදුළු අරන් එන්න මමත් ඉදිරිපත් වුණා.

එදා කොස් අලෙවි කරන දවසේ, ගොඩක් දෙනෙක් යෝජනා කළා කොළඹ නාගරික නිසා කොස් හොයාගන්න ගොඩක් අමාරුයි පුළුවන්නම් එයාලට කොස් ගෙනත් දෙන්න කියලා. ඉතින් ඒ ඉල්ලීම නිසා මම ඒ අයට ටික දවසක් යනකන් කොස් මදුළු විකුණුවා.

ටික දවසක් යද්දි මට හිතුණා මේ අය කොස් ඉල්ලනවා නම්, මට කොස් සැපයීම කරන්නත් පුළුවන් නම් මේ දේ අලුත් විදියකට වෙනස් කරලා මේ අයට දුන්නනම් හොඳයි නේද කියලා. ඉතින් ඒ අදහස තමයි මගේ මේ නිෂ්පාදන පෙළ නිර්මාණය වෙන්න ප්‍රධානම හේතුව වුණේ.

කොහොමද මේ නිෂ්පාදනවලට අවශ්‍ය අමුද්‍රව්‍ය හොයාගන්නේ?

අපේ ගමේ ඉඩම්වල ගොඩක් කොස් ගස් තියෙනවා. මේවායින් අපේ පරිභෝජනයට නොගෙන ලොකු අතිරික්තයක් අපතේ යනවා. ඉතින් මම මේ නිෂ්පාදනය පටන් ගත්තට පස්සේ මගේ නිෂ්පාදනයට අවශ්‍ය වන අමුද්‍රව්‍ය ගොඩක් මම මගේ ගෙදරින් සහ අහළ පහළ ගෙවල් වලින් තමයි සපයා ගන්නේ.

කාවින්ද දැනට මේ නිෂ්පාදන කටයුතු කරන්නේ කොහෙද?

මම මේ හැම නිෂ්පාදනයක්ම කරන්නේ කළුතර දොඩම්ගොඩ තුඩුගල පිහිටි මගේ ගෙදරමයි. මගේ පවුලේ හත් දෙනෙක් ඉන්නවා. ඒ අයගේ ශ්‍රමදායකත්වයෙන් තමයි මේ හැම නිෂ්පාදනයක්ම සිද්ධ වෙන්නේ.

කොහොමද ඔයාගේ නිෂ්පාදන බෙදා හරින්නේ?

දැනට මම ඔන්ලයින් මාධ්‍ය තමයි මගේ ප්‍රධානතම බෙදා හැරීමේ මාධ්‍ය විදිහට භාවිත කරන්නේ. ෆේස්බුක් පේජ් එකට වගේම වට්ස්ඇප් හරහා ලැබෙන ඕඩර්ස්වලට තමයි මම මේ නිෂ්පාදන බෙදා හරින්නේ. ඒ වගේම මට පෞද්ගලිකව කතා කරලත් ගොඩක් අය ඇණවුම් ලබා දෙනවා. විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළත් මම මේ නිෂ්පාදන බෙදා හරිනවා. ඒ වගේම ඉදිරියේදී සුපිරි වෙළඳසැල් ජාලයත් එක්ක සම්බන්ධ වෙලා මේ නිෂ්පාදන අලෙවි කරන්න වගේම විදේශ රටවලටත් අපනයනය කරන්න තමයි මගේ බලාපොරොත්තුව.

අධ්‍යාපනයයි ව්‍යාපාරයයි දෙකම කරන්න කාවින්ද වෙලාව තියෙනවද?

ඇත්තෙන්ම අද වෙනකොට අපි හැමෝම කාර්යබහුලයිනේ. ඉතින් විශ්වවිද්‍යාලයේ අවසන් වසර ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් විදියට ව්‍යාපාරයකුත් කරද්දි මමත් ගොඩක් කාර්යබහුල වෙනවා. ඇත්තටම මම අධ්‍යාපන, ව්‍යාපාර කටයුතු විතරක් නෙවෙයි විශ්වවිද්‍යාලයේ තියෙන විවිධ සමිති, සමාගම් වලටත් සම්බන්ධ වුණා. ඒවායේ තනතුරුත් දැරුවා. ඉතින් ඒ හැමදේම කරන ගමන් තමයි මම මේ ව්‍යාපාර කටයුත්තත් කරගෙන යන්නේ. මම කාලසටහනකට අනුව මගේ වැඩ බෙදාගෙන තමයි මේ හැම වැඩක්ම බැලන්ස් එකේ කරගන්නේ.

ඔයාගේ මේ වැඩ වලට කැම්පස් එකෙන් ලැබෙන සහයෝගය ගැනත් මතක් කරොත්…..

ඔව් ඇත්තෙන්ම ඒ ගැන මතක් කරන්නම ඕන. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ පීඨාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව 2019 අවුරුද්දේ තරුණ ව්‍යවසායකයන් වෙනුවෙන් ව්‍යවසායකත්ව සංවර්ධන ඒකකයක් නිර්මාණය වෙනවා. ඉතින් මේ ව්‍යවසායක අදහස් මගේ ඔලුවට එන්න මේ දේ ලොකු උදව්වක් වුණා.

අද සමාජයේ ගොඩක් අය හිතන් ඉන්නවා කලා ව්ෂයන් කරන අයගේ මෘදු කුසලතා දුර්වලයි කියලා. හැබැයි ඒකට පිළියමක් විදියට අපේ කැම්පස් එකේ මේ වගේ ඒකක නිසා අපේ ව්‍යවසායකත්ව අදහස්, නායකත්ව කුසලතා සංවර්ධනය කරනවා. ඉතින් අද වෙනකොට කාවින්ද මද්දුමගේ කියන ව්‍යවසායකයා වගේම සීහල ෆුඩ් ප්‍රොකඩක්ට්ස් කියන නිෂ්පාදනය බිහිවෙන්නෙත් මගේ කැම්පස් එක නිසාමයි. ඒ විතරක් නෙවෙයි ඇත්තෙන්ම ජපුර ටුවරිසම් ක්ලබ් එකෙන් වගේම මුළු විශ්වවිද්‍යාලයෙන්ම මගේ මේ වැඩ කටයුතුවලට සහයෝගයක් ලැබුණා.

ව්‍යවසායකයෙක් විදියට ඔයාට මේ වෙද්දි ලැබිලා තියෙන ඇගයීම් මොනවද?

ඔව්, ඇත්තෙන්ම මට මේ සඳහා ඇගයීම් කිහිපයක්ම ලැබුණා. ඒකෙන් ප්‍රධානම එකක් තමයි ජාත්‍යන්තර කම්කරු සංවිධානය, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සමඟ එක්ව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් පැවැත්වූ තරුණ ව්‍යවසායකත්ව තරඟාවලිය (SPARK) – 2023දී, 450 කට අධික ව්‍යවසායකයන් අතරින් හොඳම ව්‍යවසායකයින් දස දෙනා අතරට මමත් තේරී පත්වුණා.

ඒ වගේම විශ්වවිද්‍යාලයේ Enter club හි 2023 වසරේ හොඳම ව්‍යවසායකයාත්, Rotaract club හි පැවැත්වූ ව්‍යාපාරික අදහස් තරඟාවලියේ තුන්වන ස්ථානයත් මට ලැබුණා. ඒ වගේම තමයි ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ දකුණු ආසියානු ව්‍යවසායක නායකත්වය ව්‍යාපෘතිය (SALE project) යටතේ ඉන්දියානු ව්‍යවසායකත්ව පුහුණු චාරිකාවක් ලබන්නත් මට අවස්ථාව ලැබුණා. ඒත් එක්කම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ව්‍යවසායකත්ව වැඩසටහන්වලට සම්බන්ධ වෙලා ව්‍යවසායකයන් දිරි ගන්වන්නත් මට අවස්ථාව ලැබිලා තියෙනවා.



කාවින්දගේ අනාගත බලාපොරොත්තු ගැනත් අපි කතා කරමු….

හොඳ ව්‍යවසායකයෙක් වෙලා රටට අලුත් ආහාර වර්ග හඳුන්වලා දෙන්න වගේම අපේ තරුණ පරම්පරාව ව්‍යවසායකත්වයට දිරි ගන්වන්න මට දෙන්න පුළුවන් හැම සහයක්ම ඔවුන්ට ලබා දෙන්නත් මම බලාපොරොත්තු වෙනවා.

ඉස්සරහට බිහිවෙන්න ඉන්න තරුණ ව්‍යවසායකයන්ට කාවින්දට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද?

කෙනෙක්ගෙන් රැකියාවක් ඉල්ලනවා වෙනුවට ඔයා තව කෙනෙක්ට රැකියාවක් දෙන්න පුලුවන් විදියේ කෙනෙක් බවට පත්වෙන්න. ලංකාව තුළ වෙළඳපොළ වටිනාකම ඉතාම ඉහළ සම්පත් ගොඩක් තියෙනවා. ඒ වුණාට අපි ගොඩක් දේවල් පිටරටින් ආනයනය කරනවා.

ඒත් අපිට ඒ දේවල්වලට අලුත් විසඳුම් ලංකාවෙන්ම දෙන්න පුළුවන්කම තියෙනවා. ඇයි ඉතින් අපි ඒවට මැදිහත් නොවෙන්නේ? ඇත්තෙන්ම ව්‍යවසායකයෙක් වෙන්න නම් අනිවාර්යෙන්ම අවධානමක් ගන්නම වෙනවා. ඉතින් මම අපේ තරුණ ව්‍යවසායකයන්ටත් කියන්නේ අවදානමක් අරගන්න. අලුතින් හිතලා අලුත් දෙයක් කරන්න. මොකද අවදානමක් ගන්නේ නැතුව අපිට අපේම කියලා දෙයක් කරන්න අමාරුයි.

ටෂ්මි ගමගේ ✍️



 

TAGGED: කොස් බයිට්, සීහල ෆුඩ් ප්‍රොකඩක්ට්ස්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?