නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අර්ථාන්විත වෙසක් මංගල්‍යයක් දායක කිරීමයි අපි කළ යුත්තේ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

අර්ථාන්විත වෙසක් මංගල්‍යයක් දායක කිරීමයි අපි කළ යුත්තේ

Published May 27, 2024

ශාස්ත්‍රපති,කොටහේනේ නාරද ස්වාමීන්වහන්සේ ශ්‍රී නාග විහාරය – කෝට්ටේ

පසුගිය කාලපරිච්ඡේදය තුළ රටේ තිබුණු විවිධ තත්ත්වයන් නිසා ශ්‍රී ලාංකික ජනතාවට වෙසක් මංගල්‍යය හරිහැටි ස්මරණය කිරීමේ හැකියාවක් ලැබුණේ නැහැ. වසර ගණනාවකට පසු වෙසක් මංගල්‍යය ස්මරණය කිරීමේ හැකියාව ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවට මෙවර උදාවී තිබෙනවා.ඒ නිසා ලැබී තියෙන අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන තමන්ගේ ශාස්තෘවරයාණන් වන ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය ස්මරණය කරන මෙම අවස්ථාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවෙන් පූජා උපහාරය දක්වන කාලපරාසයක් බවට පත්කරගන්න.

ඒ කාලසීමාව තුළ සැදැහැවත් බෞද්ධයන් ශ්‍රද්ධාව වර්ධනය කරගැනීමත් ඒ වගේම සියලු දෙනාම ආගමික ප්‍රතිපත්ති මතින් ශීලාදි ගුණධර්ම වර්ධනය කිරීම පිණිස සිත යෙදවීමත් කරගන්න පුළුවන්.

මෙවර වෙසක් මංගල්‍යය සඳහා ඔබ වහන්සේගේ විශේෂ සූදානම්වීමක් තිබෙනවද?

මෙවර වෙසක් මංගල්‍යය සඳහා විශාල ප්‍රබෝධයක් ජනතාව තුළ ඇතිවෙලා තිබෙන බව පේනවා. ඇත්තටම අර්ථාන්විත වෙසක් මංගල්‍යයක් දායක කිරීම තමයි අපි කළ යුත්තේ. සැබෑවටම වෙසඟේ අරුත ජනතාවට දැනෙන්න සලස්වන එක ආගමික නායකයන් විදිහට අපගේ වගකීමක්. හුදු සැණකෙළියකට වැඩිය වෙසක් යනු ඉතාම අර්ථාන්විත යහපත් ගුණධර්ම ප්‍රගුණ කරන කාලපරිච්ඡේදයක් බව ජනතාවට අප මතක් කළයුතු වෙනවා.

මෙතරම් දන්දෙන රටක් ලොව කොහේවත් නැහැ. මේ තරම් අනුන්ට උපකාර දක්වන පරාර්ථයේ යෙදෙන මිනිසුන් පිරිසක් ලෝකයේ කොහේවත් නැහැ. මේ වෙසක් සමය කියන්නේ සියලු දෙනාගෙම යහපත උදෙසා, මෛත්‍රිය උදෙසා, කරුණාව, දයාව වැනි ගුණධර්ම ප්‍රගුණ කිරීමට ජනතාවට මතක් කළ යුතු කාලයක් බවට පත්කරගන්න ඕන.

ආගමික නායකයා විදිහට ස්වාමීන් වහන්සේලා විදිහට විහාරස්ථානවලදී විශේෂයෙන්ම අපේ දායක කාරකාධීන්ව එකතු කරගෙන වෙසක් මංගල්‍යය බෞද්ධයන්ට පමණක් නොව සියලු දෙනාටම යහපත පිණිස ගුණධර්ම ප්‍රගුණ කරන කාලසීමාවක් බවට පත් කිරීම කළ යුතුයි. අපේ විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන අපේ ළමා පරපුර එකතු කරගෙන දරුවනට වෙසඟේ අරුත සිහිගන්වන කාලපරිච්ඡේදය බවට පත්කර තිබෙනවා.


වෙසක් මංගල්‍යය සහ අන්‍යාගමික සහජීවනය

මේ රට බෞද්ධ රටක්. ඇත්තටම බෞද්ධ නිසා තමයි අපි සියලු ආගම්වලට සහජීවනයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ‘සබ්බේ සත්ථා භවන්තු සුකි සත්තා’ යනුවෙන්.

ඒ කියන්නේ ලෝකයේ සියලු සත්ත්වයන් සුවපත් භාවයට පත්වෙන්න ඕනා කියන එක. ලොක්යේ සුවපත්භාවය පිණිස බුද්ධ ධර්මය පවතින බවයි උන්වහන්සේ කියා තිබෙන්නේ. ඒ නිසා බෞද්ධ හෝ වේවා, හින්දු හෝ වේවා, ඉස්ලාම් හෝ වේවා, කතෝලික හෝ වේවා මේ සියලු ආගම්වලට සුවපහසු පරිසරයක් ගොඩනැඟීම තමයි බෞද්ධ අපේ පරමාර්ථය වී ඇත්තේ.

වෙසක් මංගල්‍යය සමඟ වැඩිවන දන්දීම

වෙසක් කියන්නේ හුදු සැණකෙළියක් නොවේ. යම් අයෙක් එසේ කරනවා නම් එය තරයේ හෙළා දැකිය යුතුයි.දන්සල කියන්නේ මිනිසා දන්දීමට පෙළෙඹවීමකි. හුරු කිරීමකි. බලෙන් කතාකරලා යමක් දෙන රටක් ලෝකෙ කොහේවත් නෑ. අපේ මිනිසුන් හුරුවෙලා තියෙන්නේ වෙසක් කාලෙට හරි තියෙන යමක් නැති බැරි අයට දෙන්න.

එහෙත් ඒක තවත් පිරිසක් කූට උපක්‍රමශීලිව ව්‍යාපාරික අරමුණු තකා කරනවා නම් එතැන දන්දීමේ ආනිශංසය ලැබෙන්නේ නැහැ.දන්දීම කියන්නේ මොකක්ද, දන්සලක අර්ථය කුමක්ද යන්න අවබෝධ කරගෙන දන්සල් පවත්වනවා නම් නියම දන්දීමෙන් ලැබෙන චිත්තප්‍රීතිය සහ පරිත්‍යාග කිරීමේ ගුණධර්මය ප්‍රගුණ වෙනවාමයි.

වෙසක් මංගල්‍යය සමග හැඩවෙනි කූඩු/ බකට් සැරසිලි

වෙසක් කූඩුවට විශාල අර්ථයක් තියෙනවා. වෙසක් කූඩුව තුළින් ගම්‍ය කරන්නෙ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. තවත් පැත්තකින් කියනවා නම් අෂ්ඨ ලෝක ධර්මතාවයයි. බුද්ධ දර්ශනය තුළ ඉගැන්වෙන මූලික කරුණු ගම්‍ය කරන දෙයක් බවට මේ වෙසක් කූඩුව පත්ව තිබෙනවා. ෂඩ් වර්ණය, බුද්ධ රශ්මි මාලාව ගම්‍ය කරනු ලබනවා. මේ වර්ණ සැරසිල්ල ලොව්තුරු බුදුරජාණන් වහන්සේට පුජෝපහාරයක් වෙනවා.

මේ විදුලි ආලෝක පූජාවන් සියල්ල මිනිසුන් කරන්නේ ආමිස පූජාවන් වශයෙන්. විසිතුරු ධජපතාක එල්ලීමෙන් කරන්නෙත් එම පූජාවන්මයි. වෙසක් සැරසිලි තුළින් ගම්‍ය වන අරුත තේරුම් අරගෙන ඉෂ්ඨ සිද්ධ කිරීම තුළින් සිතේ ඇති වන සතුට හෙවත් පින සිද්ධ කරගන්න ජනතාවට පුළුවන්.ගෙදරක නම් පුංචි දරුවෝ එකතු කරගෙන කූඩු හදන්න, අලවන්න ඕන. ඒ ඇතිවන නිරාමිස සතුට සිත්වල පින පහළ කරනවා. බුද්ධ දේශනාව තුළ තිබෙන අනිත්‍ය මෙනෙහි කරවනවා.

ගරු හේමන්ත පෙරේරා පියතුමා සම්බන්ධීකාරක- වෙරිටාස් ආසියානු ගුවන් විදුලිය සිංහල සේවය

සම්බුදු තෙමඟුල කිතුනු ඔබට දැනෙන්නෙ කොහොමද?

ශ්‍රී ලාංකිකයින් හැටියට පුංචි කාලෙ ඉඳලම කතෝලික අපිත් බෞද්ධ, හින්දු, ඉස්ලාම් හැමෝම එකට ජීවත් වුණා. නත්තලේදී බෞද්ධයනුත් සතුටු වෙනවා. ඒ වගේම තමයි වෙසක් මංගල්‍යයට කතෝලිකයනුත් සතුටු වෙනවා.

අපිත් ඉස්සර ගෙවල්වල වෙසක් කූඩු හැදුවා. හවසට දන්සල් දුන්නා. රෑට තොරන් බලන්න ගියා. බෞද්ධ දර්ශනය තුළ අද අපේ රටේ ගොඩක් මිනිස්සුන්ගෙ ජීවිත වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා ඒක අපි හැමෝටම පොදු ආගමික උත්සවයක් ලෙසයි මම දකින්නේ.

කතෝලික ආගම නියෝජනය කරන පියතුමෙක් වශයෙන් මිනිස්සුන්ට දෙන වෙසක් පණිවිඩය මොකද්ද?

අපේ හැම ආගමකින්ම අපිට කියාදෙන්නේ යහපත් දේවල්. ප්‍රේම කරන්න, මෛත්‍රී කරන්න, වෛර නොකරන්න ඒ සිතුවිලි අතරේ තියෙනවා කියලා තමයි ආගම්වල උගන්නන්නේ. හැමතිස්සෙම අපි ළඟ නොව බලන්න ඕනෙ දුර. ඉතින් ඒ හරහා අපි කරන කියන හැම දෙයක්ම අපි ජීවත්වන සමාජයට බලපානවා.

මේ ලෝකෙ විවිධත්වයක් තියෙනවා. ඒ විවිධත්වය ඇතුළෙ ලස්සනක් තියෙනවා. හැම දෙයක්ම එක වගේ වුණා නම් ලස්සන නැහැ. විවිධත්වය ඇතුළෙ ලස්සන දැක්කොත් අපිට පුළුවන් කෙනෙක්ට වෛර නොකර, හතුරුකම් නොකර, ඊර්ෂියා නොකර සතුටු වෙන්න. මේක තමයි මම වෙසක් මංගල්‍යයේ දී හැමෝටම දෙන පණිවිඩය.

අල් හාජ් ආෂ් ෂෙයික් මෞලවිතුමාඒ. එන්. එම්.ෆිර්දව්ස් (මාන්බායි) භාණ්ඩාගාරික – ධර්ම ශක්ති සංවිධානය

අද අපි මේ පන්සලට ඇවිල්ලා වෙසක් මංගල්‍යය වෙනුවෙන් සර්වාගමික නායකයන් එකමුතුවෙලා වෙසක් කූඩු හැදුවා. මේ ආකාරයෙන් ලාංකීය ජනතාවත් එකමුතුව කටයුතු කිරීමෙන් තමා අපට රට තුළ සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ.

බුදුරජාණන් වහන්සේ පමණක් නොවෙයි සියලු ආගම්වල නායකයින් එකමුතුකම තුළින් තමයි ජයග්‍රහණයන් ලබාගන්න පුළුවන් කියන දේ නිසියාකාරව වටහා දී තිබෙනවා.

අපිට යම්කිසි දෙයකින් ජයග්‍රහණය ලබන්න නම් එකමුතුකම අවශ්‍යමයි. ගජමුතුවල ලොකු වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම මුදලින් කියන්න පුළුවන්. නමුත් එකමුතුකමට මිල කරන්න බැරි වටිනාකමක් තියෙන්නේ. එකමුතුකම තුළ පළුද්දක් ඇතිවුණ නිසා තමයි ඉංග්‍රීසින් උඩරට අල්ලගත්තේ. තවමත් අපේ රට වහල් භාවයට පත් කරගන්න රටවල් උත්සාහ කරනවා.

එයින් මිදීමට නම් ඉස්ලාම්,බෞද්ධ, කිතුනු, හින්දු කියන අපි එතැනින් ඔබ්බට ගිහින් ලාංකිකයන් හැටියට කටයුතු කළ යුතුමයි. එහෙම කටයුතු නොකරන තාක් අනිවාර්යයෙන් අපටත් මේ පොළොවේ සතුටින් ජීවත් වීමේ භාග්‍ය උදාවෙන්නෙ නැහැ.

ඉදිරියට මේ පොළොවේ ජීවත්වෙන්න සිටින දරුවන්ටත් රට තුළ හොඳාකාරව ජීවත්වීමේ අවස්ථාවක් ලැබෙන්නේ ලෝකෙ කොහේ හිටියත් එකමුතුව කටයුතු කිරීමෙන්.එකමුතුකම කියන කඹය තදින් අල්ලගන්න.

ඉස්ලාම් ආගමේ තියෙනවා අසල්වාසීන්ට සලකන්න ඒ කෙනා මුස්ලිම් කෙනෙක්ම විය යුතු නැහැ කියලා. අසල්වැසියා හින්දු වෙන්න පුළුවන්. කතෝලික වෙන්න පුළුවන්. බෞද්ධ වෙන්න පුළුවන්.

හොද්දක් හැදුවත් වතුර ටිකක් වැඩිපුර දාලා අහළ පහළ අයටත් දීලා එය තුළින් තීප්තිය ලබාගන්න. ඒ වගේම ජීවත් වුණත් මැරුණත් මිනිස්සුන්ට ගරු කරන්න. ඉස්සර මං දැකලා තියෙනවා බස් එකක යද්දි පාරක මිනියක් ගෙනිච්චත් මිනිස්සු නැගිටිනවා.

අද ඒක නැති වෙලා ගිහින්. නමුත් ඒ ගෞරවය, එකමුතුකම නැති කරගන්න හොඳ නෑ. බුදුරජාණන් වහන්සේ කියනවා දානං සග්පස්ස සෝපානං, දානය ස්වර්ගයටත් ඇතුළු කරන දෙයක්, අපි ස්වර්ගී ජීවිතයක් මේ පොළොව මතට ගතකිරීමට නම් එකමුතුව අනිවාර්යයෙන්
කටයුතු කළ යුතුයි.

ශිවක් ශ්‍රී දර්ශක ශර්මා කුරුක්කල්තුමා ලේකම් – ජාත්‍යන්තර ආනන්ද ශිව ගුරුකුල

වෙසක් මංගල්‍යය කියන්නේ ලෝකයේ තිබෙන පැරණිම ආගමික උත්සවවලින් එකක්. අපි හිතනවා ලංකාවේ අපි විතරයි වෙසක් උත්සවය සමරන්නේ කියලා. නැහැ මගේ දැනුමට අනුව ඒ මතය වැරදියි. ලෝකවාසී ජනතාවගෙන් හරි අඩක් පමණ වෙසක් උත්සවය සමරනවා.
අපේ හින්දු සංස්කෘතිය බැලුවාම වෛශාක්‍ය පවුර්ණමී කියන මේ දවස අපටත් වටිනවා. හින්දු දර්ශනය තුළ බුද්ධ දර්ශනය වෙන් කරලා බලන්නේ නැහැ.

අපේ දර්ශනය තුළ අපි පිළිගන්නවා වැරදීම මනුෂ්‍ය ගතියක් බව.හින්දු සංස්කෘතියට අනුව මනුෂ්‍යන්ට වැරදෙන සෑම වේලාවකම උසස්ම මනසක් තිබෙන ජීවියකු ලොවට පහළ වන බවත්, අපට ඔහු හරි මඟ පෙන්වන බවත් පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ කියන්නෙත් අන්න ඒවගේ උත්තමයෙක්. බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා අපිට හොඳ මඟක් පෙන්නුවා.

අපට තියෙන කර්තව්‍ය ඒ මඟ යන එක. උන්වහන්සේ කුල භේදය, ආගම් භේදය සහ ජාති භේදය සමාජයෙන් ඉවත් කරන්න කටයුතු කළා. මිනිසුන් වෙනත් නිර්නායක හරහා බෙදීමෙන් අවැඩක් වන බව දේශනා කළා. ඥාන කාණ්ඩයට වඩා කර්ම කාණ්ඩයට ඉඩ දුන් සමාජය වෙනස් කරමින් ප්‍රඥාවට,බුද්ධියට ඉඩ දෙන දහම පතුරවා ලොව සුවපත්භාවයට පත්කළා.

සරල ජීවිතයක අවශ්‍යතාව කියලා දුන්නා. බුදුන්වහන්සේ දේශනා කළේ උන්වහන්සේගේ ධර්මය ජනතාවගේ හිතසුව පිණිස දෙන බව මිසක් බලෙන් පටවන බව නොවෙයි. කැමති නම් පිළිපදින්න කියන බෞද්ධ දර්ශනය ගැනයි උන්වහන්සේ දේශනා කළේ. අපි කවදාවත් සැබෑ බෞද්ධයකු වෙලා නැහැ.

සැබෑ හින්දු භක්තිකයකු වෙලා නැහැ. ඒ නිසා තමයි මේ රටේ දේශපාලන පෙරළි ඇති වුණේ. ඒ නිසා මෙවර වෙසක් දිනය බුදුරජාණන් වහන්සේගේ පිළිමවලින්, පහන්වලින්,කූඩුවලින් පිළිබිඹු කරන බුදු ගුණය අපේ සිත්වලට ඇතුළු කරගෙන අනෙක් අයට වෛර නොකරමින් මෛත්‍රි කරමින් ආදරය කරමින් ජීවත් වෙන දවසක් කරගන්න.හින්දු ආගමෙන් කියන්නේ “සර්වේජනා සුකිනෝ භවන්තු -ලෝකාපමස්තා සුකිනෝ භවන්තු” යනුවෙන්. බුද්ධාගමෙත් කියනවනේ ‘සබ්බේ සත්තා භවන්තු සුකිසත්තා” කියලා. ඒ අනුව බුදුන් කියන්නේ ලෝකයට හොඳ වේවා යහපත වේවා කියලානේ. ඒ නිසා බුද්ධ දර්ශනය ප්‍රායෝගීක දර්ශනයක් බව අපි සියලු දෙනාටම තේරුම් ගන්න පුළුවන්.

විශේෂ ස්තූතිය –
කිරුළපන ඇලන්මැතිණියාරාම
විහාරස්ථානයේ විහාරාධිපති
පූජ්‍ය උඩුවේ ධම්මාලෝක
ස්වාමීන්වහන්සේට

හරින්දී ලියනගේ ✍️

TAGGED: වෙසක්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?