නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පවුල කඩාගෙන ආයෙ ගෙදර එන්න හිතන්නවත් එපා Divorce කේස් ලේසි නෑ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

පවුල කඩාගෙන ආයෙ ගෙදර එන්න හිතන්නවත් එපා Divorce කේස් ලේසි නෑ

Published April 29, 2024

සාම්ප්‍රදායික ශ්‍රී ලංකාවේ ජන සමාජය තුළ “දික්කසාදය” තහනම් වචනයක් වුවත් නූතන නාගරික සමාජය තුළ විවාහයේ සුළු ගැටලුවක් ඇති වුව ද “RUN” ලෙස පැවසීම සරල කාරණයක් බවට පත්ව ඇත. එය සරල කාරණයක් ලෙස සිතුව ද කසාදයක් දුක්කසාදයක් නොවී දික්කසාදයකින් කෙළවර කිරීම හිතන තරම් සරලද?දිනක් තුළ ලංකාවේ විවාහක යුවළ 300 ක් පමණ දික්කසාද වන බවට සංඛ්‍යාලේඛන මගින් පෙන්වාදේ. 2024 වන විට මෙම සංඛ්‍යාව 400 ක් පමණ වන බවට මූලාශ්‍ර තොරතුරු සපයයි. මෙලෙස දික්කසාදවීමට හේතු ලෙස අඩු වයසින් විවාහවීම, නොගැළපීම, ආර්ථික අස්ථාවරභාවය, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, ලිංගික නොගැළපීම්, අනියම් සබඳතා, අවිශ්වාසය, සැකය, දරුවන් නොමැතිවීම සහ සමාජ මාධ්‍ය නිසා ඇතිවන අර්බුද ආදිය ප්‍රධාන වශයෙන් මතු කර දැක්විය හැකියි. මේ වනවිට ලංකාවේ දික්කසාද සම්බන්ධ සිවිල් නීතිය පවතින්නේ එක්තරා සංක්‍රාන්තික සමයකයි. දික්කසාදයකට අවශ්‍ය පදනම් ඉදිරිපත් නොකර පාර්ශ්වයන්ගේ කැමැත්තෙන් දික්කසාදවීමට අවශ්‍ය නෛතික පිඹුරුපත් එළමින් පවතින සමයක සාමාන්‍ය නීතියට අනුව දික්කසාදය ලබා ගැනීම සම්බන්ධයෙන් පවතින දුර්මත රාශියක් තිබේ.

ලංකාවේ දි විවාහ විය හැක්කේ කිනම් නීතියක් යටතේද?

1907 අංක 19 දරණ සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ. (සාමාන්‍ය නීතිය සහ තේසවලමෙයි නීතියෙන් පාලනය වන අය සඳහා)

1952 අංක 44 දරණ උඩරට විවාහ හා දික්කසාද පනත යටතේ. (උඩරට නීතියෙන් පාලනය වන අය සඳහා)

1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ දික්කසාද පනත යටතේ. (ඉස්ලාම් ආගමිකයන් සඳහා)

විවාහවීම සඳහා තෘප්ත කළ යුතු අවශ්‍යතා මොනවාද?

අවම විවාහාවීමේ වයස අවුරුදු 18 ක් සම්පූර්ණ වී තිබීම.

තහනම් විවාහසම්බන්ධතා නොතිබීම. එනම්,

(අ) එක් පාර්ශ්වයක් අනෙක් පාර්ශවයෙන් සෘජු ලෙස පැවත එන්නෙකු සමඟ වන විවාහය.

(ආ) පූර්ණ/අර්ධ ලේ නෑකමකින් යුක්ත පාර්ශවයක් සමඟ වන විවාහය.

(ඇ) යම් පුද්ගලයෙක් සමඟ පූර්ණ/අර්ධ ලේ සබඳතාවයකින් යුත් සහෝදරයා හෝ සහෝදරියගෙන් පැවත එන පුතා හෝ දියණිය සමඟ වන විවාහය.

(ඈ) යම් පුද්ගලයෙකුගේ භාර්‍යාවගේ හෝ ස්වාමියාගේ වෙනත් විවාහයකින් උපන් පුතා හෝ දියණිය අතර වන විවාහය.

(ඉ) යම් පුද්ගලයෙකුගේ පුතාගේ හෝ දියණියගේ මුණුපුරා/මිණිපිරියගේ වැන්දඹු භාර්යාව හෝ වැන්දඹු සැමියා සමඟ වන විවාහය.

පවත්නා පූර්ව විවාහයක් නොතිබීම.එනම්, අහෝසි නොකරන ලද / බල රහිත ලෙස ප්‍රකාශයට පත් නොකරන ලද පෙර විවාහයක් නොතිබිය යුතුය.

දික්කසාදයක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු හේතු මොනවාද?

ද්වේෂ සහගත අතහැරයාම/අනුමිත ද්වේශ සහගත අතහැරයාම/ සසග විවාහයෙන් පසු අනාචාරයේ යෙදීම.

විවාහ වන අවස්ථාවේ පැවති සුව කළ නොහැකි ලිංගික බෙලහීනතාවය.

දික්කසාද නඩුවක් ඕනෑම ප්‍රදේශයක අධිකරණයකදී පැවරිය හැකිද?

නොහැක. නඩු නිමිත්ත උපචය වූ ස්ථානය, පැමිණිලිකාර පාර්ශ්වය (Plaintiff) හා/හෝ විත්තිකාර පාර්ශ්වය (Defendant) පදිංචි වී සිටින බල ප්‍රදේශයට අයත් දිසා අධිකරණයන්හීදී පමණක් නඩුව පැවරිය හැකිය.

ශුන්‍ය විවාහයක් යනු කුමක්ද?

විවාහයක් ආරම්භයේ සිටම බල රහිතවීමයි. ඒ අනුව වයස අවුරුදු 18 සම්පූර්ණ කර නොතිබීම, තහනම් විවාහ සම්බන්ධතා තිබීම, පෙර විවාහයක් පැවතීම, අකමැත්තෙන් විවාහ කරදීම, බොරු නමකින් පෙනී සිටීම, විවාහ දැනුම්දීමේ සහතිකය රහිතව විවාහ වීම, අවසර නැති පුද්ගලයෙක් සමග විවාහ වීම යනාදිය සිදුකර විවාහ වී ඇත්නම් එකී විවාහය ශුන්‍ය/ බල රහිත කළ හැකි විවාහයක් ලෙස හැඳින්විය හැක.

දෙදෙනාගේ කැමැත්තෙන් දික්කසාදයක් ලබා ගැනීමට හැකිද?

ඔව්. නමුත් එක් පාර්ශ්වයකට දික්කසාදයක් ලබා ගැනීමට පවතින පදනම් අතුරින් එකක් හෝ කිහිපයක් පිළිගැනීමට සිදුවීම තුළින් දෙදෙනාගේ එකඟත්වයෙන් ලබාගත හැකිය.

72 ලේඛනය ගොනුකොට ඉක්මනින් දික්කසාදය ලබාගත හැකිද?

ඔව්. දික්කසාදය සඳහා පාර්ශ්ව දෙකේ කැමැත්ත/එකඟත්වය (Consent) ඇත්නම් සිවිල් නඩු විධාන සංග්‍රහයේ 72 වගන්තිය අනුව ලේඛනය ගොනුකොට නඩුව හබ කරන්නේ නැති (Uncontested)බව පවසා ඉක්මනින් දික්කසාදය ලබාගත හැකිය.

ලංකාවේ විවාහ වී විදේශකය දී දික්කසාදය ලබාගෙන ඇත්නම්, ලංකාවේදීත් නඩු පැවරිය යුතුද?

නැත. 2023 වර්ෂයේ අභියාචනාධිකරණය මගින් ලබා දුන් Liyanage Champika Harendra Silva vs. W.M.M.B. Weerasekara & 5 Others (CA/WRIT/266/21) නඩු තීන්දුව අනුව දික්කසාදය ලබාගත් රටෙහි තානාපති කාර්යාලය හෝ කොන්සල් ජනරාල් කාර්යාලය හරහා දික්කසාදය සහතික කර ඒ සමග ලංකාවේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමෙන් දික්කසාදය ලංකාවේදීත් තහවුරු කරගත හැකිය.

විවාහයක පාර්ශ්ව දෙකම විදේශගත වී සිටින්නේ නම් දික්කසාදය ලංකාවේ අධිකරණයක පැවරිය හැකිද?

හැකියි. විදේශයේ සිටින පාර්ශ්වය වෙනුවෙන් ඇටෝර්නි බලකරුවෙකු මගින් අත්සන් කරගත් පෙරකලාසියක් (Proxy) සහ විදේශ ඇටෝර්නි බලපත්‍රයක් (Foreign power of attorney) ඉදිරිපත් කිරීමෙන් නඩු පැවරීම කළ හැකිය.

එක් පාර්ශ්වයක් විදේශගතව සිටින විට සහ ලිපිනය නොදන්නා විට දික්කසාදය ලබාගත හැකිද?

නොහැකියි. නඩු දිනයට අනෙක් පාර්ශ්වය අධිකරණයට ගෙන්වා ගැනීම සඳහා සිතාසිය යැවීමට ලිපිනය අත්‍යවශ්‍ය වෙනවා.

අවුරුදු හතක් වෙන් වී සිටීමෙන් විවාහය ඉබේ අවසන්වේද?

එසේ නොවේ. අවුරුදු දහයක් වෙන් වෙලා හිටියත් දික්කසාදය ලබා ගැනීම සඳහා අදාළ දිසා අධිකරණයේ දික්කසාද නඩුවක් පවරා දික්කසාදයට අවශ්‍ය පදනමක් ඔප්පු කළ යුතු වෙනවා.

අඩු වයසින් හෝ අකැමැත්තෙන් විවාහ වී පසුව දික්කසාද වීමට අවශ්‍ය වුවහොත් දික්කසාද විය හැකිද?

ඔව්. එවැනි විවාහක් නිරායාසයෙන් බලරහිත/ශුන්‍ය (Nulty) විවාහ වෙනවා. අවුරුදු 18 ට අඩුවෙන් හෝ අකැමැත්තෙන් විවාහ වී ඇත්නම් ශුන්‍යතා නඩුවක් ගොනුකර ඒ බව ඔප්පු කර ශූන්‍යතා ප්‍රකාශයක් ලබා ගත හැකිය.

දික්කසාදයක් ඒක පාර්ශ්විකව ලබාගත හැකිද?

ඔව්. සිතාසිය ෆිස්කල් මඟින් අනෙක් පාර්ශ්වයට ලබා දී ඇති බවට අධිකරණයට වාර්තාකොට එම පාර්ශ්වයේ නියෝජනයක් හෝ පෙනී සිටීමක් අදාළ දිනට නැතිනම් ඒක පාර්ශ්විකව (Ex parte) හබ නොකරන නඩු විභාගයකින් (Uncontested trial) අනතුරුව දික්කසාදය ලබාගත හැකිය.

එක් පාර්ශවයක් දික්කසාදය ලබාදීමට අකමැති වුවහොත් දික්කසාදය ලැබෙන්නේ නැද්ද?

දික්කසාදය ලබාදීම තීරණය කරන්නේ දිසා අධිකරණය විසින්. නඩුව පැවරීම සඳහා අනෙක් පාර්ශ්වයේ කැමැත්ත අදාළ වන්නේ නැත. දික්කසාදයට අවශ්‍ය ශක්තිමත් පදනමක් සහ එය වැඩි බර මත ඔප්පු කර තිබීමෙන් දික්කසාදය ලබාගත හැකිය.

සිතාසි බාර නොගෙන මගහරින විට දික්කසාදය ලබා ගැනීමට නොහැකිද?

නොහැක. පිස්කල් මගින් සිතාසි (Summons) නිකුත්කර භාරගැනීම චේතනාන්විතව මගහරින්නේ නම් අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිළධාරි මගින් සිතාසි නිකුත් කිරීමට අධිකරණයෙන් අවසරය ලබාගත හැකිය. එමගින්ද සිතාසි ලබාගන්නේ නැත්නම් ආදේශ ක්‍රමයට සිතාසි භාරදීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටිය හැකිය.

දික්කසාද නඩු පවරා තිබිය දී නැවත විවාහයක් කර ගැනීමට හැකිද?

නොහැක. එසේ වුවහොත් ඔබ බහු විවාහය නම් අපරාධ වරදට වැරදිකරුවෙකු වෙනවා. වෙනත් විවාහයකට පිවිසීමට අවශ්‍ය නම් ඊට පෙර ඔබට නඩුවෙන් නියත තීන්දුව ලබාගත යුතු වෙනවා.

දික්කසාදයක දී එකී විවාහයෙන් උපන් දරුවන් ගේ භාරකාරීත්වය ( Child custody ) අයත් වන්නේ තාත්තාටද?

නැත. රෝම ලන්දේසි නීතිය අනුව දරුවන්ගේ සහජ භාරකරු පියා වුව ද වර්තමානයේ දිසා අධිකරණය විසින් දරුවාගේ උපරිම යහපත පිළිබඳ සිතා දරුවන්ගේ භාරකාරීත්වය තීරණය කරයි.

දික්කසාදයකින් දරුවන් සඳහා නඩත්තු ලබාගත හැකිද?

නොහැක. ඒ සඳහා මහේස්ත්‍රාත් අධිකරණයක නඩත්තු නඩුවක්  (Maintenance case ) පැවරිය යුතුය.

දික්කසාද සහතිකය ලබා ගන්නේ කෙසේද?

සමාජ ව්‍යවහාරයේ දික්කසාද සහතිකය ලෙස හඳුන්වනුයේ නියත තීන්දුවයි. (Decree absolute) නඩු විභාගයේ අවසන් තීන්දුව ලබා දී මාස තුනකට පසු නයිසයි ආඥාව ගොනුකර නියත කිරීමෙන් පසු නඩු ගොනුවට ඇතුළු කරන නියත තීන්දුව අධිකරණ කාර්යාලයෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකොට නියමිත ගාස්තු ගෙවා නඩුවේ නීතිඥවරයා මගින් ලබාගත හැකිය.

නීතිඥ නවෝද්‍යා ගමගේ
navodyaagamage@gmail.com




 

TAGGED: divorce, low, දික්කසාදය, විවාහ
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad1
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?