නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: නීතිය දැනගෙන කඩේ ගියොත් කළු කඩ මුදලාලිලා හබක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

නීතිය දැනගෙන කඩේ ගියොත් කළු කඩ මුදලාලිලා හබක්

Published April 1, 2024

පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා සබැඳි වෙළෙඳපොළ අවශ්‍යතාවන් කාලෝචිත වන අතර මෙරට පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධයෙන් ලිඛිත ප්‍රතිපාදනයන් දසවන ශතවර්ෂයේ “බදුලු ටැම” දක්වා දිවෙයි. නමුත් දැන් ලංකාවට අලුත් අවුරුදු ලබන්නේම සේරිවාණිජ කුලයේ වෙළඳුන් පාරිභෝගිකයන් තලා පෙලා උලා කමිනි.එවැනි පසුබිමක පාරිභෝගික අයිතිවාසිකම් වලට වඩාත් සාධනීය පිළිගැනීමක් ලබාදීමේ හැකියාව මෙන්ම එකී අයිතිවාසිකම් වෙළෙඳ ප්‍රජාවේ අයිතිවාසිකම් අභිබවන්නේද යන්න පවත්නා ශ්‍රී ලාංකික නෛතික රාමුව තුළ විශ්ලේෂණය කළ යුතුය.

පාරිභෝගිකයා යනු කවුරුන්ද?

2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනත (මෙතැන් සිට හඳුන්වන CAAA) 75 වගන්තිය තුළින් “වෙළෙන්දෙකු හෝ නිෂ්පාදකයෙකුගෙන් මිලක් ගෙවා යම් භාණ්ඩයක් හෝ සේවාවක් නියම වශයෙන් ලබාගන්නෙකු හෝ ලබාගැනීමට බලාපොරොත්තු විය හැකි තැනැත්තෙකු පාරිභෝගිකයා ලෙස දේශීයව අර්ථ ගැන්වේ.

මේ අනුව වර්තමානය තුළ වෙනම සන්දර්භයක් සේ පිළිගන්නා “පාරිභෝගිකයා” යන කුලකයට භාණ්ඩය හෝ සේවාව ලබා ගන්නා තැනැත්තා පමණක් නොව, ලබා ගැනීමට අපේක්ෂිත ඕනෑම පුද්ගලයෙකු අන්තර්ගත වේ.

පාරිභෝගික ආරක්ෂණය යනු කුමක්ද?

පාරිභෝගිකයාට සිදුවන අක්‍රමිකතාවන් අවම කොට දරණ පිරිවැයට උපරිම තෘප්තියක් ලබාදීම පිණිස නෛතිකමය රැකවරණයක් ලබා දීම “පාරිභෝගික ආරක්ෂණය” ලෙස හැඳින්විය හැකිය. මෙකී සංකල්පය පසුපස ඇති තර්කය වන්නේ පාරිභෝගිකයා හා සැපයුම්කරු අතර පවත්නා සබඳතාවයන් සාධාරණ හා සමබරව පවත්වාගෙන යාමයි.

නූතන වෙළෙඳපොළ තුළ පාරිභෝගිකයාගේ භූමිකාව

 Exploitation Theory (සුරාකෑමේ න්‍යාය) අනුව පාරිභෝගිකයන් හා විකුණුම් පාර්ශ්වය අතර ගිවිසුම් ගත වීමකදී ආධිපත්‍ය පාර්ශ්වය ලෙස විකුණුම් පාර්ශ්වය විසින් කොන්දේසි පැනවීමත්, පවත්නා විෂමතාවයන් යටතේ සැලකිය යුතු ලෙස පාරිභෝගිකයන් සුරාකෑමට ලක්වීමත් යන හේතු ද්විත්වය මත පාරිභෝගිකයාට ආරක්ෂණයක් පැවතිය යුතුය.

කෙසේ නමුත් වර්තමානයේ විද්වත් මතය වනුයේ ඉහත දක්වන ආකාරයට පාරිභෝගිකයා දුර්වල පාර්ශ්වයක් ලෙස හඳුනා ගැනීම පිළිබඳ සාම්ප්‍රදායික න්‍යායාත්මක තර්කන නුතන සන්දර්භය හමුවේ තව දුරටත් වලංගු නොවන බවයි.

“පාරිභෝගික ආරක්ෂණය” සම්බන්ධයෙන් මෙරට පවතින නීති මොනවද?

මෙරට පාරිභෝගිකයන්ගේ පළිහ ලෙස 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනත ක්‍රියාත්මක වන්නේ පෙර පැවති 1979 අංක 01 දරණ පාරිභෝගික ආරක්ෂණ පනත හා 1987 සාධාරණ වෙළෙඳපොළ කොමිෂන් සභා පනත අහෝසි කරමිනි. 1980 අංක 26 දරණ ආහාර පනත, 2015 අංක 05 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත, 1984 අංක 06 දරණ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන පනත, 2023 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනතක් ක්‍රියාත්මක වේ.

2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනත පැනවීමේ අරමුණු සහ පාරිභෝගික කටයුතු අධිකාරිය පිහිටුවීමේ අරමුණු මොනවද?

CAAA හි 7 වන වගන්තිය තුළින් විශාල පරාසයක විහිදෙන අරමුණු සදහන් කර ඇති අතර ජීවිතයට හා දේපළට හානිකර භාණ්ඩ හා සේවා සැපයීමෙන් වැළකීම, අසාධාරණ වෙළෙඳ පිළිවෙත් වලින්, වෙළඳුන් විසින් කරනු ලබන සුරාකෑම් වලින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම හා හැකි සෑම විටම තරගකාරී මිලට භාණ්ඩ හා සේවා ලබාගැනීමට අවස්ථාව උදාකිරීම යන ඒවා ප්‍රධාන වේ. එසේම 8 වන වගන්තිය තුළින් වෙළෙඳ ඒකාධිකාරය නතර කිරීම, පාරිභෝගික පැමිණිලි විමර්ශනය, ඵලදායී තරගකාරීත්වයක් පවත්වා ගැනීම හා පාරිභෝගිකයාට නිසි දැනීමක් ලබාදීම වැනි අධිකාරියේ අවශේෂ කටයුතු දක්වයි.

මොනවද එතකොට පාරිභෝගික අයිතිවාසිකම්

පාරිභෝගික අයිතිවාසිකම් විමසීමේදී 1985 United Nations Guidelines of Consumer Protection Recommendation හි 2013 ප්‍රතිසංශෝධනයේ 9 – 42 දක්වා පාරිභෝගික ආරක්ෂාව හා අයිතිවාසිකම් දක්වා ඇති අතර පාරිභෝගිකයා සතු ආරක්ෂාව සලසා ගැනීම, භාණ්ඩ තෝරාගැනීමට, තොරතුරු දැන ගැනීමට, තම අදහස් සදහා අවධානය ලබා ගැනීමට, ප්‍රශ්න නිරාකරණයට මෙන්ම සහන ලබාගැනීමට, සෞඛ්‍ය සම්පන්න පරිසරයකට ඇති අයිතිය සේම පාරිභෝගික අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වැදගත් වේ.

මේ අයිතිවාසිකම් පාරිභෝගික පනතේ ආවරණය වෙනවද?

පනතේ 34 වගන්තිය තුළින් තරඟ විරෝධී චර්යාවන් ( Anticompetitive Practice ) හඳුන්වා ඇති අතර ඉන් තරගය සීමා කිරීම් හෝ අහෝසි කර වෙළද ඒකාධිකාරයක් නිර්මාණය කරනු ලබන ක්‍රියාවන් සම්බන්ධයෙන් පැමිණිලි විමර්ශනයට අධිකාරියට බලය ලබා දී ඇත.

10 වගන්තිය – භාණ්ඩවල මිල සහ ඇසුරුම සමබන්ධයෙන් වන නියෝග.

11 වගන්තිය – නියමිත මිලට වඩා වැඩිමිලට භාණ්ඩ විකිණීම.

15 වගන්තිය – තම සන්තකයේ පවත්නා භාණ්ඩ විකිණීම ප්‍රතික්ෂේප කිරීම.

16 වගන්තිය – භාණ්ඩ සනතකයේ තිබියදී භාණ්ඩ තොග නොමැති බව පැවසීම.

17 වගන්තිය – අවශ්‍යතාවයට අතිරේක ලෙස භාණ්ඩ තොග පවත්වාගෙන යාම.

30 වගන්තිය – පාරිභෝගිකයා නොමග යැවීම හෝ රැවටීම.

31 වගන්තිය – භාණ්ඩ පිළිබඳව අසත්‍ය තොරතුරු දැක්වීම.

පනතේ 14 වගන්තිය තුළින් උපරිම මිල සම්බන්ධයෙන් ආරක්ෂාවක් පාරිභෝගිකයාට ලැබෙන අතරම 19 (1) හා 20 (8) අනුකූලව සාධාරණ නොවන මිලකට භාණ්ඩය විකුණා ඇතිබව අධ්‍යක්ෂක ජනරාල්වරයාට පෙනී යන්නේ නම් ඒ පිළිබඳව පාරිභෝගික කටයුතු සභාවට දැන්විය යුතු අතර සභාවේ නිර්දේශ අනුව ඉහළ මිල නියම කරමින් ගැසට් පත්‍රයක් පළ කළ යුතුය. පනතේ 18 වගන්තිය යටතේ ඇමතිවරයා අධිකාරියෙන් විමසා යම් භාණ්ඩයක් හෝ සේවාවක් ප්‍රජාවගේ හෝ එහි යම් කොටසකගේ ජිවිතයට අත්‍යවශ්‍ය බවට තීරණය කර නිශ්චිත භාණ්ඩ හෝ සේවා ලෙස නම් කර ඇත්නම් එහි මිල ඉහළ නැංවීම අධිකාරියේ අවසරයකින් තොරව සිදු කළ නොහැක.

එසේම සෑම වෙළෙන්දෙකුම අධිකාරියේ ලියාපදංචි විය යුතු බව 27 වගන්තිය දක්වත්දී 26 හා 29 වගන්ති වලින් විකුණුම් භාණ්ඩයන්හි මිල දර්ශනය හා අධිකාරියේ විධිවිධාන පුවරුවක් ප්‍රදර්ශනය කළ යුතුය.

අධිකාරියේ රෙගුලාසි කඩකළ බවට වූ පැමිණිල්ලක් මාස 3 ක කාලයක් තුළත්, භාණ්ඩවල තත්ත්වය සම්බන්ධයෙන් වූ පැමිණිල්ලක් මසක් තුළදී අධිකාරිය වෙත ඉදිරිපත් කළ යුතු අතර ඒවා මාස 3 ක කාලයක් තුළ විභාග කිරීමේ වගකීම අධිකාරිය සතු වේ. විමර්ශනයෙන් පසු එහි ප්‍රතිඵල වශයෙන් දෝෂ සහගත භාණ්ඩයක් සඳහා නව භාණ්ඩයක් හුවමාරු කිරීමටත්, නැතහොත් සිදු වූ අලාභය පියවීමට වන්දි අය කරගැනීමේ හැකියාවද ඇත.

පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ තවත් පියවරක් වශයෙන් පනතේ ඇති පුළුල් හා ප්‍රබල දණ්ඩන ක්‍රියාමාර්ග හඳුන්වා දිය හැකිය. අපරාධ නඩු විධාන සංග්‍රහයේ කුමක් සදහන් වුවද මෙම පනතේ 70 වගන්තිය අනුව මෙම වරදවල් සංඥය වැරදි වේ.

එකී දණ්ඩනයන් පුද්ගලික වශයෙන් මෙන්ම සංස්ථා වශයෙන් වෙන්කර දක්වා ඇති අතර උදාහරණයක් වශයෙන් 60(4) වගන්තිය ඔස්සේ පළමු වරද හා දෙවන වරද වශයෙන් වෙනස්වන මුල්‍යමය දඩ හා බන්ධනාගාරගත කිරීම් දක්වා ඇත.

CocaCola Beverages v. Consumer ProtectionAuthority (2006) නඩුවේදී සෝඩා බෝතලයක් තුළ සත්ව මළකුණු කොටස් තිබීම මත ආයතනයට විරුද්ධව නඩු පැවරු අතර ආයතනයට රු 50000 ක දඩ මුදලක් නියම විය.

එමෙන්ම 62 වගන්තිය අනුව ප්‍රමිතීන්ට අනුකූල නොවන්නා වූ භාණ්ඩයන් රාජසන්තක කිරීමටත්, භාවිත කළ නොහැක්කේ නම් විනාශ කිරීමටත් අධිකාරියට හැකිය. 60(6) වගන්තිය අනුව වරදකරුවන්ගේ විස්තර ප්‍රසිද්ධියට පත්කළ හැකි නිසා තවත් පාරිභෝගිකයයෙකු අපහසුතාවට පත්වීමෙන් වළකින අතරම වෙනත් වෙළඳුන් හට එය පූර්වාදර්ශයක්ද සපයනු ලබයි.

එසේම පනතේ 56 වගන්තිය යටතේ යම් වාර වාර්තාවක් සපයන ලෙස අධිකාරිය නියම කළ විට එය පැහැර හැරීම වරදක් වන්නේය. එසේම එකී වාර්තා වසර 6 කට සංරක්ෂණය කල යුතුය. මේ තුළින් පාරිභෝගිකයන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වඩාත් තහවුරු වන්නේය.

නමුත් ඉහත සඳහන් පනත් සහ ප්‍රතිපාදන සජීවී ප්‍රාණවත් භාවයක් ලැබෙන්නේ පාරිභෝගික කටයුතු අධිකාරියට සහ නිලධාරීන්ට සැබෑ බලයක් ලැබෙන්නේ නම් පමණි. එසේ නොවනතාක් මෙරට වෙළෙඳපොළ තුළ සේරිවාණිජ වෙළඳුන් පාරිභෝගියා දණින් වට්ටවා මැජික් පෙන්නනු ඇත.

නීතීඥ සුපුන් සිරිවර්ධන
( aal.supunsiriwardhana@gmail.com )


 

TAGGED: නීතිය, පාරිභෝගිකයා
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?