නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: නිසි ප්‍රතිකාර මගින් පියයුරු පිළිකා සුවකර ගන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

නිසි ප්‍රතිකාර මගින් පියයුරු පිළිකා සුවකර ගන්න

Published December 23, 2024

පතිරණ මහත්මිය තම දකුණු පියයුරේ තිබූ පිළිකාව සඳහා ශල්‍යකර්මය ඉතා ඉක්මනින්ම සිදුකරගත්තා. තරමක් ප්‍රමාද වී පියයුරු පිළිකාව හඳුනාගෙන තිබුණු නිසා ඇයට සම්පූර්ණ දකුණු පියයුරම ඉවත් කරගන්නට සිදුවුණා. දකුණු පැත්තේ කිහිල්ලේ වූ කුද්දැටිවලටත් පිළිකාව පැතිරී තිබූ නිසා, එම කුද්දැටි ඉවත් කිරීමත් සිදුවුණා. කෙසේ නමුත් ශල්‍යකර්මය කිරීමට ප්‍රථම ඉදිරි ප්‍රතිකාර හොඳින් සැලසුම් කර තිබූ නිසා, එම ශල්‍යකර්මය කරන විටදීම පිළිකා නාශක ඖෂධ ලබාදීම සඳහා ‘කීමෝ තෙරපි ෆෝට් එකක්’ ස්ථානගත කිරීමද සිදුකිරීමට හැකිවීම පසුව කරන ප්‍රතිකාර සඳහා ලොකු පහසුවක් වුණා.

ශල්‍යකර්මය කර සති දෙකකට පමණ පසු ඉවත් කරන ලද පටක කොටස්වලින් ලද පටක වාර්තාවත් රැගෙන පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා හමුවීමට ඇය ගියා. පටක වාර්තාවට අනුව ඇගේ පියයුරු පිළිකාවේ විශාලත්වය 45mm ක් පමණ වුණා. කිහිල්ලේ වූ කුද්දැටි පහකටම පිළිකා සෛල පැතිරී තිබුණා. තවද පටක සාම්පලවල වූ රුධිර නාළ තුළ සහ වසා නාළ තුළ පිළිකා සෛල දක්නට ලැබුණා.

ඒ කියන්නේ පිළිකා ගෙඩියේ තිබූ පිළිකා සෛල එම ගෙඩියෙන් ගැලවී ඉහත නාල ඔස්සේ වෙනත් ස්ථාන කරා ගමන් කරන්න පටන් අරගෙන. තවද පිළිකා සෛලවල රූපමය ස්වරූපය අනුව එය අතරමැදි විකරණයකට ලක්වූ සෛල වලින් සමන්විතව තිබූ බවද සඳහන් වුණා. ශල්‍යකර්මය කළ පැත්තේ උරහිසට කළ යුතු ව්‍යායාම ගැන උපදෙස් ලබාදී ඇයව පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයා වෙත නැවත යොමු කරනු ලැබුයේ තවත් බොහෝ ප්‍රතිකාර මේ සඳහා කළයුතු වූ නිසයි.

මේ අතරතුර පරීක්ෂණාගාරයේ ඇති පිළිකා පටකවලින්ම තවත් පරීක්ෂණ කිහිපයක් කරගැනීමට නියම වුණා. ඒවා ‘ඉමියුනෝ හිස්ටො කෙමිසට්‍රි‍ පරීක්ෂණ හෙවත් “IHC” පරීක්ෂණ ලෙස හඳුන්වා තිබුණා. එහිදී ඇගේ පියයුරු පිළිකාවේ වූ සෛලවල ඊස්ට්‍රජන් ප්‍රතිග්‍රාහක (ER), ප්‍රොජෙස්ටරොන් ප්‍රතිග්‍රාහක (PR), හර් 2 නිවු (HER 2 new) ප්‍රතිග්‍රාහක සහki 67 හි අගයද පරීක්ෂාවට ලක්වුණා.

මෙහිදී ER හා PR පිළිකා සෛල මතුපිට ඉතා ඉහළම ප්‍රතිශතයකින් ඇති බවත්, HER 2 new  ප්‍රතිග්‍රාහක ශුන්‍ය බවත්, ki 67 35% ක අගයක ඇති බවත් සනාථ වුණා. මෙම ප්‍රතිඵල සමග පතිරණ මහත්මිය පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවට ගියා. ඉහත සියලුම සායනික වාර්තා ඉතා හොඳින් පරීක්ෂාකර බලා, පතිරණ මහත්මියවත් සායනිකව පරීක්ෂාකර බලා අනතුරුව කතාව පටන් ගැනුණා.

“දැනට ලැබිලා තියෙන තොරතුරු අනුව මිසිස් පතිරණට මොකද හිතෙන්නේ?”

“තත්ත්වය එච්චර හොඳ නෑ වගේ නේද ඩොක්ටර්?”

“ඇයි එහෙම හිතුණේ?”

“නැහැ ඩොක්ටර් මගේ පියයුරේ තිබ්බ පිළිකා ගෙඩියත් ටිකක් ලොකු එකක්නේ. අනික ඒක කිහිල්ලේ කුද්දැටිවලටත් පැතිරිලානේ. ඔපරේෂන් කරපු ඩොක්ටර් කීවා ලේ නහරයි වසා නාලිකාවලයි ඇතුළේ පිළිකා සෛල ගමන් කරන්න පටන් අරගෙන තිබ්බෙ කියලා. තව කොයි කොයි තැන්වලට පොඩියට පැතිරිලා තියෙනවද දන්නේ නෑනේ ඩොක්ටර්?”

“හ්ම්, ඒකනම් එහෙම තමයි. හොඳ පැත්තට තියෙන කාරණාත් නැතිවාම නෙවෙයි. පිළිකා සෛල මතුපිට ඉතා ඉහළ මට්ටමකට ER සහ PR  පිහිටල තියෙනවා. ඒක හොඳ ලකුණක්. අනික HER 2 new ප්‍රතිග්‍රාහක ශුන්‍ය වීමත් හොඳයි. හැබැයි ki 67 35%ක වගේ තරමක වැඩි අගයක තිබීම නම් හොඳ නෑ. මේ කරුණු සියල්ලම සලකා බැලුවහම ඔයාට සෛල නාශක ඖෂධ එහෙමත් නැත්නම් “කීමෝ තෙරපී” බෙහෙත් දෙන්න වෙනවා.”

“අයියෝ ඒ කියන්නේ මගේ කොන්ඩේ යයිද?”

“කොණ්ඩේ යන එක ගැන දුකයිද?”

“ඒ ගැන දුකයි. ඒත් මොනවා කරන්නද? මම ඉස්කෝලේ උගන්නන්න යන්නෙ කොහොමද කොණ්ඩෙ නැතිව?”

“කොණ්ඩේ යන එක තාවකාලික දෙයක්. කීමෝතෙරපි ප්‍රතිකාරය ඉවර වෙලා ටික කාලයක් යනකොට ඉබේටම කොණ්ඩෙ නැවත එනවා.

කොණ්ඩය නැති කාලයේදී ‘විග්’ එකක් හරි ‘ස්කාෆ්’ එකක් හරි පාවිච්චි කරන්නත් පුළුවන්. අනික දැන් සමාජය ඉස්සරට වඩා ගොඩක් වෙනස්. මිනිස්සු සහකම්පනයෙන් ගැටලු දිහා බලන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒගොල්ලො මිසිස් පතිරණ දිහා අමුතු විදිහට බලන්නේ නෑ. අනික අපි මෙතනදි බලන්න ඕන කොණ්ඩේ තාවකාලිකව හරි නැති වීමෙන් වන හානියට වඩා කීමොතෙරපි ගැනීමෙන් පිළිකාව සුවවීමට වන දායකත්වය කොතරම් ජීවිතයට වටිනවද කියලා. ජීවිතයට වඩාත්ම වටින දේ තෝරාගැනීම නේද වඩාත් සුදුසු වෙන්නේ.”

“ඔව් ඩොක්ටර් මට තේරෙනවා. මගේ හිත දැන් ඉස්සරට වඩා ගොඩක් හයියයි. මම කොහොම හරි මේ ප්‍රතිකාරය සම්පූර්ණයෙන් කරගන්නවා. මට ඒකට උදවු කරන්න.”

“අනිවාර්යයෙන්. ඔයා මෙතනදි තනිවෙලා නෑ. ඔයාට උදවු කරන්න අපි හැමෝම ඉන්නවානේ.”

“කීමෝ තෙරපි ගන්නකොට තවත් මොනවද එන්න පුළුවන් ප්‍රශ්න තියෙන්නේ.”

“කීමෝ තෙරපි ගන්නකොට තව සමහර අතුරු ආබාධ එන්න පුළුවන්. හැබැයි මේ කියන හැම එකක්ම හැම ලෙඩෙකුටම අත්විඳින්න වෙන්නෙ නෑ. වමනය සහ ඔක්කාරය එන්න පුළුවන්. හැබැයි මම පොරොන්දු වෙනවා කීමො තෙරපි බෙහෙත් ගන්න කිසිම ලෙඩෙකුට වමනය සහ ඔක්කාරය නොඑන විදිහට ප්‍රතිකාරය කරලා දෙන්න. මේවා වළක්වා ගන්න ඉතා හොඳ ප්‍රතිවමන ඖෂධ දැන් තියෙනවා, ඉස්සර වගේ නෙවෙයි. දැඩි වෙහෙස හෙවත් විඩාව ඇතිවෙන්නත් පුළුවන්. මේක ගොඩක් වෙලාවට රෝගියාගේ ගෙදර අයට වගේම රෝහල් කාර්ය මණ්ඩලයටත් මගහැරී යන අතුරු ආබාධයක්. මේ නිසා ගොඩක් පිළිකා රෝගීන් ඉතා දැඩි පීඩාවකට ලක්වෙනවා. මේ විඩාව ඇතිවීමට ගොඩක් හේතු බලපාන්න පුළුවන්.

රෝගියාව ඉතා හොඳින් පරීක්ෂා කරල බලලා විඩාවට හේතු වූ කාරණාව සොයාගෙන පිළියම් යොදන්න ඕනේ. මේ ගැන බය ඇති කරගන්න එපා. මෙහේ කීමෝ තෙරපි ගන්න පිළිකා රෝගීන්ගේ

විඩාව සංසිදුවා ගැනීමට ප්‍රමාණවත් පිළියම් අපි ලබාදෙනවා. තවත් අතුරු ආබාධයක් තමයි රුධිර සෛල අඩුවීම. සුදු රුධිර සෛල අඩු වූ විට සිරුරේ ප්‍රතිශක්තිය අඩුවෙනවා. එතකොට විසබීජ ඉතා ඉක්මනින් සිරුර පුරා පැතිරී ආසාදනයන් ඇතිකරනවා. සුදු රුධිරානු බොහෝ සෙයින් අඩුවී ආසාදනයන් ඇති වූ විට එය ජීවිතයට තර්ජනයක් ගෙන දෙන්න පුළුවන්.

නමුත් මේකට කිසිසේත්ම බය වෙන්න එපා. ඔයාගේ සුදු රුධිර සෛල අඩුවෙන්න මම ඉඩ තියන්නේ නෑ. අපි කීමෝ තෙරපි ගන්න පිළිකා රෝගීන්ට ප්‍රතිකාරයෙන් පැය 48 ක් ගත වුණාට පස්සේ සුදු රුධිර සෛල නිපදවීම උද්දීපනය කිරීමට අවශ්‍ය කරන ෆිල්ග්රැස්ටිම් නම් උද්දීපන ඖෂධය එන්නතක් විදිහට ලබාදෙනවා. එතකොට සිරුරේ සුදු රුධිර සෛල අඩුවෙන්නෙ නැතිව තියාගන්න පුළුවන්. මේ ක්‍රියාව මගින් පිළිකා රෝගීන් විශාල ප්‍රමාණයකගේ ජීවිත බේරාගන්න පුළුවන්.

තවත් අතුරු ආබාධයක් තමයි කෑම අරුචිය. කෑම දකිනකොටත් දැඩි අප්‍රියතාවක් තමයි ඇතිවෙන්නේ. මේක මගහැර ගන්න උපදෙස් අපි ලබාදෙනවා. සාමාන්‍යයෙන් වෙනදා ගන්න ආහාරපාන ගැනීම අමාරු වෙන්න පුළුවන්. මෙහිදී අපි රෝගියාට උදවු කරනවා සුදුසු ආහාර තෝරා බේරාගන්න. සාමාන්‍යයෙන් පැණි රස සහ ඇඹුල් රස ඇති කෑම තමයි වඩාත් පහසුවෙන් ගන්න පුළුවන් වෙන්නේ.

අපි ලබාදෙන සමහර කීමෝතෙරපි ඖෂධ මගින් හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇතිකරන්න පුළුවන්. මෙවැනි ඖෂධ රෝගියාට ලබාදෙන්න ඉස්සර ඒ මොහොතේ හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වය සොයා බලන්න හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයකු ලවා ද්විමාන එකෝ පරීක්ෂාවක් (2D ECHO) කරගත යුතු වෙනවා. මේ වනවිටත් හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වය සතුටුදායක නැත්නම් ඉහත කී ඖෂධ ලබාදීම අනතුරුදායක බැවින් විකල්ප ඖෂධ ඒ වෙනුවට යොදාගැනීමට සිදුවෙනවා.

මෙලෙස පිළිකා නාශක ඖෂධ නිසා ඇතිවිය හැකි අතුරු ආබාධ ගැන රෝගියා විතරක් නෙවේ. පවුලේ අයත් දැනුවත් විය යුතුයි. එසේ නොමැති වීමෙන් ඇතැම් අතුරු ආබාධ කලින් හඳුනාගැනීමට නොහැකිව මගහැරී ගියහොත් ඒවා උත්සන්න වී රෝගියාගේ ජීවිතය පවා නැතිවෙන්නට ඉඩකඩ තිබෙනවා.

නමුත් අතුරු ආබාධ ගැන දැන් බිය විය යුතු නැත්තේ ඒවාට නිසි ප්‍රතිකර්ම ඕනෑ තරම් තිබෙන නිසයි. සුදු රුධිර සෛලවලට අමතරව රතු රුධිර සෛල මෙන්ම රුධිර පට්ටිකා (ප්ලේට්ලට්ස්) අඩුවීම ද විය හැකියි. නමුත් මේ සියලුම දේට දැන් ප්‍රතිකර්ම සම්මත ප්‍රතිකාරය තුළ තිබෙනවා.

පතිරණ මහත්මියට “කීමෝ තෙරපි” ප්‍රතිකාරය වැඩි අපහසුතාවක් නොමැතිව සාර්ථකව කරගැනීමට පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයා මෙන්ම, රෝහල් කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාගේ පූර්ණ සහයෝගය ලැබුණා. කිසිදු ප්‍රමාදයකින් හෝ අතපසුවීමකින් තොරව ඒ ප්‍රතිකාරය සම්පූර්ණ කිරීමට ඇය සමත් වුණා.

ඇගේ පිළිකාව සඳහා තිබූ ප්‍රතිකාර එතැනින් නිම වූයේ නෑ. තවත් ප්‍රතිකාරයන් කිහිපයක්ම කරගැනීමට සිදුවන බව ඇයට දැනගන්නට ලැබුණා.

හරින්දී ලියනගේ ✍️





 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

බබාලගේ මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම සාමාන්‍ය තත්ත්වයක්ද?

May 12, 2025

හන්දි වේදනාව, ඉදිමුම, උණ සමග රතු ලප තිබෙනවා නම් චිකුන්ගුන්යා විය හැකියි වහාම ප්‍රතිකාර ගන්න

May 12, 2025

Full Blood Count එකකින් කියවෙන්නේ මොනවද

May 12, 2025

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?