නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: බත් ඇටයක්වත් විසිකරන්න බැරි කාලෙක අග්බෝට පැහුණු ගොයමම දුන් අපූරු ගොවි මහත්වරු
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

බත් ඇටයක්වත් විසිකරන්න බැරි කාලෙක අග්බෝට පැහුණු ගොයමම දුන් අපූරු ගොවි මහත්වරු

Published September 11, 2023

සොබාදහම කොච්චර සාධාරණද කියන්න මම දන්නෙ නෑ. ඒත් සොබාදහමට පුළුවන්තරම් අසාධාරණකම් කරන මනුසත්තුනම් මම දිනපතාම දකිනවා. දවසට අලි පහක් හයක් මැරෙන ලංකාවෙ කාලෙක පටන් ලොකුම මාතෘකාව වෙලා තිබුණේ තිරප්පනේ රජ කරපු ‘අග්බෝ’. බඳින තුවක්කුවකට හසුව ඉදිරි වම් පාදය ඉතාමත්ම දරුණු ලෙස තුවාල වෙලා මාස ගණනක් මරණාසන්නව හිටපු අග්බෝට සරණක් වෙන්න ලංකාවේ බොහෝදෙනා අත්වැල් බැඳගනිද්දි පසුගිය දවස්වල අපි දැක්කා අග්බෝ වෙනුවෙන් තමන්ට තිබුණ එකම කුඹුරු යාය දන් දුන් ගොවි මහත්තුරු දෙන්නෙක් පිළිබඳ පුවතක්. ඒ ගැන ඇසගැටුණු ගමන් මගෙ මතකයට ආවෙ මේ ගීය.

‘වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
මනු ලෝ තලයේ වාසනාවන්’

ඉතින් මේ දේව ගති ඇති ගොවි මහත්තුරු දෙන්නගෙන් මුලින්ම කුඹුර පරිත්‍යාග කළ ගාමිණී සුදර්ශන ගොවි මහත්තයට මම කතා කළේ ඒ මිනිසත්කම වෙනුවෙන් පිටුවක් වැය නොකර බැරිකමටයි. සුදර්ශන ගොවි මහත්තයා මේ කතාව පටන්ගත්තෙ ඔහුගෙ පවුලෙ විස්තරවලින්…

“මම පදිංචි වෙලා ඉන්නෙ ගලංගමුවේ. ගල්ගමුව මිගලෑව ප්‍රදේශයේ තමයි ගලංගමුව තියෙන්නේ. පවුලෙ ඉන්නෙ මමයි මගේ බිරිඳයි පුතා භානුකයි. පුතාට වයස අවුරුදු 13 යි.”

ගොවි මහත්තයා රැකියාව විදිහට මොනවද කරන්නෙ ?

ස්ථිර රැකියාවක් නෑ. දැනට ආණ්ඩුවෙන් ලැබුණ කිරි හරක් දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නව නඩත්තු කරගෙන තමයි ජීවිතේ ගෙනියන්නෙ.

තමන් සතු එකම කුඹුර අග්බෝට වෙන් කරන්න හිතුණෙ ඇයි ?

මේ පැත්තෙ මම මගේ එළදෙනුන්ට කන්න දෙන්න තණකොල වවලා තියෙනවා. දවසක් අග්බෝට දෙන්න ඒ තණකොල ඉල්ලගෙන මහත්තුරු ටිකක් ආවා. එතකොට තණකොල හරියට වැවිල තිබුණෙ නෑ. හිටවපු අලුත. මම ඊටපස්සෙ දෙපාරක් නොහිතා කිව්වා තණකොල තවම වැවිලා මදි නිසා මගේ කුඹුර කපාගෙන යන්න කියල. මමත් පුළුවන් හැටියට අග්බෝ කනවයි කිව්ව කෑම ජාතිත් හොයලා දුන්නා. මොකද මනුස්සයෙක්ද සතෙක්ද කියල නෑ බඩගින්න කියන්නෙ කාටත් පොදු දෙයක්.

අනික මම බඩගින්න හොඳට අඳුරන මිනිහෙක්. මං කල්පනා කළා ඕක ගොයම් කපල, වී කොටල මම කෑවත් එකයි සතෙක් කෑවත් එකයි කියල. ඒකයි මම මුළු කුඹුරම හරි කපන් යන්න කිව්වෙ. මගෙ ආයෙ වචන දෙකක් නෑ. ඒ නිසා ආපහු මගේ කුඹුර ගැන දුක් වෙවී ඉන්න දෙයකුත් නෑ. මේවා මහවැලියෙන් හම්බුණ කුඹුරු. මම පදිංචි වෙලා ඉන්නෙත් කුඹුර ගාවම ඉඩමේ.

ඔබ සතු එකම කුඹුරයි මේ විදිහට ඇතෙක් වෙනුවෙන් වෙන් කළේ…

ඔව්. මමත් මෙහෙම හිටියට ලෙඩෙක්. මහන්සි වෙලා දැන් කුඹුරු වැඩ එහෙම කරන්න බෑ. මගේ මහබඩවැල අයින් කරලා තියෙන්නේ. ඔපරේෂන්ස් හතරක් කළා. ඩොක්ටර්ස්ලා කියන්නෙ ඒක නරක් වෙලා කියල. මහ බඩවැල නරක් වෙන්න හේතුව තව වෙනතුරුත් හොයාගෙන නෑ. අවුරුදු තුනක් මේ ලෙඩේ නිසා මම අනුරාධපුර රෝහලේ දුක් වින්දා. මාස ගාණක් ICU එකේ ප්‍රතිකාර ගත්තා. ඒ කාලෙත් මම ඕනතරම් කුසගින්නෙ ඉඳල තියෙනවා. ඒ නිසා කුසගින්න දැනෙද්දි ඇතිවෙන හැඟීම මොනවගේද කියල මට හොඳට දැනෙනවා. ඒක ඒ විදිහටම වෙඩි වැදිලා අමාරුවෙන් ඉන්න අග්බෝටත් දැනෙනවා ඇති.

අසනීපෙ එක්ක කොහොමද වැඩකටයුතු කරගන්නෙ ?

දැන් මට කුඹුරෙ වැඩක් කරගන්න බැරි නිසා තමයි කුඹුර අග්බෝට වෙන් කළෙත්. කිරි හරක් දෙන්නට අමතරව කුඹුර තමයි කරගෙන ගියේ. වෙන විශේෂ ආදායම් මාර්ගයක් කියල නෑ. පුළුවන් හැටියට එළහරක් දෙන්නව බලාගෙන ඉන්නවා.

ඔබ එක්ක තවත් මිත්‍රයෙක් මේ සද්කාර්යයට සම්බන්ධ වුණා…

ඔව්. ඒ ගුණරත්නබණ්ඩා. එයා ඉන්නෙ මගේ කුඹුරට අල්ලපු ඉඩමේ. ගුණරත්නබණ්ඩට නම් මගෙ හිතේ වයස හැත්තෑවක් හැත්තෑ පහක් විතර ඇති. දරුවො පස්දෙනෙක් ඉන්නවා. එයා ජීවිකාව හැටියට කරගෙන ගියෙත් කුඹුරු වැඩ තමයි.

අග්බෝට කට්ටිය කෑම හොයාගෙන එද්දි මගේ කුඹුර දීලා මම කිව්වා ගුණරත්න බණ්ඩගෙ කුඹුරත් අහල බලන්න කියල. මොකද එක මුරයක එයා වතුර දැම්මෙ නෑ. ඒ වෙද්දි ගුණරත්නබණ්ඩා කුඹුර අත්හැරලා දාලා වගේ තිබුණෙ.

අපිට කොහොමත් වතුර හරි හිඟයි. මහවැලියෙන් කුඹුරුවලට වතුර දෙනවා අඩුයි. යල කන්නෙට හැම පාරම වතුර ප්‍රශ්නෙ එනවා. මේ පාර හිතපුතරම් වරුසාවත් නෑනෙ. වතුර ප්‍රශ්නෙ නිසාම ගුණරත්නබණ්ඩත් කුඹුර අතෑරලා හිටියෙ.

ඊටපස්සෙ අර මහත්තුරු ගිහින් එයාගෙන් ඇහුවම ගුණරත්නබණ්ඩත් කැමති වෙලා තිබුණා එයාගෙ කුඹුරත් අග්බෝට දෙන්න. ඒ විදිහට මේ වෙද්දි අක්කර දෙකක කොටසක් අග්බෝ වෙනුවෙන් වෙන් වෙලා තියෙනවා.

මේ ගැන පවුලෙ අයගෙ අදහස් මොනවද?

එයාලගෙත් එහෙම විරෝධයක් තිබුණෙ නෑ. මොකද ඕක දුන්නත් නොදුන්නත් අපිට ආයෙත් ගොඩගන්න බැරි තත්ත්වෙකයි තිබුණේ වතුර නැති ප්‍රශ්නෙ නිසා. ඒත් මම පුළුවන් විදිහට හොඳට කුඹුරට සාත්තු කළා. තවමත් හොඳට පැහුණු ගොයම් කරල් පිරිලා තියෙන කුඹුරක් මේක. කොහොමත් දැන් මේ ගොයම් කැපෙන කාලෙනෙ. මට වැඩක් ගන්න බැරි කුඹුරෙන් සතෙක්ගෙ බඩක් හරි පිරෙනවනෙ.

දැන් එතකොට ගෙදරට හාල් ගේන්නෙ කඩෙන්…

ඔව්. ආයෙ මහ කන්නෙ වැඩකරලා අස්වනු ලබාගන්නා තුරු කඩෙන් තමයි කන්න වෙන්නේ.

ඔය පැත්තෙ අලි කරදර එහෙම නැද්ද ගොවි මහත්තයා?

අලි කරදර නැත්තෙමත් නෑ. ඒත් සියඹලාන්ගමුව වැව තියෙන නිසා එතනට තමයි අලි ඇත්තු හත් අටදෙනා එකතු වෙන්නෙ. ඒ නිසා ගෙවල් තියෙන හරියට එවෙනවා අඩුයි. එලිවෙන ජාමෙට වැව ගාවට එකතු වෙලා හැන්දෑවෙ හය හත වෙද්දි ආපහු කැලෑවට වදිනවා. ඒත් සමහර දවස්වලට ගෙවල් අහලපහළ වවලා තියෙන මොනවහරි කාලා යන අවස්ථා තියෙනවා. ඇත්තටම මිනිස්සුන්ගෙන් උන්ට කරදරයක් වෙයි වගේ දැනුණොත් තමයි උන් කරදර කරන්නෙ. නැත්නම් තියෙන දෙයක් කාලා පාඩුවෙ යනවා.

ඔබතුමාගෙ කුඹුරට අලි වැදිලා නැද්ද?

මගේනම් තව වෙනතුරු කුඹුර කාලා නෑ දෙයියන්ගෙ පිහිටෙන්. අලි ඇත්තුන්ගෙන් කිසිම හානියක් වෙලත් නෑ.

මේ වෙද්දි කීපාරක් විතර අග්බෝට ගොයම් ගෙනිච්චද කුඹුරෙන්?

පළවෙනි පාර පොඩි කොටසයි කපාගෙන ගියේ. මොකද ඇතා ඒක ප්‍රතික්ෂේප කළොත් අපරාදෙ නිසා. අනිත් එක සතා ප්‍රියමනාප තැන් තියෙනවා. වේලිච්ච තැන්, වේලිච්ච නැති තැන් වගේ. කොහොමහරි පළවෙනි පාර ගෙනිච්ච ගොයම් මිටිය අග්බෝ බොහොම කැමැත්තෙන් කාලා තිබුණා. එයා කන්න කැමති වුණේ තෙත් ගතියට, අමුවට තියෙන ගොයම්. ඊටපස්සෙ දැන් කුඹුරෙන් ගොයම් කපන් යන්න පස් හය පාරක් කට්ටිය ආවා. එයාලා ඇවිත් අවශ්‍ය වෙලාවට ගොයම් කොටසක් කපාගෙන යනවා. අග්බෝ කැමැත්ත යොමු කරන අනිත් කෑම වර්ගත් සැරින් සැරේ ඇවිත් ඒ මහත්තුරු ටික හොයාගෙන යනවා.

ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වූ ප්‍රෑන්ක්ලින් පියර් රතු ඉන්දියානු නායක සියැටෙල්ට යෝජනා කරනවා ඔවුන් සතු ඉඩම් සුදු ජාතිකයන්ට ලබාදෙන ලෙසට. ඒ යෝජනාවට අදාළව සියැටෙල් විසින් ජනාධිපතිට යැවූ ලිපිය හැඳින්වෙන්නෙ පරිසරය පිළිබඳව ඉතිහාසයේ මෙතෙක් ලියවී ඇති දාර්ශනික වූත් සාර්ගර්භ වූත් ලේඛනය හැටියට. එම ලිපියේ සියැටෙල් විසින් සටහන් කර තිබූ කුඩා කොටසක් මම මේ ලිපිය අවසානයේ උපුටා දක්වන්නම්.

“සිවුපා සතුන් නොමැති තැන මිනිසාට ඇති තැන කුමක්ද? සියලු සිවුපා සතුන් මිහිමතින් සමුගතහොත් මිනිසා ද මහත් කාන්සියකින් මියයනු ඇත. මන්ද සිවුපා සතුන්ට සිදුවන ඕනෑම දෙයක් වැඩිකල් නොගොස් මිනිසාට ද සිදුවිය හැකි බැවිනි”

ජීවිතයත් මරණයත් අතර සටන් වදිමින් කුඹුරු සොයා යාමට නොහැකිවීමෙන් අග්බෝ පෙලෙන සාංකාව, ආශාව සංසිඳවන්න ගුණරත්නබණ්ඩා, සුදර්ශණ ගොවිමහතුන් කළ මේ පරිත්‍යාගය හේතුවෙන් ඔවුන්ගේ අටුකොටු පිරී ඉතිරේවා, කෙත්වතු සරුසාර වේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු. එමෙන්ම ලෝකෙ අලි මරණ වැඩියෙන්ම වෙන රටේ ඉදිරියේදීවත් අග්බෝ වැනි අහිංසකයින් පීඩාවට පත්නොවේවා යන්නද අපගේ ප්‍රාර්ථනයයි.

එරංදි කෞශල්‍යා
අග්බෝගෙ ඡායාරූප අන්තර්ජාලයෙන්.





 

TAGGED: Farmers
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?