දරුවන් තුළ සහජයෙන් සැඟවුණ හැකියාවන් තිබෙනවා. ඒ හැකියාවන් ඔප මට්ටම් වෙන්න අම්මා, තාත්තාගෙන් ලැබෙන සහයෝගයත් එක්ක. ඒ වගේ කතාවකට නිමිති වුණ දියණියන් දෙදෙනෙක් ගැන අපට මාතර කොටපොල ප්‍රදේශයෙන් වාර්තා වුණා. මේ පුංචි පැංචියන් දෙදෙනා නම් වශයෙන් කිව්වොත් එන්. ඩබ්. දහම්දි ඉලීෂා සහ චනුලි ඉලීෂා. දහම්දිගේ වයස අවුරුදු 9 යි. ඇගේ නැගණිය චනුලිගේ වයස අවුරුදු 7 යි. මේ දෙදෙනාම මාර/ කොටපොල ජාතික පාසලේ ඉගෙනුම ලබනවා. වයසෙන් පුංචි වුණත් ඔවුන්ගේ හැකියාවන් හරි අපූරුයි.මේ දෙන්නා මේ වෙසක් මාසේ තොරණ්වල දැල්වෙන විදුලි ආලෝකරණය කරනවා.
දහම්දි ඔයා කොහොමද තොරණ්වල වැඩ ඉගෙන ගත්තේ?
අපේ අම්මයි තාත්තයි දෙන්නාම තොරණ්වල වැඩ කරනවා. අපිත් ඒවා නිතර දකිනවා. බලාගෙන ඉන්න කොට මටත් පුළුවන් නේද කියල හිතුණා. මම වයස අවුරුදු තුනක් විතර කාලයේ ඉඳලා අම්මයි තාත්තයි තොරණේ වැඩ කරද්දී බලෙන්ම ඇවිත් උදව් දුන්නාලු. මට මල්ලකට දාලා බල්බ් දුන්නාම ඒවා ධන සහ සෘණ අනුව තොරණේ සිදුරුවලට තියෙනවලු.
එතකොට පොඩි දුව ඉලීශාට මේ හැකියාව ආවේ කොහොමද?
මමත් අම්මයි තාත්තගෙයි වැඩ බලාගෙන ඉඳලාම තමයි ඉගෙන ගත්තේ. ඊටපස්සේ අක්කත් එක්ක එකතු වෙලා මමත් තොරන්වල වැඩ කරන්න ගත්තා.
ඔය දෙන්නම තොරණ්වල මොනවගේ වැඩද කළේ ?
අපි දෙන්නම තොරණක පිංතූරවල ආලෝක රටා ඇන්දාම එතැනින් පසුව ධන, සෘණ අනුව බල්බ් මේ තැන්වලට තියනවා. එක පැත්තකටම ධන දානවා. අනිත් පැත්තට සෘණ බල්බ් තියෙනවා. මමයි, නංගියි මුලින්ම ඒ විදිහට බල්බ් අමුනන්න පටන් ගත්තා.ඊටපස්සේ තොරණේ චිත්‍රවල වර්ණ ඉස්මතු වෙන විදිහට බල්බ් තියන්නත් අපට පුළුවන් වුණා. අපි කියමු චිත්‍රයේ කුරුල්ලෙක් ඉස්මතු කරන්න ඕන කියලා. එතකොට බල්බ්වල පාට තෝරා ගන්න ඕන. ඒවා අපි දෙන්නා හිතලා කළා.

දැන් ඔය දෙන්නට සර්කිට් එකට බල්බ් පාස්සන්නත් පුළුවන් නේද…?
ඔව් නංගිටයි මටයි තොරණේ ඇඳපු ආලෝක රටාවලට අනුව බල්බ් තියලා බවුත් එකකින් යටින් පාස්සන්නත් පුළුවන්.
මේ වගේ වැඩ කරද්දී අනතුරු ගැන බයක් එහෙම නැතිද?
අපිට නැහැ. අපි කවදාවත් අනතුරු කර ගෙන නැහැ. ඉවසීමෙන් කරනවා. මේ බල්බ්වල වෝල්ටීයතාවය අඩුයි. ඒ නිසා බයක් නැහැ.
පාසලේ වැඩවලටයි. තොරණ්වල විදුලි පරිපථ නිර්මාණයට අමතරව ඔය දෙන්නාගේ වෙනත් හැකියාවන් මොනවාද…?
අපි දෙන්නා කොස්මෝදර ශ්‍රි මහමායා දහම් පාසලේ ඉගෙන ගන්නවා. අපි දහම්පාසලේ ශාසනාරක්ෂක බල මණ්ඩල තරගවලටත් ඉදිරිපත් වෙනවා. මටයි නංගිටයි ගීත ගායනයට වගේම නර්තනයටත් හැකියාව තිබෙනවා. මේ අවුරුද්දේ මම ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිනවා.
ඔය දෙන්නාගෙන් වඩාත්ම දක්ෂ කවුද?
මට වඩා නංගි දක්ෂයි කියලයි මම හිතන්නේ.
දහම්දි අනාගතයේ මොනවද කරන්නේ?
මම පයිලට් කෙනෙක් වෙන්න ආසයි. නංගිට තාම එහෙම දෙයක් කියන්න තේරෙන්නේ නැහැ.
දහම්දි මුලින්ම කළ තොරණ මොකක්ද?
2019 ඉඳන්ම තොරන්වල විදුලි වැඩ කළා කියල මම කිව්වනේ. පාස්සන කටයුතු, බල්බ් තියන වගේ දේවල් තමයි මුලින් කළේ. 2024 වසරේ මමයි නංගියි එකතු වෙලා තොරණක පරිපථ හැදුවා. ඒ තොරණට “ මහා හංස ජාතකය ” ඇතුළත් වුණා. 2025 වසරේ “ රාජෝවාදී ජාතකය ” ඇතුලත් තොරණේ විදුලි පරිපථ, සම්පූර්ණයෙන්ම අපි දෙන්නා එකතු වෙලා හැදුවා.
අපි තොරන් වෙනුවෙන් මෘදුකාංග දෙකක් පාවිච්චි කරනවා. මැට්රික්ස් පරිපථය මේ මෘදුකාංගය විශ්වවිද්‍යාලයේ අයියා කෙනෙක් නිර්මාණය කළ එකක්. අනිත් මෘදුකාංගය Twleve.එය බොරැල්ල රවි පී.සී.බී මාමාගේ නිර්මාණයක්. අපි මේ මෘදුකාංග දෙක යොදා ගෙන තොරණ්වල විදුලි පරිපථ නිර්මාණය කරනවා. මේවා වෙනුවෙන් LED බල්බ් දානවා. ඒවාට විදුලිය අඩුවෙන් යන්නේ.

පුංචි දියණියන් එක්ක කතා කරන ගමන් තමන්ගේ අඩි පාරේ යන කතා නොකළත් මග පෙන්වන දියණියන්ගේ අම්මා කුසුම් කාංචනා හඬ අවදි කළා.
දුවලා දෙන්නා ගැන ඔබ මොකද හිතෙන්නේ…?
මගේ දරුවන් දෙන්නටම විදුලි පරිපථ සැලසුම් කිරීමේ අපූරු හැකියාව තියෙනවා. මගේ සැමියා විදුලි කාර්මිකයෙක් වගේම තොරන් නිර්මාණ ශිල්පියෙක්. මමත් විවාහයෙන් පසුව ඔහුට උදව් දෙන්න පටන් ගත්තා. මමත් තොරන්වල වැඩ කරනවා. අඩි 45 ක් උස තොරන් පවා මම නිර්මාණය කරනවා. සමහර විට ලංකාවේ තොරන් වැඩ කරන එකම කාන්තාව මම වෙන්නත් පුළුවන්.ඉතිං ලොකු දුව පුංචි කාලෙ ඉඳලම අපි දෙන්නා තොරන්වල වැඩ කරන විදිහ බලා ගෙන හිටියා.
පිරිමි ළමයි කාර්මික වැඩවලට කැමැත්තක් දැක්වුවත් ගැහැණු දරුවන් වැඩියෙන් යොමු වෙන්නේ බෝනික්කන් නලවන්න. සෙල්ලම් බත් උයන්න වගේ වැඩවලටනේ. ඒත් ලොකු දුව වයස අවුරුදු තුනක් විතර කාලයේ පටන්ම ඉලොක්ට්‍රොනික් වැඩ කරන්න පටන් ගත්තා. එතකොට අපි දෙන්නා දැනගත්තා මෙයාගේ උනන්දුව මේ පැත්තට කියලා.
අම්මා විදිහට ඔයා ඒ වැඩවලට එපා කිව්වේ නැද්ද?
නැහැ. දරුවා නිරීක්ෂණයෙන් යමක් ඉගෙන ගන්නා නිසා අපි එයාට තහනමක් දැම්මේ නැහැ. නමුත් අද මේ තරමට හැකියාවක් ලැබෙයි කියල අපි මුලින් හිතුවෙ නැහැ.
දියණියන්ගේ තාත්තා විදිහට මදුශංඛ දරුවෝ ගැන මොනවද හිතන්නේ?
සමහරවිට මගේ ළඟට වැඩට එන විදුලි කාර්මිකයන්ටත් වඩා මගේ දරුවෝ දෙන්නා ඉදිරියෙන් බව මට දැනෙනවා. ඇත්තම කිව්වොත් ලොකු දුවටත් වඩා පොඩි දුව ඉදිරියෙන් තමයි. ඒක එයාට උත්පත්තියෙන් ආව එකක් කියල අපි දෙන්නට හිතෙනවා.ඊට අමතරව ලොකු දුවට පරිගණක දෝෂ හඳුනා ගන්නත් පුළුවන්. ඒ වගේම ගෙදර තිබෙන විදුළි උපකරණවල දෝෂත් එයා නිවැරදි කරනවා.
තාත්තා විදිහට ඔබ දරුවන්ගේ අනාගතය ගැන මොනවද හිතන්නේ?
දරුවන්ගේ හැකියාව මේක වුණත් ඔවුන් දෙදෙනාම අධ්‍යාපනය ලබන්න ඕන. අපි ඒ වෙනුවෙන්ම කැප වෙලා ඉන්නේ. මම රැකියාවක් නොකරන්නෙත් මේ දෙන්නාගේ වැඩවලට උදව් වෙන්න ඕන නිසා. අනාගතයේ රොබෝ තාක්ෂණය වගේ අංශවලට හොඳ රැකියා අවස්ථාවන් ලැබේවී. ඒ නිසා එවැනි අධ්‍යාපනයකට මෙයාලා යොමු කරන්න ඕන.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️