මේ දිනවල ඉන්දියාවෙ විතරක් නෙවේ ලෝකයේ බොහෝ රටවල අවධානය දිනාගත් තරගාවලියන් තමයි Battle of bands කියන්නේ. ඉන්දියාවේ දූර්දර්ශන් නාලිකාවේ විකාශය වෙන මේ තරගාවලියෙන් වෙන්නෙ ලෝකෙ සංගීත කණ්ඩායම් අතරින් හොඳම සංගීත කණ්ඩායම තෝරන එක. ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, මාලදිවයින, රුසියාව, සිංගප්පූරුව වගේ රටවල් බොහෝමයක් එක්ක ශ්‍රී ලංකාවේ සංගීත කණ්ඩායමකුත් තරග වදිනවා. අපේ ඒ සංගීත කණ්ඩායම තමයි තරිඳු නිර්මාණ ප්රමුඛි Knights’. Knights‚ Battle of bands තරගාවලියේ සිටින ප්‍රවීණ සංගීතඥයන්ගේ වටිනා අදහස් ලැබෙන කණ්ඩායමක් බවට පත්වෙලා. ඒ වගේම පළමු වටයේ හොඳම සංගීතමය ඉදිරිපත් කිරීම ලෙසත් ඔවුන් තේරී පත්වුණා. මේ දිනවල ඔවුන් කාලෙ ගෙවන්නේ මුම්බායි නගරයෙයි. සංගීත කණ්ඩායම් බොහොමයක් පරදවමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින මේ කණ්ඩායමේ නායක තරිඳු නිර්මාණව අපි කාර්යබහුල වෙලාවක වුණත් සම්බන්ධ කරගත්තා.
ආයුබෝවන් තරිඳු, මොනවද ඉතින් අලුත්ම විස්තර? අපි මේ කතාව සංගීත කණ්ඩායමේ ඉතිහාසයෙන්ම පටන්ගනිමු
ආයුබෝවන්, ඔව්. නයිට්ස් බෑන්ඩ් එක පටන් අරගෙන දැන් අවුරුදු දෙකහමාරක් විතර වෙනවා. බෑන්ඩ් එකේ සාමාජිකයින් හත්දෙනෙක් ඉන්නවා. මම තරිඳු නිර්මාණ. බෑන්ඩ් එකේ මේන් වෝකලිස්ට්. තව වෝකලිස්ට් කෙනෙක් ඉන්නවා, ඔහු අරුන් ජෙරමි. දනිදු පෙරේරා බේස් ගිටාර් වාදක. ගීසර විජේකෝන් ලීඩ් ගිටාර් වාදක. කවිෂ්ක අශාන් කීබෝඩ් වාදක. රුක්ෂාන් සිල්වා ඩ්‍රම්ස් වාදන ශිල්පි. තව කීබෝඩිස්ට් කෙනෙක් ඉන්නවා, ඔහු චිරන්ත ෆර්නෑන්ඩු.
මේ දවස්වල ඉන්දියාවේ පැවැත්වෙන Battle of Bands International තරගාවලියට අපි පස්දෙනෙකුටයි සහභාගී වෙන්න අවස්ථාව ලැබුණේ. මොකද තරග රෙගුලාසිවලට අනුව පස්දෙනෙකුටයි සහභාගී වෙන්න පුළුවන්. අරුන්ට සහ චිරන්තට මේ තරගයට සහභාගී වෙන්න ලැබුණෙ නෑ. තරගයට සහභාගී වෙන්න අපිට ආරාධනාවක් ලැබුණා. ඒ අනුව තමයි අපි මේ තරගාවලියට සහභාගී වුණේ. ඉන්දියාවට එන එකේ ඉඳන් නවාතැම් පහසුකම් වෙනකල්ම සියලු වියදම් දරන්නේ සරිගම ආයතනය.

කොහොමද මේ වෙද්දි ලැබෙන ප්‍රතිචාර?
ලැබෙන ප්‍රතිචාර ගැනනම් අපිට හිතාගන්න බෑ. මේ තරගයට සහභාගී වෙද්දි මෙහෙම ප්‍රතිචාරයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වුණේ නෑ. අපි ඇත්තටම මේකට සහභාගී වුණේ අලුත් අත්දැකීමක් ලබාගන්න බලාපොරොත්තුවෙන්. නමුත් මේ වෙද්දි ලැබෙන ප්‍රතිචාර ඉතාම විශිෂ්ටයි. දැනටමත් ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල සංගීත සංදර්ශනවලට ආරාධනා ලැබෙමින් පවතිනවා. ටීවී වැඩසටහන්වලට අවස්ථා ලැබෙනවා වගේම ඉන්දියාවේ සංගීත ශිල්පීන් එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. ලංකාව ඇතුළෙත් හිතාගන්න බැරිතරම් ප්‍රතිචාර ලැබෙනවා. සංගීත කණ්ඩායමට හොඳ ජනප්‍රියත්වයක් හිමි වෙලා තියෙනවා. මේ ලැබෙන්නෙ අපේ අවුරුදු ගණනාවක මහන්සියේ ප්‍රතිඵලය.
පළමු වටයෙන් පසුව හින්දි ගීත පමණක්ද තරගාවලියේදී ගායනා කරන්න පුළුවන්?
නෑ. හින්දි ගීත විතරක්ම නෙවේ. අපිට අපේ සිංහල ඔරිජිනල්ස් කියන්න පුළුවන්. හින්දි ගීත ගායනා කරනවා නම් සරිගම ලේබල් එකට අයිති හින්දි ගීත පමණයි ගායනා කරන්න පුළුවන්. නමුත් මේ තරගාවලිය පැවැත්වෙන්නේ ඉන්දියාවේ නිසා සහ මේක වැඩිපුර බලන්නේ ඉන්දියානු ජනතාව නිසා අපිට සිංහල සින්දු ගොඩක් කියන්න බෑ. මොකද ඔවුන්ට දැනෙන්නෙ ඔවුන්ගේ භාෂාවෙන් ගැයුවොත් විතරයි. ඒ නිසා හින්දි ගීතවලට මුල් තැනක් දෙන්න සිද්ධ වෙලා තියෙනවා තරගය පුරාවට.
තරග වට කීයක් තියෙනවද?
මේ වෙනකොට අපි තරග වට හතක් ඉදිරියට ඇවිත් ඉන්නවා. අවසන් පූර්ව වටයට තේරිලා ඉන්නේ. සෙමි ෆයිනල් සහ ෆයිනල් එකට ලෑස්ති වෙන්නයි දැන් තියෙන්නේ.
විනිසුරු මඩුල්ල ගැන සඳහනක් කළොත්…
විනිසුරු මඩුල්ලේ ඉන්නවා ශ්‍රද්ධා පණ්ඩිත් සහ රාජා හසන් කියන කලාකරුවන් දෙදෙනා. ඊට අමතරව හැම සතියෙම අලුත් ආරාධිත විනිසුරුවරයෙක් එනවා. ඒ එන්නේ ඉන්දියාවේ සුප්‍රසිද්ධම කලාකරුවෙක්. මේ වෙද්දි අනූ මලීක්, අභිජිත් භටාචාර්යා, සලීම් මර්චන්ට් වගේ අය ආරාධිත විනිසුරුවරුන් හැටියට ඇවිත් තියෙනවා.

Battle of bands වගේ විශාල වේදිකාවක මුලින්ම තමන්ගෙ කණ්ඩායම එක්ක පර්ෆෝම් කරද්දි කොහොමද දැනුණ හැඟීම?
ඇත්තටම බය හිතුණා. අපි මේ වේදිකාවට ගොඩවුණේ රටක් නියෝජනය කරන්නයි කියන වගකීම හොඳටම දැනුණේ පළවෙනි පාර පර්ෆෝම් කරද්දි. අපි එතනට ගියේ එක්ස්පීරියන්ස් එකක් ගන්න වුණත් ආවට පස්සෙයි තේරුණේ රටවල් 13ක සංගීත කණ්ඩායම් ඇවිත් ඉන්නෙම තමන්ගේ රට නියෝජනය කරන්න කියලා. ඉතින් අපි අපේ රට නියෝජනය කරන්න පළවෙනි වටේ ගීය ගයද්දි බයක් වගේම හරි ආදරණීය හැඟීමක් දැනුණා.දෙවෙනි වටේදි කණ්ඩායම ගැයුවේ ශ්‍රී ලංකාවේ අභිමානය ගැන කියවෙන ඔබ කණ්ඩායමේම ඔරිජිනල් ගීයක්. ලංකාවේ සුන්දරත්වය, සංස්කෘතිය ගැන අදහසක් ලෝකෙට දෙන එකද
ඉන් බලාපොරොත්තු වුණේ?
‘භූමියයි උදාරවන්ත වූ’ කියන්නෙ අපේ බෑන්ඩ් එක හදපු පළවෙනි ඔරිජිනල් ගීතය. ඒ ගීතය අපි ගැයුවේ සවුදම්, රබන් පද මැදට දාලා. මේ තරගයෙන් ලැබුණ අත්දැකීම් අපේ රටට සහ අපේ රටේ සංගීතය කරන්න ඉන්න දක්ෂයන්ට හොඳ පන්නරයක් වේවි කියලා මං හිතනවා. ලංකාවට සහ ඉන්දියාවට සංගීතය බෙදාගන්න පාරක් හදන්න අපි උත්සාහ කරනවා.
මේ ගමන එන්න ඔබලට සහාය දුන් අය කවුද?
අපේ හැම සාමාජිකයෙක්ගෙම පවුල්වල අය ඉතාම ආදරෙන් මතක් කරන්න ඕන. සංගීත කණ්ඩායමේ කිහිප දෙනෙක් විවාහකයි. ඔවුන්ගේ බිරින්දෑවරුන්, දෙමාපියන්, සහෝදර සහෝදරියන් සහ ලංකාව ඇතුළෙ අපිට ආදරේ කරන හැමෝම අපිට දුන්නේ ලොකු සහයෝගයක්. ඒ වගේම මේ වෙනකල් අපිව විශ්වාස කරලා ෂෝස් දීපු මහත්වරුන්ටත් ගොඩක් ස්තූතියි.
කණ්ඩායමක් විදිහට මොකද්ද තියෙන බලාපොරොත්තුව?
ලොකුම බලාපොරොත්තුව මේ සංගීත කණ්ඩායම තවත් හොඳට ඉස්සරහට කරගෙන යන්න. ඒ වගේම අපේම ගීත නිර්මාණ කරලා, ඒවා ලෝකයට ගෙනියන්න උත්සාහ කරනවා. ඒ වෙනුවෙන් හොඳ අවස්ථා කිහිපයක්ම මේ වෙද්දි ලැබිලා තියෙනවා. ශ්‍රී ලංකාව කියන නම ඉන්දියාව තුළ වගේම ලෝකෙම බබලවන්නයි අපට ඕන.
එරංදි කෞශල්‍යා ✍️