සකල විශ්වය පාලනය කරන්නා වූ දෙවිවරුන්ටත් ඉතිහාසයේ ස්වර්ණමය යුගයන් උදාකළ රජවරුන්ටත්, කුඩා පැල්පතේ ජීවත් වන දුගියාගේ සිට මහා මන්දිරයේ සිටින ධනකුවේරයාටත් වාහනයක අවශ්‍යතාව හා රුචිකත්වයක් තිබූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. හෙළ රජ දරුවන් තම වාහනය ලෙස දෝලාව භාවිත කර ඇත. ලොව එතෙක් මෙතෙක් බිහිවූ වාහන සත්ත්ව අනුරුවක් විලසින් නිර්මාණය වී ඇති බව නූතනයේද මනාව පිළිබිඹු වේ.
මිනිසාට අත්‍යවශ්‍යම භාණ්ඩයක් වන වාහනය ගමන් බිමන් යෑමට පමණක් නොව තමන්ගේතරාතිරම පෙන්වීමටත් යොදා ගැනීම බහුලව සිදුවේ. දුගියා පාවිච්චි කරන පා පැදියේ සිට ධනවතා පාවිච්චි කරන අති නවීන වාහනය දක්වා තම වාහනය ගාල් කිරීමට සුබ අසුබ දිශා ඇති බව ඔබ මින් පෙර දැන සිටියාද? ඒ පිළිබඳ ලියැවෙන ලිපි දුලබය. මෙම ලිපියෙන් විස්තර කෙරෙනුයේ ඔබේ අලංකාර නිවසේ ගරාජය කුමන ආකාරයට දිශාගත කළ යුතුද යන්න නිවස තැනීමට පෙර සිට වාස්තු උපදේශකයකුගේ උපදෙස් ලබාගත යුතු ආකාරය පිළිබඳවයි.
යම් අයකු අති නවීන ලියාපදිංචි නොකළ වාහනයක් මිල දී ගත්තද ගරාජයකට සුදුසු දිශාවක එය ගාල් නොකරන්නේ නම් එම වාහනයට කාර්මික දෝෂ ගෙන දේ. ඒ වෙනුවෙන් අධික මුදලක් පවා වියදම් කිරීමට සිදුවිය හැකිය. පාවිච්චි කළ වාහනයක් ගත්තද වාහනය මිලදී ගත්දා සිට නොයකුත් කාර්මික දෝෂ නිසා මුදල් වියදම් කර හෙම්බත් වූ ගෙහිමියෝත් සිටිති. ඒ අනුව මිනිසකුගේ ඇතිවීමට හෝ නැතිවීමට ද ගරාජය බලපෑමක් ඇති කරයි.
යම් නිවසක ගරාජයක් ඉදිකළ යුතු සුබ දිශාව වන්නේ නිරිත දිශාවයි. එසේ කරගත නොහැකි අවස්ථාවලදී ගිනිකොණ හෝ වයඹ දිශාවට, ස්ථානගත කළ හැකිවේ. වාහනයක් එක තැන නවතා තැබීමෙන් එම ස්ථානයට එකවර වැඩි බරක් යෙදීමක් සිදුවේ. නිවසේ වැඩි බරක් යෙදිය හැකි ප්‍රධානම දිශාව වන්නේ නිරිත දිශාවයි. විශ්වයේ ඊශානෙන් එන ශක්තීන් ගබඩා වන්නේද නිරිත දිශාවේය.
නිරත දිශාවේ වාහනයක් ගාල්කර තැබීමෙන් හා එම දිශාවේ ගරාජය ඉදිකර ගැනීමෙන් වාහනවල කාර්මික දෝෂ අවම කරවයි. අලුත් හෝ පැරණි වාහනයක් ගත්තද, එහි නඩත්තු වියදම අඩුවීමෙන් ඔබේ පසුම්බියට ද වාසිදායක වේ. බොහෝ විට කාලයෙන් කාලයට වටිනාකමින් වැඩි වාහන මිලට ගැනීමට ගෙහිමියාට අවස්ථාව උදාවේ. ගෙහිමියා රිය අනතුරුවලට භාජනයවීම ද ඉතා අවම වේ. එය ආයුෂ වර්ධනය වීමට ද හේතුවේ. දරුවන්ගේ අධ්‍යාපනයේද දියුණුවක් ඇතිකරවන අතර විවාහ ජීවිතය ද යහපත් වේ. ආර්ථිකය ශක්තිමත් වේ. සමාජයේ කැපී පෙනෙන තත්ත්වයකට පත්වන අතර යම් ප්‍රසිද්ධියක් ලබයි.
නිරිත දිශාවට ගරාජය ගැනීම අපහසු නම් පමණක් ගිනිකොණ හෝ වයඹ දිශාවට ගැනීම සිදුකළ හැක. එහිදී ද ගෙහිමියාගේ ආයුෂවලට ගැටලුවක් ඇති නොවන අතර ආර්ථිකය ද යහපත් වේ. වාහනය වෙනුවෙන් නිකරුනේ මිල මුදල් වැය කිරීම අවම වේ. කාර්මික දෝෂ ඇති නොවේ. වාහන ප්‍රවාහන සම්බන්ධ කටයුතු කරන අයගේ ව්‍යාපාර ආදිය දියුණු වේ. තව තවත් වාහන මිලට ගැනීමට හැකිවේ. වැරැන්ඩා කොටසක් ලෙස හෝ ගරාජය නිවසට සම්බන්ධ කර ගැනීමේදී ජනෙල් අවහිර නොවන සේ ඉදිකර ගත යුතුය. එසේ නොමැති නම් නිවස අඳුරු වීමට හා හිරු රශ්මිය ලැබීම අවහිර වේ. එයද වාස්තු දෝෂයකි. එය නිවෙස් හිමියන්ගේ නිරෝගී බව අඩු කිරීමට හේතුවේ. ලෙඩදුක් වලින් පීඩා විඳීමට සිදුවේ. වාහනවලට වියදම් කිරීමක් මිස ලැබීම් ඇති නොවේ.
වාස්තු පරීක්ෂාවන් සිදුකරන විට බොහෝ විට දක්නට ලැබෙන ප්‍රබලම දෝෂයක් වන්නේ ඊශාන දිශාවට ගරාජය ගැනීමයි. වාස්තු පුරුෂයාගේ හිස ඊශාන තිබීම නිසා ගෘහ හිමියාගේ මානසික සතුට අඩුකරවයි. සෑම විටම සිත් කරදර ගෙන දේ. එසේම හිසට හානි සිදුවිය හැකි අතර ස්නායු සම්බන්ධ රෝග හා කල් පවතින අසනීප තත්ත්වයන් ඇතිකරවයි.
ආර්ථික වශයෙන්ද දිනෙන් දින ආපස්සට ගමන් කරයි. දියුණුව අඩාල වේ. දරුවන්ගේ අධ්‍යාපනයේද පසුබෑම් ඇති වේ. නිවාසවල අලුත්වැඩියා කටයුතු අවසන් කර ගැනීමට නොහැකි වේ. නිවසේ සාමාජිකයන් අතරද මතගැටුම් ඇතිකරවයි. දේවාකර්ෂණය හා විශ්වයේ ආකර්ෂණ ශක්තිය අඩුවේ. ඊශාන දිශාවට එකවර වැඩි බරක් යෙදිය නොහැක. එම දිශාවේ අප තැබිය යුත්තේ බර අඩු භාණ්ඩය. එසේ නොමැතිනම් ශක්ති ගලනයක් ඇති නොවේ.
උතුර හා නැගෙනහිර දිශාවලට ද ගරාජය ගැනීමෙන් වළකින්න. තවද, බොහෝ දෙනකු කරන වරදක් වන්නේ නිවසට වැරැන්ඩා කොටසක් එකතුකර ප්‍රධාන දොර සම්පූර්ණයෙන් අවහිර වන සේ වාහනය නවතා තැබීමයි. එවිට ඉබේම එම ස්ථානය ගරාජයක් බවට පත්වේ. මෙය ද්වාර වේද දෝෂ ගණයට අයත් වේ. යම් ලෙසකින් ප්‍රධාන උළුවස්ස අවහිර වී නිවසට ශක්තිය ලබාගැනීමට නොහැකි වන්නේ නම් එම නිවසේ පිරිහීමක් මිස දියුණුවක් ඇති නොවේ. උදෑසන ප්‍රධාන දොර විවෘත කළ විට නිවස තුළට පැමිණෙන පිරිසිදු වාතයත් සූර්යාලෝකයත් නිසා නිවසකට කෙතරම් ශ්රියාවක් ලැබෙනවාද යන්න සිතා බලන්න.
එසේනම් ඉතා අසුබ වාස්තු දෝෂයක් වන ප්‍රධාන දොර නිතර වසා තැබීමත් ප්‍රධාන දොර විවෘත කර වාහනයක් නවතා තැබීමත් තුළින් සිදුවන්නේ නිවස තුළට පැමිණෙන විශ්ව ශක්තිය අඩාල වීමකි. ගරාජයක් ඉදිකිරීමේදී වඩාත් සුදුසු වන්නේ නිවසින් අඩි 12 කට වඩා දුරින් නිරිත, ගිනිකොණ හෝ වයඹ දිශාවට ඉදිකර ගැනීම වේ. පෘතග්ජන මිනිසුන් වන අප ලෞකික ජීවිතයේ අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට දිනෙන් දින වෙහෙසෙන අතර පාපැදියක් ඇති අයෙක් යතුරුපැදියක් හෝ ගැනීමට සිහින මවයි. යතුරුපැදියක් ඇති අයෙක් රෝද තුනේ හෝ හතරේ වාහනයකට සිහින දකියි.
අති සුඛෝපභෝගී වාහනයක් ඇති අයකුට වුවද ඔහුගේ වාහන සිහිනය නොසන්සිඳේ. නිවසක් හා වාහනයක් යනු මිනිසකුට අත්‍යවශ්‍ය සාධක දෙකක් වේ. කිසිවෙක් තම නිවස හා වාහනය නිසා තමන්ගේ දියුණුව මිස පරිහානිය බලාපොරොත්තු නොවේ. එම නිසා නිරෝගිමත්ව ජීවත් වීමටත් ආර්ථිකයට, අධ්‍යාපනයට, විවාහ ජීවිතයට සියලු යහපත සැලසෙන අයුරින් ඔබේ නිවසේ ගරාජයත් නිවැරදි ලෙස දිශාගත කරගන්න.
වාස්තුවිද්‍යා විශාරද
නිවාස සැලසුම් ශිල්පී
සමස්ත ලංකා ශාස්ත්‍රානුකූල වාස්තු වේදීන්ගේ සංගමයේ
මාධ්‍ය ලේකම්
අරෝෂ ජයවර්ධන
ආලෝකා “Homes”,මිනුවන්ගොඩ
(Aloka Homes vasthu FB Page )
අර්චිත ඉඳුවර ✍️