අපේ බුදුරජාණන්වහ්නසේගේ ආදාහනයෙන් පසු උන්වහන්සේගේ ශ්‍රි ශරීරය දැවී ශේෂ වුණ ධාතුන් වහන්සේලා ප්‍රභේද තුනකින් යුක්ත වෙනවා.මහා ධාතුන් වහන්සේලා- රන්වන් පැහැයන් බබලන මුං පියලි ප්‍රමාණයෙන් යුක්තය.මධ්‍ය ධාතු -සමන්කැකුළු පැහැයෙන් යුක්ත අතර කඩසහල් ප්‍රමාණයෙන් යුක්තයකුඩා ධාතුන් වහන්සේලා- අබ ඇට ප්‍රමාණයෙන් යුක්තය.
මෙම ධාතුන් වහන්සේලා අතරින් විසිරුන ධාතු සහ නොවිසුරුන ( අසම්භින්න ) ධාතුන් වහන්සේලා යැයි තවත් ප්‍රභේද දෙකකි. ඒ අතරින් අතරින් සතර දළදා වහන්සේලා, ලලාට ධාතුන් වහන්සේ සහ අකු ධාතුන් වහන්සේලා නොවිසුරුණ ධාතූන් වහන්සේලා හත් නම ලෙසින් සැලකෙනවා. ජේ. බී දිසානායකයන් සඳහන් කරන අන්දමට “ දංෂ්ට්රා ” යන සංස්කෘත වචනය පාළියේදී “දාඨා “ලෙසින් හඳුන්වන ලදී. සිංහල භාෂාවේදී මෙම වචනය “ දළ ” හෙවත් දළදා ලෙසින් පරිණාමයට පත් වී තිබෙනවා.
දළදා වහන්සේ සෙසු ධාතුන් වහන්සේලාට වඩා වැදගත් ඇයි…?
බුදුරජාණන්වහන්සේගේ නොවිසුරුන ධාතු අතරින් වම් දළදා වහන්සේ මහනුවර ශ්‍රි දළදා මාළිගාවේ තැන්පත් කරන තිබෙනවා.
ලොව විහිදා සුදු සඳ පැහැ රැසෙව් සැදී
දෙ නොමදා සිරි සග මොක් සැප නිසැදී
ලද මුනිදා දම් කඳ පහස මන බැඳී
වඳු දළදා හිමි තෙමහල් පැහැය රැඳි
“අනේක ජාති සංසාරං- සද්ධා විස්සං අනිබ්භිසං…“යන ප්‍රථම උදාන වාක්‍යයේ සිට “වයධම්මා සංඛාරා “යන අවසාන බුද්ධ වචනය දක්වා සුවාසු දහසක් ධර්මස්කන්ධය ස්පර්ශය වුණ දළදා වහන්සේ සෙසු ධාතුන් වහන්සේලාට වඩා සුවිශේෂී වෙනවා.ඒ වගේම දැනට අපට දැක බලා වැඳ පුදා ගැනීමට හැකි ධාතුන් වහන්සේ නමක් ලෙසත් වාම දළදා වහන්සේ අපට සුවිශේෂියි. ලලාට ධාතුන් වහන්සේ. අකු ධාතුන් වහන්සේලා දෙනම වැනි ශාරීරික ධාතුන් වහන්සේලා පිළිබඳ මූලාශ්‍ර ඇතැත් ඒවා නදින් කොට දාගැබ් ගොඩ නගා ඇති නිසා අපට සියැසින් දැක බලා ගැනීමට අවස්ථාවක් නැහැ.
දළදා ප්‍රදර්ශනය යැයි භාවිත කිරීම සුදුසු නැහැ…
අපි දළදා ප්‍රදර්ශනය යන වචනය ව්‍යවහාර කළත් ඒ වචනය සැබැවින්ම ගැළපෙන්නේ නැහැ. දළදා වහන්සේ යනු දැක කුසල් පින් කර ගැනීමට ලැබෙන අවස්ථාවක්. ඒ නිසා දළදා වන්දනාව යනුවෙන් භාවිතකිරීම වඩාත් සුදුසුයි.
ධාතු වන්දනා කිරීමේ ආනිශංස…
- අකුසල් සිත් දුරුවීම
- පරලොව සුගතගාමීවීම
- නිවන් දැකීමට හේතුවීම
ලෝකයාගේ වන්දනීයත්වයෙන් පුද පූජා ලබන දළදා වහන්සේ වන්දනා කිරීම සඳහා ඒ වෙනුවෙන් එක් රොක් වෙන සැදැහැතියන් වගේම මේ ගැන උනන්දුවක් දක්වන තවත් පිරිස්ද වෙනවා.
ඒ අතර ඇතැමුන් මේ ගැන සැකයෙන් කතා කරනවා. කාලාම සුත්‍රයට අනුව යමක් අන්ධානුකරණයෙන් පිළිගැනීමට අවශ්‍ය නැහැ. නමුත් වාම දළදා වහන්සේ පිළිබඳව සනාථ කළ හැකි ඓතිහාසික මුලාශ්‍රයන් පවතින අතරම බුදුරජාණන්වහන්සේ යනු මැවුම්කාර දෙවියෙකු නොවේ. මිනිසෙකු ලෙසින් මව්කුසෙන් උපත ලබා, මඩ ගොඩක පිපුන නෙළුම් මලක් සේ මඩ තවරා නොගෙන සුවිශේෂී වුන උත්තරිතර චරිතයක්.
දළදා වන්දනාවේදී අපි සැබෑ ලෙසින් ගරු කරනවා. අපේ බුදුහාමුදුරුවන් වෙනුවෙන් කරන පුද පූජාවන් සියල්ල ශ්‍රද්ධාව මුල් කර ගෙන සිදු වෙනවා. ආකාරවතී කාරණා හෙවත් තෙරුවන් ගුණ දැන ගෙන… බුදුරජාණන්වහ්නසේගේ නව අරහාදී ගුණ ගැන අපි හදවතින්ම ඇති කර ගෙන වන්දනා කිරීම සැබෑ වශයෙන්ම උන්වහ්නසේට ගරු කිරීමක්.
සියැසින් දැක….
සියැතින් වන්දනා කිරීමේදී පවා අපි මේ නව ගුණ ගැන සිහිපත් කිරීම ඉතාම වැදගත්. නමුත් අද දළදා වහන්සේ වන්දනා කිරීමේදී පවතින තද බදය හා ස්වයං විනයක් නොමැති ඇතැමුන්ගේ හැසිරීම නිසා අපේ හිතය යම් ද්වේශයක් ඇති වෙනවා. අප හැම දෙනාටම දළදා වහන්සේ සියැසින් බලා ගැනීමට අවස්ථාවක් ලැබෙන්නෙත් නැහැ.
වියපත් අයට… රෝගීන්ට මේ වෙනුවෙන් සහභාගී වීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දළදා වහන්සේ වන්දනා කර පිටතට යන්නේ බුද්ධානුලම්බන ප්‍රිතියෙන්. නමුත් මේ අවස්ථාව නොලැබුන අය තමන්ට ඒ අවස්ථාව අහිමිවීම ගැන කම්පා වෙනවා. එහෙත්… ඔබ දළදා වහන්සේ වැඩ සිටින යුගයක මිනිසෙකු ලෙසින් මේ පින්බිමේ උපත ලැබීමත් මගේ පෙර පිනක් යැයි හිත හදාගන්න.
පරිසරය රකින්න…
බුදුරජාණන්වහන්සේ පරිසරහිතකාමී ශාස්තෘන්වහන්සේ නමක්. උන්වහන්සේ පරිසරය පිළිබඳ විවිධ දේශනාවන්හි පවා අපට උපදෙස් ලබා දුන් සේක. නමුත් අද බොහෝ දෙනෙක් දළදා වන්දනාව පිළිබඳව කතා කිරීමේදී මහනුවර විශාලා මහනුවරක් බවට පත්ව ඇති බවට චෝදනා නගනවා. නමුත් ඔබ සැබෑ බෞද්ධයෙක් නම් සෙවන දුන් ගසක් වේ නම් එතැන පවා පිරිසිදු කරන ලෙසට උපදෙස් ලබා දුන් බැව් අපි දන්නවා. මල්වතු, උයන්වතු රෝපණය කිරීම මහත් ආනිශංස බැව් වදාළ සේක ඒ නිසා සැදැහැ සිතින් බුදුරජාණන්වහ්නසේගේ
දළදා වහන්සේ වන්දනා කිරීම වගේම උන්වහන්සේගේ ඉගැන්වීම්වලටත් අපි අනුගත වීම ඉතාම වැදගත්. බුදුරජාණන්වහන්සේ නිතරම දේශනා කළේ යමෙක් මගේ ධර්මය අනුගමනය කරන්නේද ඒ තැැනත්තා මා දැක්කේ වෙයි. යැයි වක්කලී තෙරුන් වහන්සේට වදාළා. ඒ වගේම අපි බුදුරජාණන්වහ්නසේ මුල් කර ගෙන ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්නා සේම උන්වහන්සේගේ ධර්මය අනුව අපේ ජීවිතය හැඩ ගස්වා ගැනීමත් ඉතාම වැදගත්.
ශාරීරිකව අපවිත්රවීම
පෝළිම්වල දින ගණනක් ගත කිරීමේදී ශාරීරක වශයෙන් අපි අපිරිසිදු බවට පත් වෙනවා. සාමාන්‍ය දිනකදී දළදා වහන්සේ වන්දනා කිරීමේදී අපි ශාරීරික වශයෙන් පිරිසිදු වෙනවා. නමුත් මේ වගේ අසීරු අවස්ථාවක සාමාන්‍ය ජීවිතයේදී මෙන් ශාරීරිකව පිරිසිදු වීමත් අපහසුයි නමුත් ශාරීරිකව අපිරිසිදු වුණත් ඔබේ සිත පිරිසිදු නම් ලැබෙන කුසල කර්මය බලවත්.බාහිය දාරුචීරිය ගස්වල පොතුවලින් තමන්ගේ සිරුර වසා ගත් අයෙක්. අංගුලිමාල කුණුව ඕජස් ගලන ඇගිලි මාලයක් ගෙල පැළඳ සිටියා. නමුත් බුදුරජාණන්වහන්සේගේ ධර්මය අවබෝධ කර ගැනීමට එය බාධාවක් වුණේ නැහැ.
විහාරාධිපති,
ධර්මපාඨශාලාචාර්ය,
විචිත්‍ර ධර්ම කථික,
පූජ්‍ය සෙවනගල
සුමංගල ස්ථවිර
දුටුගැමුණු සෑය,
ශ්රීි මහා විහාරය
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️