යම් නෛතික ගැටළුවක් උදාවීමේදී ඒ සඳහා සාධාරණත්වය සෙවීම අපගේ මූලික අයිතියකි. එවන් අවස්ථාවක, අධිකරණ පද්ධතිය පිළිබඳව අපගේ විශ්වාසය මතු වේ. ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය, දීර්ඝ ඉතිහාසයකින් හා විශිෂ්ට සංවර්ධනයකින් යුතු සංවිධානයක් වන අතර සාධාරණත්වය රැක ගැනීමේ අභියෝගය නිරතුරුවම බාරගෙන ඇත.
ශ්‍රී ලංකාවේ පුරාණ රාජධානී සමයේ සිටම විනිශ්චයකරණ ක්රමයන් ක්‍රියාත්මක විය. පසුව විදේශ බලපෑම් (පෘතුගීසී, ඕලන්ද සහ බ්‍රිතාන්‍ය බලපෑම්) මගින් නීති ක්‍රමය වෙනස් විය. විශේෂයෙන්ම 1833 වසරේ Colebrook-Cameron වාර්තාව මගින් නව අධිකරණ ව්‍යුහයක් පිහිටුවීම ශ්‍රී ලංකාවේ නීති ක්රමයේ වැදගත් අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය.
එයින් පසුව නැවත 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් මෙන්ම 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් ද ලංකාවේ අධිකරණ පද්ධතියේ යම් යම් වෙනස්කම් ඇති වූ අතර කවර ආකාරයක වෙනස්කම් ඇති වූවද ශ්‍රී ලංකාවේ අධිකරණය ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කරමින් නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරනු ලබන බව ඉඳුරාම පැවසිය හැකිය.අද වන විට, ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය රටේ ඉහළම අධිකරණය වන අතර එයට
අභියාචනාධිකරණය, මහාධිකරණ, දිස්ත්‍රික්ක අධිකරණ සහ මහේස්ත්‍රාත් යනාදී අධිකරණ මට්ටම් අනුගත වේ. එක් එක් අධිකරණයන් සඳහා පවතින බලතල පිළිබඳව අවධානය
යොමු කිරීමේ දී එම අධිකරණයන් තුළින් යුක්තිය පසිඳලීම සඳහා ගනු ලබන ක්‍රියා මාර්ගයන් පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය
ශ්‍රී ලංකා ජනරජයේ උත්තරීතරම සහ අවසානාත්මක ලේඛනෝපගත කිරීමේ ජ්‍යෙෂ්ඨ අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය සතුයි. වර්ථමානයේ ශ්‍රී ලංකාවේ ගරු අගවිනිසුරුතුමිය ලෙස මූර්දු ප්‍රනාන්දු මැතිණිය කටයුතු කරනු ලබන අතර ශ්‍රේෂ්ඨාධිකරණය තවත් විනිසුරුවන් 16 දෙනෙක් ගෙන් සමන්විත වේ.ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල පිළිබඳව අවධානය යොමු කිරීමේ දී ඊටම අනන්‍ය වූ විශේෂ බලතල ප්‍රමාණයක් ආණ්ඪුක්රම ව්‍යවස්ථාව මගින් පවරා දී ඇති බව දැකිය හැකියි.
● ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණ බලය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පනත් කෙටුම්පත්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය විමසීම.
● මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳව බලතල එනම් රටවැසියන්ගේ සිතීමේ හෘද සාක්ෂියේ නිදහස, වධ හිංසාවලින් වැළැක්වීමේ නිදහසෙ, සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම්, අත්තනෝමතික සිර භාරයට ගැනීමෙන් සහ රඳවා ගැනීමෙන් වැළැක්වීමේ නිදහස, භාෂණයේ හා සමාගමයේ නිදහස ආදී මූලික අයිතිවාසිකම් පිළිබදව නඩු කටයුතු මෙහෙයවනු ලබන්නේ ශ්‍රේෂ්ථාධිකරණය මගිනි.
● අභියාචන අධිකරණ බලය අභියාචනාධිකරණය සහ මුල් අවස්ථා අධිකරණයන්හි සිවිල් හා අපරාධ අභියාචනා පිළිබඳ අවසානාත්මක අධිකරණ බලය.
● පාර්ලිමේන්තුව වරප්‍රසාද කඩ කිරීම සම්බන්ධ අධිකරණ බලය.
● ජනාධිපතිවරයණල ඡන්ද පෙත්සම් සම්බන්ධ නඩු අභියාචනාධිකරණය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී, වර්ථමානයේදී අභියාචනාධිකරණය සභාපතිවරයකුගෙන් ද වෙනත් විනිශ්චයකාරවරුන් 15 දෙනෙකුගෙන් සමන්විත වන අතර ශ්‍රේෂ්ඨාධිකරණය හැරුණු විට ලේඛණගත කිරීමේ උත්තරීතර අධිකරණය අභියාචනාධිකරණය වන්නේය.
අභියාචනාධිකරණයේ බලතල පිළිබඳව අවධානය යොමු කිරීමේ දී,
● මුල් අවස්ථා අධිකරණ සහ අනෙකුත් විනිශ්චය ආයතනයන්හි අභියාචනා අධිකරණ බලය
● ප්රතිශෝධන අධිකරණ බලය සිද්ධිය පිළිබඳල නීතිය පිළිබඳ වැරදි නිවැරදි කිරීමේ අධිකරණ බලය
● අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ දඩුවම් නියම කිරීමේ බලතල
● රිට් ආඥා නිකුත් කිරීමේ බලය සර්ෂියොරාරි, ප්රොසිඩෙන්ටො, මැන්ඩාමුස් සහ ක්වොවොරොන්ටො රිට් ආඥ නිකුත් කළ හැක
කෙසේ වෙතත් ජනතාවට වඩාත් සමීප අධිකරණ වන්නේ මෙතනින් පසුව විස්තර කරන අධිකරණ බව නිසැකවම පැවසිය හැකියි. ඊට හේතුව වන්නේ එම මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ රටපුරා පැවතීමයි.
මහාධිකරණ පිළිබඳව සැලකීමේ දී අවම වශයෙන් එක් පළාතකට එක් අධිකරණයක් වන ආකාරයෙන් ලංකාව පුරා මහාධිකරණ 33 කට වඩා පවතින අතර මහාධිකරණය යනු මුල් අවස්ථා අධිකරණ බලය මෙන්ම අභියාචන අධිකරණ බලය ක්‍රියාත්මක කරන එකම අධිකරණයයි.
සිවිල් අධිකරණ බලය මෙන්ම අපරාධ අධිකරණ බලය ද ක්‍රියාත්මක කරයි. මහාධිකරණ නඩු විභාග මහාධිකරණ විනිශ්චයකාරවරයකු ඉදිරියේ හෝ ජූරි සභාවක් ඉදිරියේ කළ හැකි අතර නීතිපතිවරයා අධිචෝදනා පත්‍ර ඉදිරිපත් කර නඩු විභාග කරනු ලබන නඩු කටයුතු මහාධිකරණය ඉදිරයේ විභාග කරනු ලැබේ.
සිවිල් අභියාචනා මහාධිකරණ ලංකාව පුරා මේ වන 22 ක් පමණ ක්‍රියාත්මක වන අතර, දිසා අධිකරණයන්හි සිවිල් අභියාචනා කඩිනම් කිරීම අරමුණු කොට සිවිල් අභියාචනා මහාධිකරණ පිහිටුවා ඇත. මෙමගින් දිසා අධිකරණවල අභියාචන විභාග කිරීම සිදු වේ.
වාණිජ මහාධිකරණය පිළිබඳව සැලකීමේ දී වටිනාකම රුපියල් මිලියන 20 ට වැඩි වාණිජ ගනුදෙනු සම්බන්ධ නඩු විමසීමේ අධිකරණ බලය හිමි වන අතර බුද්ධිමය දේපල පනත යටතේ ගැනෙන නඩු කටයුතු සම්බන්ධ අධිකරණ බලයද මේ සඳහා හිමිවේ. විශේෂයෙන් මෙම වානිජ මහාධිකරණ කොළඹ දී ක්‍රියාත්මක වන බවද පැවසිය යුතුය.
ශ්‍රී ලංකාවේ දිසා අධිකරණ 82 කට වඩා පවතින අතර එම අධිකරණ මගින් ස්වකීය අධිකරණ බල සීමාව තුළ විමසීමට දිසා අධිකරණ වෙත අධිකරණ බලය හිමිව ඇති නඩු කටයුතු එනම්, සියලූම සිවිල් නඩු, ඉඩම්, ආදායම්, භාර, වස්තු භංගත්ව, තෙස්තමේන්තු නඩු කටයුතු, වෛවාහක ආරවුල්, දික්කසාද, විවාහ ශූන්‍යතා පිළිබඳ පවුල් අධිකරණ බලය, සිහිවිකල තැනැත්තන්ගේ භාරකාරත්වය සහ ඔවුන්ගේ දේපල භාරකාරත්වය, අන්තිම කැමති පත්‍රයක් නොතබා මිය යන තැනැත්තන්ගේ බූදලය සම්බන්ධ තෙස්තමේන්තු නඩු, බාලවයස්කරුවන් ගේ රැකවරණය හා ඔවුන්ගේ දේපල භාරය දැරීම ආදී නඩු කටයුතු මෙම අධිකරණ තුළින් මෙහෙයවනු ලබයි. පවුල් නීතිය සම්බන්ද අධිකරණය වන්නේද දිසා අධිකරණයයි. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ළමයින්ගේ භාරකාරත්වය මෙම දිසා අධිකරණය සතුවේ.
ශ්‍රී ලංකාවේ දිසා අධිකරණ තරමටම වාගේ පවතින මහේස්ත්‍රාත් අධිකරණ තුළින් ස්වකීය අධිකරණ බල ප්‍රදේශය තුළ දණ්ඩ නීති සංග්‍රහය හා වෙනත් නීතීන් යටතේ බලය පවරා ඇති අපරාධ නඩු සම්බන්ධ අධිකරණ බලය හිමි වන අතර මුල් අවස්ථා අපරාධ අධිකරණ බලය, හදිසි මරණ සම්බන්ධව මරණ පරීක්ෂණ පැවැත්වීම, සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට වරෙන්තු අධිකරණ විධාන නිකුත් කිරීම, සෝදිසි වරෙන්තු නිකුත් කිරීම, යහපැවැත්මෙන් සිටීම සදහා පුද්ගලයන් බැදුම්කරවලට ඇතුලත් කිරීම හා පොදු පීඩා වැලැක්වීම සම්බන්ධ නිවාරණ අධිකරණ බලය ආදී අධිකරණ බලයන් මහේස්ත්‍රාත් අධිකරණයට පවතින බව පැවසිය හැකියි.
ඒ අනුව සෑම නඩුවක්ම සෑම අධිකරණයකටම විමසීම සිදු කළ නොහැකි බවත් හොඳින් මතක තබා ගත යුතු කරුණක්. එමෙන්ම ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ව්‍යවස්ථාව සහ නීතියේ ආධිපත්‍යය තිරසාර කර ගැනීමට මූලික උපකාරයක් සපයන අතරම එය නිවැරදිව සහ කාර්යක්ෂමව ක්‍රියාත්මක වීම, රටේ සාමය, ස්ථාවරතාවය සහ අනාගතයේ සාධාරණ සමාජයක් සකස් කිරීම සඳහා අත්‍යවශ්‍යයි.
මේ වන විට ශ්‍රී ලංකාවේ අධික නඩු ප්‍රමාණයක් විභාග වෙමින් පවතින නිසාම නඩු ප්‍රමාදය සහ වෙනත් හේතූන් නිසා විවිධ අභියෝගයන් ද ඉදිරිපත් වී තිබේ. එම නිසා, ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය නවීන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි ප්‍රතිසංස්කරණ සිදුකිරීම අත්‍යාවශ්‍ය කාරණයක්. එසේ නොමැති වූවහොත් පුරවැසියන්ට අධිකරණයේ පිහිට පැතීමත් අසීරු විය හැකියි.
නීතීඥ චතුරංග හතුරුසිංහ
chathurangadaal@gmail.com