ස්වභාවික වස්තුන් කෙරෙහි දැඩි විශ්වාසයකින් පසු වුණ අපේ අතීත මුතුන්මිත්තන් හිරු දේවත්වයෙන් සලකනු ලැබුවා. පෘථිවියේ සියලු දෙය උපත ලබන්නේ හිරු නිසා බැවින්ම ඔවුන් හේන් කුඹුරු අස්වද්දා ලැබෙන නව අස්වැන්නෙන් හිරු දෙවියන් පිදීම චාරිත්‍රයක් ලෙසින් සලකන ලදී. තමාට උදව් උපකාර කළ සූර්යාට සැලකීම ‘සූර්ය මංගල්‍ය’ ලෙසින් සලකන ලදී.කොහාගේ ගී නාදයත්, රතු එරබදු මල් පිපී පරිසරය සුන්දර වීමත් සමග තවත් අලුත් වසරක් එලැඹෙන බැව් අප වෙත දන්වන පණිවිඩය බවට පත්ව ඇත. මෙම විවේක කාලය ඔවුන්ගේ ජිවිතයේ ආර්ථික ලෙසින් ශක්තිමත් කාලපරිච්ඡේදයකි. ගේ දොර පිරිසිදු කිරීම, ගොම මැටි සහ පිරියම් මගින් නිවසේ පිරිසිදු බව අනිවාර්යෙන්ම ගොඩ නැගේ. වසරක් පුරාම කැත්ත, උදැල්ල සමග මහ පොළව සමග හැපෙන ඔවුන් මානසික ලෙසින් ලබන සැහැල්ලුව නිසා ‘සෙරටොනින්’ වැනි සතුටු හෝර්මෝනයන් නිදහස් වීම නිසා ආතතිය, විශාදය වැනි මානසික රෝගාබාධයන්ගෙන් නිදහස් වීමට හැකියාව ලැබෙනවා.
නැකැත් බැලීම
පෘථිවි වැසියන් සහ ග්‍රහයන්ගෙන් සිදු වෙන දෝෂ, ග්‍රහ අපල ගැන තදින් විශ්වාස කළ මිනිසුන් සෑම වැඩ කටයුත්තක් වෙනුවෙන් ජ්‍යොතිෂ්‍ය සම්බන්ධ කර ගත්හ. අලුත් අවුරුද්දේ සිදු කරන සෑම වැඩ කටයුත්තක් වෙනුවෙන්ම ජ්‍යොතිෂ්‍ය සම්බන්ධ කර ගැනීම නිරායාසයෙන්ම සිදු විය. වසරින් වසර ජීවිතය අලුත් කරන සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණීම සැමරීම සඳහා ‘නැකැත් බැලීම’ ජීවිතයේ සාමාන්‍ය දෙයක් බවට පත් විය.
අවුරුදු සීට්ටුව

සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් වූ නැකැත් සියල්ල ගුරුන්නාන්සේ විසින් සාදනු ලැබේ. ගුරුන්නාන්සේ අවුරුදු නැකත් ලියා දෙන්නට ගමේ හැම නිවසකටම පැමිණෙන අතර නැකැත් සීට්ටුව ලබා දීම වෙනුවෙන් ගුරුනාන්සේට ගම්මුන් විසින් කැවිලි, වී, කුරහන් තෑගි ලෙස පිරිනමනු ලැබේ. සියළුම නැකැත් වේලාවන් සන්නිවේදනය ගමේ පන්සලේ ඝන්ටාව හැඬවීමෙන් සිදු වේ. අද මෙවැනි චාරිත්‍රයක් සිදු නොවන අතර නැකැත් සීට්ටුව වෙනුවට අවුරුදු නැකැත් සහිත ලිත වෙළඳපොලෙන් මිළ දී ගත හැකිය. නැකැත් වේලාවන් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනු ලැබේ. ඒ නැතැත් ලිතට අනුව අදාළ නැකත් වේලාවට කටයුතු කිරීම සිදු වේ.
නැකත් හා සම්බන්ධ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර
- අවුරුද්දට පෙර ස්නානය
- නව සඳ බැලීම
- නැකතට ලිප ගිනි මෙලවීම
- කිරි ඉතිරවීම හා ආහාර පිසීම
- වැඩ අල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
- හිසතෙල් ගෑම
- රැකී රක්ෂා සඳහා පිටත් වීම
සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් කෝඳුරුවන් සඳහා ද කැවුමක් වෙන් කරනු ලැබේ. අවුරුද්දට පෙරාතුව පිලියෙළ කරන කරන කැවුම්වලින් එකක් ඉරටුවක ගසා වහලේ එල්ලා තබනු ලැබේ. මෙම කැවුම වෙනුවෙන් කෝඳුරුවන් එකතු වෙන අතර මෙම කෝඳුරුවන් ඇස් රෝග වෙනුවෙන් වු රෝග කාරකයන් වේ. මේ නිසා කෝඳුරුවන් ඇස් වෙතට ළඟා විම වෙනුවට මෙම කැවුම වටා රොක් වෙන නිසා රෝග බිජ ඇසට සම්ප්‍රේෂණය විම ඉබේටම වැලකෙනු ඇත. සිංහලයන්ගේ මෙම සම්යක්ප්රයෝගය තුළ ඔවුන් නොදැනීම විද්‍යාත්මක සංසිද්ධියක් සම්බන්ධව ඇත.
පරණ අවුරුදු කාලයේදි නිවෙස් පිරිසිදු කිරිමේ පටන් තමාගේ ශාරිරික පවිත්‍රතාවයද අපේක්ෂා කෙරේ. පිරිසිදු බව නිරෝගි බවේ පදනමයි. ස්නානය රෝග සඳහා හේතු වෙන විෂබිජ දුරස්ථ කරන නිසා සහ සුබ කටයුත්තක් වෙනුවෙන් වු සුදානම නිසා ස්නානයෙන් පිරිසිදු විමේ සම්ප්රදාය පෙර සිටම පැවැතුණි. මේ වෙනුවෙන් පරණ අවුරුදු සඳහා ස්නානයට ලිතේ සුබ වේලාවක් පවා වෙන් කර තිබුණි.
නොනගතය
අප්‍රේල් මස 13 වන ඉරිදා අපරභාග 08.57 සිට පසු දින එනම් 14 වන සඳුදා පුර්වභාග 09.45 දක්වා වු කාලය නොනගතය ලෙස යෙදී ඇත.පරණ සහ අලුත් අවුරුද්ද අතර කාලය නොනගතය ලෙසින් හැඳින්වේ. මීන රාශියේ අවසානය සහ මේෂ රාශියේ ආරම්භය අතර කාලය නොනගතය ලෙසින් හැඳින්වේ. සුබ කටයුතු වෙනුවෙන් නොගැලපෙන මෙ කාලය නැකැත් නොමැති නිසාම නොනගතය යනුවෙන් හඳුන්වනු ලැබේ.
මෙම කාලයේ පතිත හිරු කිරණ විෂ සහිත බවට පිලිගැනීමක් අපල සමනය කිරිම සඳහා මෙම කාලයේ පුණ්‍ය කටයුතුවල යෙදීම යහපත් බවට උපදෙස් දී ඇත. මේ නිසා පන්සල් ගොස් තෙරුවන් වැඳ භික්ෂුන් වහන්සේලාගේ ආශිර්වාදය ලබා ගැනීමත් මෙම කාලයේදිී සිදු වේ.
සිංහල අලුත් අවුරුදු උදාව සහ පරණ අවුරුද්ද අතර කාලය අපි සංක්‍රාන්ති හෙවත් නොනගතය යනුවෙන් හැඳින්වෙනවා. මේ කාලය කිසිම සුබ කටයුත්තක් සඳහා සුදුසු නොවන අතර ර්ණ මේ වේලාවේදී ආගමික කටයුතුවල නිරත වෙනවා. මේ නිසා මානසික වශයෙන් ව්‍යාකුල වී ඇති මනස නිරවුල් වන අතර මානසික නිරවුල් බවකින් නව වසරට සූදානමක් ලෙසින් සැලකෙනවා.
අවුරුදු උදාව – අප්‍රේල් මස 14 වන සඳුදා පූර්ව භාග 3.21 ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ
ආහාර පිසීම – අප්‍රේල් 14 වන සඳුදා පූර්ව භාග 04.04 ට තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා කිරි බතක්ද කැවිලි වර්ගයක්ද දී කිරි සහ විළඳ පිළියෙළ කර ගැනීම මැනවි.
නොනගතයෙන් පසුව සිදු වෙන අවුරුදු උදාවේ ප්‍රධාන අවස්ථාව ලිප ගිනි මෙලවිමයි. මේ වෙනුවෙන් නිවසේ ගෘහණියට වගකීම ලැබි ඇත්තේ ඇය ආහාර පිසීමේ කටයුත්තේ ප්‍රධාන හිමිකාරිය නිසාය. ඒ වගේම ගින්දර යනු පවුලේ ආර්ථික ශක්තියයි. ලිප ගින්දර මෙලවීමට නම් ආර්ථික හැකියාවක් තිබීම අනිවාර්ය සාධකයකි. ඒ නිසාම අනුමත වර්ණයෙන් සැරසි අදාළ දිසාව බලා ලිප සුබ නැකතින් ගිනි මොලවා ආහාර පිසීම සිදු විය යුතුය. ආහාර පිසීමේදී කිරිබත ප්‍රධාන වේ. මෙම කිරිබත වෙනුවෙන් ගිතෙල්, උඳු, මුං, තල, උක් හකුරු සහ කිතුල් හකුරු යොදා ගනී.
නැකතට ලිප ගිනි මොලවා නැවුම් වළඳක් ලිප තබා කිරි උතුරවාගෙන කිරිබතක් පිලියෙළ කර ගනු ලැබේ.
ගනුදෙනු කිරිම සහ වැඩ ඇල්ලීම – අප්‍රේල් මස 14 වන සඳුදා පූර්ව භාග 06.44 ට මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.
ආහාර අනුභවයෙන් පසුව සිදු වෙන වැඩ ඇල්ලීමේදී පිරිමින් මිදුලේ කිරි ගසක අත්තක් කපනු ලැබේ. කාන්තාවන් වංමෝල් ඇල්ලීම ලෙසින් වංගෙඩිය සහ මෝල්ගස් ගෙන සංකේතවත් ලෙසින් කාර්ය ආරම්භ කරයි.
ගණුදෙණු කිරීමේ අවස්ථාවේදී පිරිසිදු හදවතක් ඇති යමින් මුදල් ගැවසෙන තැනැත්තෙකු තෝරා ගැනේ. ඔහු බුලත් කොළයක ඔතන ලද මුදලක් පිළිගන්වන අතර එම මුදලට වැඩි මුදලක් නැවත ඔහු වෙත ලබා දෙනු ඇත.
ගනුදෙනු කිරීම
ජලය අපේ සංස්කෘතිය සමග ඉතා සමීප සම්බන්ධතාවයක් දක්වනවා. අතීතයේදී ගමේ කාන්තාවන් බීමට ජලය ගන්නා ළිඳට කහ, දුරු, වී, සහල, බෙහෙත් බඩ, අඟුරු කැට, තඹ කාසි සහ සමන්පිච්ච මල් කීපයක් ලිඳට දමා නැවුම් කලයකට ජලය පුරවා ගනී. මෙම චාරිත්‍රය සමග බැඳුන විද්‍යාත්මක සම්බන්ධතාවයක්ද ඇත. අඟුරුවල ජලය පිරිසිදු කිරිමේ ගුණයක් ඇත. මිනිස් සිරුරට අවශ්‍ය තඹ, ජලය සමග සංයෝග වීමෙන් සිරුරට ලැබේ.
ආහාර අනුභවය
නැකතට ලිප ගිනි දල්වා පිසින ලද ආහාර අනුභවයට නියමිත වේලාවේදි පවුලේ සියළු දෙනාම එකට එක්ව ආහාර භුක්ති විඳිනු ලැබේ. කිරිබත ප්‍රධාන කර ගත් කැවුම්, කොකිස් ආදි කැවිලිවලින් අවුරුදු මේසය සපිරි වේ. ශ්‍රී ලංකාව පීතෘ මූලික සමාජයක් බැවින් ආහාර අනුභවයේ ප්‍රධාන චරිතය පියා වේ. පියා විසින් බිරිඳට සහ දරුවන්ට ආහාර පිළිගන්වනු ලබයි.
අද පවුල් සංස්ථාවක් තුළ එකම මේසයක හිඳ ආහාර ගැනීමේ රටාව මුළුමනින්ම ගිලිහී ගොස් ඇත. කාර්යබහුලත්වය සහ විවිධ පුද්ගලයන් විවිධ කටයුතුවල යෙදීමට යොදාගන්නා කාලය නිසා එකට හිඳ ආහාර ගැනීමට පවා දැන් අවසරයක් නැත. එහෙත් කොතරම් කාර්යබුහල ජන සමාජයක ඔබ ජීවත් වුණත් ඔබ අලුත් අවුරුදු උදා වූ දින පවුලේ සියලු දෙනා සමග එකට එක්ව ආහාර ගැනීමේ චාරිත්‍රය මග හරින්නේද නැත.
මහපොළව සමග අව්වැසි කාලගුණ තත්ත්වයන් හමුවේ වූ අභියෝගයන්ට මුහුණ දුන්හ. ගොයම් කයිය අවසානයේදී ඊළග කන්නය පටන්ගන්නා තෙක් ඔවුන්ද විවේකයෙන් පසු වූහ. ඒ නිසාම අලුත් අවුරුදු කාලයේදී විවිධ ක්‍රීඩාවල යෙදෙන්නට අදටත් අප අමතක කරන්නේ නැත.ජන ක්‍රීඩාවන් අතර ගෘහස්ථ වගේම එළිමහන් ක්‍රීඩාවන්ද කාන්තාවන් සඳහා මෙන්ම පිරිමින්ට විශේෂ වූ ක්‍රීඩාවන් ද ඇත.
සමූහ ක්‍රීඩා නිසා සමගිය, එකමුතුව සමග ගොඩනැගෙන සහජීවනය සමාජයේ සංවේදී පුද්ගලයන්ගේ බිහිවීමට බෙහෙවින් හේතු වී තිබේ. වෛද්‍ය විද්‍යාත්මකව බලන විට අවුරුදු සමයේදී ආාහරයට ගන්නා පැණි රස, තෙල් බැදුම් ආහාර නිසා ගබඩා වෙන මේදය දහනයට ක්‍රීඩාවන්හි යෙදීම ඔවුන් ලත් ආශිර්වාදයක් ලෙස සැලකේ. නමුත් අද වනවිට අවුරුදු උත්සවයන්හිදී අපේ සංස්කෘතියට නොගැලපෙන ලෙසින් සංකර වූ ක්‍රීඩාවන් යොදා ගැනීම ඉතාම වැරදියි. මේ නිසා අද පරම්පරාවට අතීත සංස්කෘතියේ වටිනාකම් පවා හඳුනා ගැනීමට අවස්ථාවක් නැත.
හිසතෙල් ගෑම
හිසතෙල් ගෑම – අප්‍රේල් 16 වැනි බදාදා පූර්වභාග 9.04 ට පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වර්ණයෙන් සැරසී උතුරු දිසාව බලා හිසට කොහොඹ කොළද පයට කොලොන් පත්ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ස්නානය කිරීම මැනවි.හිසතෙල් ගෑමේ අවස්ථාව පන්සල, දේවාලය හෝ කෝවිල වෙදමහතා වැනි ප්රභුවරයෙකුගේ නිවස හෝ තම තමන්ගේ නිවස මුල් කරගෙන සිදු වේ. හිසතෙල් සඳහා නානු සහ තෙල් යොදා ගනු ලැබේ.
තෙල් ගෑමේ ස්ථානය සුදු වියනක් බැඳ බිමට පිරුවට දමා ඒ මත පිරුවටයක් එලන ලද පුටුවක් තබා ඇත. තෙල් ආලේප කිරිමේ දිසාව සහ ඇඳිය යුතු වර්ණයද නියමිතව ඇත. හිසට සහ පයට තබන පත්‍ර නියම කර ඇත. හිසතෙල් ගෑම සෙත් පිරිත් මැද සිදු කරන අතර තෙල් සහ නානු ආලේපයෙන් පසුව සිදු වෙන ස්නානයෙන් අවුරුදු චාරිත්‍ර අවසාන වේ.
රැකී රක්ෂා සඳහා පිටත් වීම
අප්‍රේල් මස 17 වැනි බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.03 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබතක් හා එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා පිටත්වීම මැනවි.
කිවියර සහ ගීත රචක
ශාස්ත්‍රපති පූජ්‍ය මහගම සීලානන්ද ස්වාමින්වහන්සේ
පුන්‍යා චාන්දනී ද සිල්වා