ලෝකෙ ගොඩක් මිනිස්සු සිස්ටම් චේන්ජ් කරන්න උත්සාහ කරනවා. අතන වැරදියි මෙතන වැරදියි කියලා කියනවා. හැබැයි තමන් තමන්ගෙ පැත්තට පහනක් දල්වලා බැලුවොත් තමන්ට තමන් තුළ තියෙන අවුල් ටික අහුවෙන්න පටන්ගන්නවා. ඒ විදිහට හැමෝම තමන්ගෙ පැත්තට ආලෝකය හරවලා බැලුවනම් ගොඩක් අවුල් අපිට නැතිකරගන්න පුළුවන්. තමන්ගෙ පැත්තට පහනක් පත්තු කරගන්නැතුව අවට පරිසරයට පහනක් පත්තු දල්වනතාක් තමන්ගෙ අවුල් තමන්ට පේන්නෙ නෑ.
බොහෝ ස්ත්‍රී දූෂණයන් වෛරල් වෙන්නෙ එම දූෂණය මරණයකින් කෙළවර වුණොත්. හැබැයි ඝාතනයකින් කෙළවර නොවුණු නමුත් අතවරයක් සිද්ධ වුණ සිදුවීම් ලෝකෙ අනිත් රටවල වගේම ලංකාවෙත් අපමණ සිද්ධ වෙනවා. මට මෑතකදී මේ වගේ සිදුවීමකට මුහුණ දීපු එක්තරා තරුණියක් මුණගැහුනා.
ඒ තරුණිය පිරිමි ළමයෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පවත්වලා තියෙනවා. නමුත් දවසක් මේ පිරිමි ළමයා ඇගේ බීම එකකට මත් වෙන්න යමක් දාලා තිබුණා. ඒ අවස්ථාවේ ඔහු ඡායාරූප අරගෙන ඒවා තරුණියට පෙන්නලා වරින් වර ඇයට මේ අතවරය කරලා තියෙනවා. මෙවැනි සිදුවීම් බොහෝමයක් මාධ්‍ය වාර්තා නොකෙරුවට මේ ලෝකයේ සිද්ධ වෙනවා. නමුත් පහුගිය දවසක අනුරාධපුරේ වෛද්‍යවරියක අපයෝජනයට ලක්වීම කුමන හෝ හේතුවක් මත වෛරල් වුණා.
මේ ලෝකේ හැම මනුස්සයෙක්ටම තියෙනවා ලිංගිකත්වය සම්බන්ධයෙන් තමන් දක්වන කැමැත්ත පිළිබඳ සැකැස්මක්. මනෝ විද්‍යාවේදී අපි බහුලව කතා කරන මාතෘකාවක් තමයි මේ ලිංගිකත්වය සම්බන්ධ සැකැස්ම කියන්නේ. ඉන්දියාව, ලංකාව වගේ රටවලින් වාර්තා වෙන සිද්ධි දැක්කම අපිට තේරෙනවා මේ සැකැස්ම හැදිලා තියෙන්නේ කොහොමද කියලා.
මේ දේවල් නිසයි ලිංගිකත්වය ගැන විධිමත් අධ්‍යාපනයක් නැති තැන. අවිධිමත්ව ඒ දේවල් ඉගෙන ගන්න ගියාම වෙන්නේ මිනිස්සුන්ගේ මේ සෙක්ෂුවල් ස්ක්‍රිප්ට් එක වෙනස් වෙන එක. මෙහි ප්‍රතිඵලයක් විදිහට බොහෝ වෙලාවට අපගමනය වුණ ලිංගික චර්යාවන් පෙන්නුම් කරනවා.
විධිමත් නොවන එක් අවස්ථාවක් තමයි අසැබි වීඩියෝ පට නැරඹීමට හුරුවීම. අසැබි වීඩියෝ පට තිර පිටපතකට අනුව සිදුවෙන්නක්. හරියට නාට්‍යයක් වගේ. ඉතින් මේ නාට්‍යයේ තියෙන දේ සත්‍යයක් කියලා හිතලා ඒ දේ තමන්ගේ සෙක්ෂුවල් ස්ක්‍රිප්ට් එකට එකතු කරගන්නවා. ඒ දේවල් තමන්ගේ ස්ක්‍රිප්ට් එකට දාගත්තම වෙන්නේ අනෙකා මතින් තමන් ඒ දේවල් හොයාගෙන යන එක. ඔය ගැන පර්යේෂණයක් කළොත් එහෙම අසැබි වීඩියෝ පටවල බොහොමයක්ම තියෙන්නෙ පරපීඩකයත්වය කියලා හොයාගන්න පුළුවන්.
ඔබ සඳහන් කළා අනුරාධපුර සිදුවීමට සම්බන්ධ අපයෝජකයා ‘අම්මා’ කියලා ගහගෙන හිටපු ටැටූ එකක් ගැන. ටැටූ එකක් ඇතුළෙත් සයිකොලොජි එකක් තියෙනවා. තමන් තුළ තියෙන අභ්‍යන්තර ප්‍රකාශනයක් එළියට දාන මාධ්‍යයක් විදිහට ටැටූස් පාවිච්චි වෙනවා. හැබැයි රැල්ලටත් ටැටූ ගහන අය ඉන්නවනේ. සමහර විට එම අපයෝජකයා තමන්ට නොලැබුණු මව් සෙනෙහසක් නිසා ‘අම්මා’ කියලා ටැටූ එකක් ගහගත්තා වෙන්නත් පුළුවන්.
නමුත් පුද්ගලයෙක්ට භාවාත්මක බුද්ධිය කියන දේ ඉතාම වැදගත්. භාවාත්මක බුද්ධිය ඇතුළෙ තියෙනවා තමන්ගේ හැගීම් පාලනය කරගන්න විදිහ. ඒ වගේම අනිත් කෙනාට දැනෙන විදිහ තමන්ට තේරුම් ගන්න පුළුවන්. ඒ කෙනාට කියවීමේ හැකියාවක් තියෙනවා.
පුංචි කාලෙදිම දරුවෙකුගේ හදවත හොඳින් හැදෙන්න ඕන කියන්නෙ ඒකයි. හදවත හැදෙන්නෙ නැතුව මොකක් හැදුණත් වැඩක් නෑ. පුද්ගලයෙක්ට තමන්ගෙ හෘද සාක්ෂිය පිටින් යමක් කරන්න බෑ. සමහර දේවල් කරන්න යද්දි අපිටම හිතෙනවා මම මේ දේ කරන්නෙ හදවතට එකඟව නෙවේ කියලා.
මේ හෘද සාක්ෂිය හැදිලා තියෙන්නෙ ඇගයුම්, ප්‍රතිමාණ වගේ සදාචාරාත්මක දේවල්වලන්. මේ දේවල් මිනිස්සුන්ට ඕන වෙන්නෙ මිනිස්සු හුදෙකලා නොවන නිසා’ අපි සමාජයක් ඇතුළෙ තවත් පිරිසක් එක්ක ජීවත් වෙන නිසා.
තමන් කරන දෙයින් තව කෙනෙක්ගේ සර්කල් එකට ප්‍රශ්නයක් වෙනවා නම් අන්න එතනදි ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා මේ ප්‍රතිමාණ, ඇගයුම් හැදෙන්නෙ පුද්ගලයෙක්ගේ පවුල් පසුබිම බෙහෙවින්ම වැදගත් වෙනවා.
මේ ටික නැති වුණොත් හෘදසාක්ෂිය කඩාගෙන බිඳගෙන ගිහින් සමහර මිනිස්සු වැඩ කරනවා. පුංචි කාලෙ ඉඳන් දරුවෙක්ව සමාජයට අනුගත කිරීම වැදගත් වෙන්නේ ඒකයි.
ඉන්දියාවේ එක්තරා මනුස්සයෙක් ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් වැරදිකරුවෙක් වෙනවා. ඒ චූදිතයා තමන් කළ වැරැද්ද පැටෙව්වේ කාන්තාව පිට. ඔහු කියනවා කාන්තාවෝ රෑ වෙලා එළියට බහින්න හොඳ නෑ කියලා.
ඒ දෘෂ්ඨිවාදය හැදිලා තියෙන්නෙත් ඒ අපයෝජකයගෙ පවුල් පසුබිම නිසා. එහෙම අත්දැකීම් ඔහුට ඇති නිසා. එතන තියෙන්නෙ සමාජයට අනුගත නොවීමේ ගැටලුවක්. සමාජානුයෝජනය හැදෙන්නේ පාසලෙන් සහ නිවසෙන්. එතකොට මේ දෙකේ අඩුපාඩුවක් වෙනවා නම් හෘදසාක්ෂියක් නිර්මාණය වෙන්නෙ නෑ. ඒකෙන් වෙන්නෙ තමන්ට අවශ්‍ය දේ ඕනම වෙලාවක එළියට දාන්න ඉඩකඩ හැදෙන එක.
මිනිස්සුන්ගේ සෙක්ෂුවල් ස්ක්‍රිප්ට්වල ප්‍රශ්න තියෙනවා. නමුත් එහෙම ප්‍රශ්න තිබුණත් ඒවා එළියට දානකොට තමන් බලන්න ඕන ඒකෙන් තව කාටහරි අවැඩක් වෙනවද කියලා. සමාජානුයෝජනය නොවීමේ බරපතළ ගැටලුවක්. පහුගිය දවසක සිද්ධ වුණ අනුරාධපුර ස්ත්‍රී දූෂණ සිදුවීමෙදි පෙනෙන්නට තිබුණා.
මුලින්ම තමන් තමන්ව හොයාගන්න.
තමන්ගේ ලිංගික සැකැස්ම ඇතුළෙ තියෙන්නේ අපගමනය වුණ චර්යාද අපගමනය නොවුණ චර්යාද කියලා අඳුනගන්න. මේ නිසා තමයි ලිංගික අධ්‍යාපනය පාසල් කාලෙදිම අවශ්‍ය වෙන්නේ. මොකද පුද්ගලයෙකුගේ ලිංගික සැකැස්ම හරි විදිහට හැදෙන්න ඕනේ පුංචි කාලෙ ඉඳන්මයි. ලිංගිකත්වය කියන්නේ ජීව විද්‍යාත්මක උත්තේජනයක්.
අසැබි වීඩියෝ පටවලින් කරන්නේ ඒකට තව තව උද්තේජ සපයන එක. කණ්ඩායමක් එකට එකතු වෙලා ඔවැනි දේකට යොමුවෙන එක ඇතුළේ ඇතැම් වෙලාවට තියෙන්නේ මුළු කණ්ඩායමේම ඒකමතික තීරණයක් නොවෙන්නත් පුළුවන්.
සමහර වෙලාවට කණ්ඩායමේ එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගේ කැමැත්තට අනිත් අයට නතු වෙන්න වෙන වෙලාවලුත් තියෙනවා. ඔය කණ්ඩායමක් ඇතුළෙ ඉන්න අයගේ තියෙන්නේ අවිධිමත් ලිංගික සැකැස්මක් නම් එතකොට කණ්ඩායම් චින්තනය ඇතුළේ හැදෙන්නේ හරිම අවුල්, විෂම ලිංගික සැකැස්මක්. ඒ නිසා අකමැත්තෙන් ඉන්න කෙනෙක් වුණත් නිකන්ම ඒ දේට නැඹුරු වෙනවා.
මනෝ විද්‍යාඥ,
ආචාර්ය අශෝක් ප්‍රියදර්ශන
එරංදි කෞශල්‍යා ✍️