නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: බුද්ධාලම්බන ප්‍රීතියෙන් මිදී තරඟකාරීත්වය වඩවා ඇති විසිතුරු පූජා භාණ්ඩ පූජාව
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

බුද්ධාලම්බන ප්‍රීතියෙන් මිදී තරඟකාරීත්වය වඩවා ඇති විසිතුරු පූජා භාණ්ඩ පූජාව

Published September 16, 2024

බුදුරජාණන්වහන්සේ මහාකරුණාවෙන් යුක්ත අසමසම වූ උත්තරීතර කෙනෙකි. ඒ නිසාම කලාකරුවෝ බුදුරජාණන්වහන්සේ මුල් කරගත් කලා කෘති නිර්මාණය කිරීමේදී සුවිශේෂී ලෙසින් ශ්‍රද්ධාව, ඉස්මතු කිරීමට සමත් වූහ. බුද්ධ ප්‍රතිමාවක් නෙලීමේදී පවා කලාකරුවා බුද්ධාලම්බන ප්‍රිතිය දකින්නා තුළ ඇති වෙන ලෙස ඉතා විශාල වූ ප්‍රමාණයෙන් නිර්මාණය කිරීමට සමත් වූ බව දැකිය හැකිය. එවැනි විසිතුරු වූ, නිර්මාණයන් දකින විට සිතේ පැහැදීම හෙවත්  “ පස්සද්ධි ” ගුණය ඇති වේ.

ශ්‍රද්ධාව අවශ්‍යයි…

බෞද්ධයෙකු වශයෙන් තුණුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගැනීම වැදගත්. බුදුරජාණන්වහන්සේ මුල් කරගෙන උන්වහන්සේගේ සද්ධර්මය, ආර්ය මහා සංඝරත්නය පිළිබඳ ශ්‍රද්ධාව ඇති කර ගැනීම බෞද්ධයෙකුගේ මූලික පියවර ලෙස සැළකිය හැකිය.

ශ්‍රද්ධාව ඇති වීමට අවශ්‍ය පසුබිමක්…

දෙයක් දැක්මෙන් ප්‍රියමනාප බව ඇති වේ. ජරාජීර්ණ වූ සිද්ස්ථානයක වන්දනමාන කිරීමට හෝ එතැනට පය තැබීමට හෝ කිසිවෙකු කැමැති නොවෙති. වන උයන් කරවීම දිවා රෑ පිං වැඩෙන පිංකම් බව බුදුරජාණන්වහන්සේ අපට දේශනා කළ සේක. වෙහෙර මළුවක පවතින පිරිසිදුබව, අලංකාර වටපිටාව හැම කෙනෙක්ම ඇලුම් කරති. පන්සල ප්‍රියමනාප පරිසරයක් බව අපි පිළිගනිමු. ඒ නිසාම පන්සල අධ්‍යාත්මය පෝෂණය කරන තැනක් බවට පත්ව තිබේ.

මේ අන්දමට විසිතුරු වූද, විචිත්‍ර වූද ප්‍රියමනාප පරිසරයක් දකින පුද්ගලයාගේ හිතේ  “ පස්සද්ධිය ” හෙවත් පැහැදීම ඇති වේ. ඒ නිසාම විචිත්‍ර ලෙසත්, අලංකාර ලෙසත් ආමිස පූජාවන් කිරීම වෙනුවෙන් වූ ප්‍රවණතාවක් ගොඩ නැගී තිබේ. මුතු කුඩ, මුතු පාවහන් වැනි විචිත්‍ර පූජාවන්. අද භික්ෂුන්වහන්සේ මුතුකුඩ යටින් වැඩම කිරීම උන්වහන්සේලාට කරන ගෞරවයක් වශයෙන් රට පුරාම සිදුවේ.

එමෙන්ම මුතු සහ අල්ලන ලද පාවහන්, පබළුවලින් අලංකාර කරන ලද පාවහන්, මුතුකුඩ, බුදු පිළිම වහන්සේලා පූජා කිරීමත් සුලබව සිදු වේ. වර්තමානය වනවිට පිරිකර සොළොස් පිරිකර බවට පත් වී ඇත. මේ හැම දෙයක්ම දායක පිංවතුන් සිදු කරන්නේ අසීමිත ශ්‍රද්ධාවෙන් යුක්තවයි.

වාණිජ පරමාර්ථ මත සිදුවුණොත්…?

යම් අයෙකු තමන්ගේ හැකි පමණින් යමක් පූජා කරන්නේ හිතේ ඇති වෙන ශ්‍රද්ධාව නිසාය. ඒ අතර වාණිජ පරමාර්ථ මත පදනම් වූ විවිධ පූජාවන් බෞද්ධ සමාජයට එක්වන ප්‍රවණතාවයක් ඇති වී තිබේ. එදා අට පිරිකර දැන් සොළොස් පිරිකර සහ ඊටත් වැඩි පූජා පිරිකර ලෙසින් අලෙවි වේ. අව්වට, වැස්සට ඉහලන ලද කුඩය දැන් විශාල වී මුතුකුඩයක් බවට පත් වී තිබේ.

මුතුකුඩ 500 ක් 1000 ක් යොදා ගෙන භික්ෂුවහන්සේලා වැඩම කරති. නමුත් මේවා අධ්‍යාත්මික සුවයට හේතු වන්නේදැයි සිතා බැලිය යුතුය. මුතුකුඩය යටින් භික්ෂුන්වහන්සේ වැඩම කළත් උන්වහන්සේ නැවත වඩින විට ඇතැම් විට මුතු කුඩය එසවීමක් නැත.

ඕනෑම දෙයක් වාණිජකරණය වීමත් සමග මුලික පිරිසිදු අරමුණෙන් ගිලිහි යයි. පූජාභාණ්ඩ ගැනත් එය සාධාරණ වේ. වෙළෙන්දාට අවශ්‍ය වන්නේ තමාගේ නිෂ්පාදනය වෙනුවෙන් වෙළඳපොළක් නිර්මාණය කර ගෙන ලාභ උපරිම කර ගැනීම පමණි. ඒ වෙනුවෙන් පූජා භාණ්ඩ නවීකරණය කිරීම ඔවුන්ගේ අරමුණයි. නමුත් අපි බුද්ධිමත්ව පුද පූජා පැවැත්වීම සිදු කළ යුතුය.

ශ්‍රද්ධාව සහ ප්‍රඥාව සමාන්තරව අවශ්‍ය වෙනවා…

යම් දෙයක් නිවරැදි ලෙස තෝරා ගැනීමට නම් අප බුද්ධිමත් විය යුතුය. අනවබෝධයෙන් යුක්තව යමක් ගැන නොසිතා නොබලා කටයුතු කිරීම “ අමුලිකා ශ්‍රද්ධාවයි ” එලෙස අනවබෝධයෙන් යුක්ත ශ්‍රද්ධාවෙන් පමණක් කටයුතු කිරීමට වඩා යමක් විචාර බුද්ධියෙන් සිතීම වැදගතය. ඇතැම් විට පූජා භාණ්ඩ පූජා කිරීමේදීත් ඉස්මතු වෙන්නේ තරගයයි.

අල්ලපු ගෙදර අය මුතුකුඩයක් පූජා කිරීම නිසා මමත් එය කළ යුතුම දෙයක් සේ ඇතැම් විට සිතයි. එහෙත් එයින් භික්ෂුන්වහන්සේට සංඝයාවහන්සේට ඇති අවශ්‍යතාව ගැන නොසිතයි. පන්සලකට දායකයන් විසින් පූජා කරන මුතු කුඩ එකතු වීම නිසා පන්සලේ ඉඩ බොහෝ සේ ඇහිරේ. අහු මුළු අපිළිවෙලට ගබඩා ලෙස භාවිත වේ. දූවිලි බැඳී අපිරිසිදු වේ.

කැඩුණු මුතුකුඩ අළුත්වැඩියා කිරීමට අවස්ථාවක් නැත. ඒ වෙනුවෙන් සේවා සපයන ආයතනද තවම ප්‍රමාණවත් පරිදි බිහිවී නැත. එනිසා මෙම මුතුකුඩ කැඩුන විට ඒවා බැහැර කිරීමේ ගැටලු මතුවී තිබේ. විශේෂයෙන් ප්ලාස්ටික් සහ පොළිතින් ජීරණය නොවන බව අපි දනිමු.

අල්පේච්ඡතාව

බුදුදහම අපට හුරු පුරුදු කරන ඉතා වැදගත් ගුණාංගයක් නම් අල්පේච්ඡතාවය අනුව කටයුතු කිරීමයි. ලද දෙයින් සතුටු වීම වැදගත් ගුණයකි. අපේ වපසරියට ප්‍රමාණවත් සේ සම්පත් සපයා ගැනීමට යොමු වීම වඩාත් සුදුසුවේ. පමණට වඩා සම්පත් රැස් කිරීම හෙවත් බහුභාණ්ඩික වීම බුදුදහම අනුමත නොකරයි. මෙන් ඒවා පාලනය කර ගැනීමත් අසීරුයි.

සුභරතාව

සුභරතාව යනු පහසුවෙන් පෝෂණය කිරීමයි. පූජා භාණ්ඩ නවීකරණය වීම සහ අනවශ්‍ය පරිදි අලංකාර බහුල වීම ගැටළු ඇති කරවයි. මුතුකුඩ සහ සොළොස් පිරිකර වැනි දේ පිළිබඳව සලකන විට ඒවා ඉතා මිළ අධික වේ. ඇතැම් විට සාමාන්‍ය පුද්ගලයෙකුට එම වැය බර දැරීම ඉතා අපහසුය. ආර්ථික වශයෙන් පවතින දුෂ්කරතාවයන් මධ්‍යයේ පවා මෙවැනි පූජාවකින් ලැබෙන ආනිශංස ගැන හිතමින් තමාට ඒ පින කර ගැනීමට හැකියාවක් නොමැති වීම ගැන ඇතැම් විට පසුතැවිලි ඇති වේ.

මත්තඤ්ඤුතාව

මත්තඤ්ඤුතාව යනු ප්‍රමාණාත්මක බවයි. විචිත්‍ර පුජා භාණ්ඩ වෙළඳපොලට එකතු වීමත් සමග ආර්ථික ශක්තිය ඇති පුද්ගලයන් විසින් ඒවා පූජා කිරීමට පෙලඹෙති. මේ නිසා ආර්ථික වශයෙන් ශක්තිමත් දායකයන් ඇති ප්‍රදේශවල පන්සල්වලට ප්‍රමාණය ඉක්මවා මෙවැනි පූජා භාණ්ඩ ලැබීම නිසා ඒවා කළමනාකරණය කිරීම පිළිබඳ ගැටළු ඇති වේ.

මේ නිසා බෞද්ධයෙකු විසින් ශ්‍රද්ධාව සහ ප්‍රඥාව සමාන්තරව ජීවිතයට සම්බන්ධ කර ගැනීම වැදගත්. පමණට වඩා ශ්‍රද්ධාවන්ත වුවත් ප්‍රඥාව නොමැති නම් කළ යුතු සහ නොකළ යුතු දේ නිවරැදිව වටහා ගත නොහැකිව මෝඩයෙකු ශ්‍රද්ධාවන්තයෙකු බවට පත් වේ. ශ්‍රද්ධාව නොමැති ප්‍රඥාවන්තයා හැම දෙයක්ම විවේචනය කරමින්, කටයුතු කිරීම නිසා හෙතෙම කෛරාටිකයෙකු බවට පත් වේ.

මේ නිසා ඔබ ජීවිතයේදී ශ්‍රද්ධාවෙන් වගේම ප්‍රඥාවෙන් කටයුතු කිරීම ඉතා වැදගත්. වෙළඳපොළ තුළ පුජා භාණ්ඩ විවිධ අන්දමින් ජනප්‍රියත්වයට පත් වුවත්, ඔබේ බුද්ධිමත් හැසිරීමෙන් ඒවා තෝරා බේරා ගෙන කටයුතු කළ යුතුය. අමුලිකා ශ්‍රද්ධාවෙන් කටයුතු කිරීම නිසා ඔබ වෙළඳපොළ රැල්ලෙහි ගොදුරක් විය හැකිය.

පූජ්‍ය රාජකීය පණ්ඩිත
කරවිලකොටුවේ ධම්මතිලක හිමි
සහකාර අධ්‍යක්ෂ ( පිරිවෙන් )
අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය, බත්තරමුල්ල

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

TAGGED: පූජා භාණ්ඩ
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?