නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අලුත් විදිහට හිතන ප්‍රින්සිපල් මැඩම් – සුභාෂණී
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

අලුත් විදිහට හිතන ප්‍රින්සිපල් මැඩම් – සුභාෂණී

Published September 9, 2024

පහුගිය දවස් කීපයම සමාජ මාධ්‍ය පුරා ලස්සන රුවක් එක්ක විවිධ වැකි දකින්න ලැබුණා. ඇගේ ඡායාරූප සමාජ මාධ්‍යයේ සංසරණය වුණේ ‘ලංකාවෙ ඉන්න ලස්සනම ප්‍රින්සිපල්’ නමින් වුණත් ඒ ලස්සනට වඩා විශේෂ දේවල් බොහෝමයක් ඇය තුළ තියෙන නිසයි අද අපේ කතා නායිකාව සුභාෂණී ඒකනායක වෙන්නේ. සුභාෂණී කියන්නෙ මාතලේ සුමංගල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරිය. ඇත්ත, ඇය හරිම ලස්සනයි. නමුත් විශේෂම දේ සාම්ප්‍රදායික ‘ප්‍රින්සිපල්’ කෙනෙක් විදිහට අපේ ඔළුවල මැවිලා තියෙන රූපය ඇය තුළ නොමැතිවීම, ඇගේ ක්‍රියාවන් තුළ නොමැතිවීම…

‘මිහිකත නලවාලා
මග මල් ගන්වාලා
පාසල වෙත යන මේ
පිටිසර හෙළ ගුරු
ලිය සැරදේ’


කියලා සුනිල් ශාන්තයන් ගයන්න ඇත්තෙත් මෙවන් ලියන් වෙනුවෙන්ම වෙන්න ඇති කියලත් ඇය එක්ක කතා කරද්දි මට හිතුණා.

විදුහල්පතිතුමියනි, මුලින්ම කියන්නකො ඇත්තටම ඔබද ලංකාවේ ලස්සනම විදුහල්පතිනිය?


(සිනාසෙමින්) ලස්සන කියන දේ සාපේක්ෂයි. කෙනාගෙන් කෙනාට ඒක දකින විදිහ වෙනස්. සමහරවිට මං වෙනුවෙන් ඒ විදිහට පෝස්ට් හදපු අය මාව ලස්සනම ප්‍රින්සිපල් විදිහට දකින්න ඇති.

ඔබ මේ තරම් සමාජ මාධ්‍ය තුළ වෛරල් වෙන්න හේතුව මොකද්ද?

මාව ගොඩක් දෙනෙක් දැනගත්තෙ නම් පේජ්වලින් මගේ පින්තූර අරගෙන දාපු නිසා. නමුත් ඊටකලින් ඉඳන් මම ෆේස්බුක් පේජ් එකක්, ටික්ටොක් සහ යූටියුබ් චැනල් එකක් කරනවා. ඒ හරහත් මට ෆෑන්ස්ලා ලක්ෂ ගාණක් ඉන්නවා.

අපි කියනවනෙ ගුරුවරු කියන්නෙ සමාජ ආකෘතියක් කියලා.විදුහල්පතිවරියක් ටික්ටොක් කරන එකට අවලාද එහෙම ඇවිත් නැද්ද?

ටික්ටොක් කියන්නෙ හොඳ ප්ලැට්ෆෝම් එකක්. හැම සාමාජ මාධ්‍යක්ම හොඳ විදිහට, ප්‍රවේසමෙන් පාවිච්චි කරනකල් හොඳයි. ටික්ටොක් කියන්නෙ කෙල්ලො කොල්ලො නටන වීඩියෝ දාන ඇප් එකක් කියලනෙ ගොඩක් අය හිතන් ඉන්නේ. නමුත් ටික්ටොක් තියෙන්නේ නටන්න විතරක් නෙවේ. මම මගේ ටික්ටොක් එකේ කරන්නෙ කවි, ගීත විචාර සහ ජීවිතේට වැදගත් පණිවිඩ බෙදාගන්න එක.

ඔබ කවිත් ලියනවා නේද?

ඔව්, ප්‍රකාශ මාධ්‍යයක් විදිහට මගේ ෆේස්බුක් පේජ් එකේ මම නිතරම කවි ලියලා දානවා. යූටියුබ් චැනල් එකේ කවි සහ ගීත විචාර දානවා. ඊට අමතරව මං දකිනවා ඔබ නිරූපණ ක්ෂේත්‍රයෙත් යම් තරමකට නියැළෙනවා ඔව්, මම බතික් ආයතනයක නිරූපණ ශිල්පිණියක් විදිහට ඉන්නවා. ඒ ඡායාරූපවලට මං පෙනී ඉන්නෙත් බතික් ඔසරිවලින්මයි. මම පාසලට දිනපතා අඳින්නෙත් ඔසරි. ඒ නිසා ඡායාරූපවලට පෙනී හිටියා කියලා මගේ වෘත්තියට හානියක් වෙන්නෙත් නෑ.

මේ දේවල්වලට අමතරව ඔබට මොනවද තියෙන දක්ෂතා?

මම හැමදෙයක්ම ටික ටික ඉගෙනගන්න ආස කෙනෙක්. මේ වෙද්දි භරත විශාරද විභාගයට සූදානම් වෙනවා. ඒ වගේම අධ්‍යාපනපති උපාධිය සම්පූර්ණ කරන ගමන් ඉන්නේ. ඔය අතරේ මැහුම් ඉගෙන ගන්නවා. මම භරත ඉගෙන ගන්නෙ මගේ දුව එක්කම එකම පන්තියේ. ඒ පන්තියට මගේ පාසලේ දරුවනුත් එනවා. නැටුම් පන්තිය ඇතුළෙදි මමත් එයාලා වගේම ශිෂ්‍යයෙක්.

ඒ කියන්නෙ ඔබ විදුහල්පති තනතුර ගැන පාසලෙන් පිටතදි හිතන්නෙ නෑ?

මම විදුහල්පතිවරියක් කියන දේ මගේ ඔළුවෙ තියෙනවා. නමුත් මම ඒ තනතුර පාසල් ගේට්ටුවෙන් එළියට ගෙනියන්න කැමති නෑ. විදුහල්පති කියන්නෙ තනතුරක්. ඒ තනතුර ඇතුළෙ ඉන්නෙ මම. මම කැමති නෑ මාව ඒ තනතුර ඇතුළෙම හිර කරන් ඉන්න.

ගුරුවරු කියන්නේ සමාජ ආකෘතියක් නිසා අපිට පුළුවන් අපිට තියෙන කුසලතා නිවැරදිව සමාජගත කරන විදිහ දරුවන්ට කියල දෙන්න. මම සමාජ මාධ්‍ය තුළ දේවල් දාන්නෙත් ළමුන්ට ආදර්ශයක් වෙන විදිහට.කෙනෙක්ට හිතෙන්න පුළුවන් පාසලෙන් පිට වගේම පාසල තුළත් ඔබේ කාර්යය කෙබඳුද කියලා

මම විදුහල්පති කෙනෙක් විදිහට පත්වීම ලබලා අවුරුදු පහයි. මධ්‍යම පළාතේ පාසල් තුළ විශිෂ්ට ව්‍යවහාර සිදුකළ විදුහල්පතිනියක් විදිහට මම ආසන්න වසර දෙකකම සම්මානයට පාත්‍ර වුණා. ඒ නිසා රුපියල් ලක්ෂයක මුදලක් පාසලේ වැඩකටයුතු වෙනුවෙන් ලැබුණා. මේ දේවල් සියල්ල ලැබුණෙ මම විදුහලට කළ සේවය වෙනුවෙන්.

ඔබේ පෞද්ගලික ජීවිතය ගැනත් කතා කළොත්…

මම මගේ පවුලේ දෙවෙනි දරුවා. මට ඉන්නෙ දුවයි පුතයි. සැමියා ගුවන් හමුදාවේ සේවය කරන්නේ.

ඔබෙන් අවසාන වශයෙන් මං මෙහෙම අහන්නම් ගුරුවරු පිළිවෙළට, ලස්සනට පාසලට එන එක පාසලේ ළමයින්ට කොච්චර දුරකට බලපානවද?

වැඩිහිටියො වගේම ළමයිනුත් කැමතියි තමන් දිනපතාම දකින ගුරුවරු ලස්සනට දකින්න. ළමයින්ගෙන් පාසල ගිලිහෙන්නෙ නැති තැනක් කරන එක අපේ වගකීමක්. මං දැක්කා මං ගැන දාලා තිබුණ පෝස්ට් එකකට ගුරුවරියක්ම කමෙන්ට් කරලා තිබුණා අපි නම් ගුරුවරු විදිහට පාසලට ලිප්ස්ටික්, කියුටෙක්ස් ගාගෙන යන්නෑ කියලා.

මම නම් කියන්නෙ ලස්සනට ලිප්ස්ටික්, කියුටෙක්ස්, මේක්අප් දාගෙන ළමයි ඉස්සරහට යන්න. ළමයින්ට ලස්සන ලෝකයක් ඒ තුළින් පෙන්නන්න. එයාලගෙ පෞරුෂය ගොඩනැගෙන්න අපි ආකෘතියක් වෙන්න ඕනේ. අපි කැතට ඇඳ පැළඳගෙන ගිහින් ළමයෙක්ට කියන්න පුළුවන්ද පිළිවෙළට අඳින්න කියලා? බෑ. කොහොම වුණත් අපි ලස්සනට හරි කැතට හරි ගිහින් ළමයින්ට උගන්වන්න, ආදරය කරන්න,

ජීවිතය කියා දෙන්න තමයි ඕන. ඉතිං මම යෝජනා කරනවා ඒ ක්‍රියවලිය අපි ලස්සනට පිළිවෙලට කරමු කියලා. සමහරුන්ට තමන්ට පුංචි කාලෙ උගන්නපු ගුරුවරුන්ගේ විලවුන් සුවඳ පවා මතකෙ තියෙනවා. එහෙම කෙනෙක් වෙන්න හැමෝටම බෑ. ඒත් උත්සාහ කරන්න පුළුවන්.

එරංදි කෞශල්‍යා ✍️

TAGGED: ප්‍රින්සිපල් මැඩම්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?