නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අවුරුදු 18කින් නොදැක්කත් චාමර වීරසිංහ මට හැමදාමත් විශේෂ‍යි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

අවුරුදු 18කින් නොදැක්කත් චාමර වීරසිංහ මට හැමදාමත් විශේෂ‍යි

Published March 18, 2024

ආරාධනා ඒකනායක

හැඟීම් වචනවලට පෙරලුණාම හරි ලස්සනයි. ඒ වචන සින්දු වෙලා හදවතින්ම ගැයෙද්දි ඒ ගායකයා හදවතේ ගායකයෙක් වෙන්නෙත් නිරායාසයෙන්මයි. චාමර වීරසිංහ කියන්නෙත් ලංකාවේ රසිකයන්ගේ හදවතේ උඩින්ම ඉන්න ගායකයෙක්. චාමරව හදවතේ ගායකයා විදිහට රසික හදවත් තුළ ජීවමාන වෙන්න බලපෑ ඒ හැඟීම්බර වචනවල අයිතිකාරිණියයි අද අපේ කතා නායිකාව වෙන්නෙ. ඇය ආරාධනා ඒකනායක. “මං අද මෙතන ඉන්නෙ ඔයා ලියපු සින්දු නිසා” මීට අවුරුදු ගණනකට උඩදි ‘සිතින් විතරක් පෙම් කරන්නම්’ ගීතය හිට් වුණාට පස්සෙ චාමරගේ මුවින් නික්මුණු ඒ වචන තමයි ආරාධනාට තව තවත් පද ලියවෙන්න හයියක් වුණේ. මේ ඇය ඇගේ ඒ අතීතය අප හා බෙදාගත් අයුරුයි.

ආරාධනා කියන්නකො ඔයාගෙ විස්තර ටිකක්?

මම විවාහකයි. පුතෙක් ඉන්නවා. දැන් පදිංචිය කඩවත. මගේ ගම අනුරාධපුරේ කැකිරාව. අවුරුදු දහයක් විතර මං රේඩියෝ චැනල් එකක වැඩ කළා. දැන්නම් වෘත්තිය විදිහට කරන්නේ ගීත රචනය.

කොහොමද චාමර වීරසිංහගෙත් ඔබගෙත් හමුවීම සිද්ධ වුණේ?

ඇත්තටම මට චාමරව මුණගැහිලා මං චාමර වෙනුවෙන් සින්දු ලියල දීලා නැහැ. මං සින්දු ලියලා ‘රන්සිළු’ ආයතනයට දුන්නා. රන්සිළු ආයතනයෙන් තමයි ඒවා ගැළපෙන ගායකයන්ට දුන්නෙ. මං ලියපු ගීත ගොඩක්ම ගැළපුණේ චාමර වීරසිංහට. නැතුව මං චාමරටම දෙන්න ඕනි කියලා හිතාගෙන සින්දු ලිව්වෙ නෑ.

කොයි කාලෙදි වගේද සින්දු ලියන්න පටන් ගත්තේ?

මම ලියපු මුල්ම සින්දුව ‘මතකයන් ඔබේ සිතේ තබාගෙන’. ඒක ලියද්දි මගේ වයස අවුරුදු 19 ක් විතර ඇති. A/L කරලා ගෙදර ඉන්න කාලෙ තමයි ඔය පද මගේ අතින් ලියවුණේ. මතකයන් ඔබේ සින්දුව එක්ක තව සින්දු තුනක් මං ලියලා රන්සිළු ආයතනයට දුන්නා. ඒවයින් තුනක් තේරුණා. චාමරට ලියපු සින්දු හිට් වෙද්දි තමයි මට සින්දු ලියන්න තව තව ආසාව ඇති වුණේ.

මොනවද රන්සිළු ආයතනයට දුන්න ඒ සින්දු හතර?

සිතින් විතරක් පෙම් කරන්නම්, පෙම් සිත රිදුනා රත්තරනේ, මතකයන් ඔබේ සින්දු තුන තමයි තේරුණේ. තේරුණේ නැති සින්දුවනම් මොකද්ද කියල මතකත් නෑ.

ඊටපස්සෙ මොකද වුණේ?

මං ඒ සින්දු හතර ලිව්වට පස්සේ මාස හතරක් විතර යනකල් මුකුත් ලිව්වෙ නෑ. මගේ සින්දු හිට් වෙයි කියන බලාපොරොත්තුවක් තිබුණෙත් නෑ. මොකද ඒ කාලෙ හිට් ආටිස්ට්ලා හිටියේ ටික දෙනයි. කිංග්ස්ලි පීරිස්, චන්දන ලියනආරච්චි වගේ කාටහරි මං ලියපු සින්දු ලැබෙයි කියලා තමයි මං හිතුවෙ. නමුත් හිතුවේ නැති විදිහට ඒ අවුරුද්දේ අන්තිම වෙද්දි චාමර කියපු සිතින් විතරක් පෙම් කරන්නම් පුදුම විදිහට හිට් වුණා. මට තව තවත් ලියන්න අභිප්‍රේරණයක් වුණේ ඒ සින්දුව.

මේ වෙද්දි සින්දු කීයක් විතර ලියල තියෙනවද?

ඇත්තටම මමවත් දන්නේ නෑ මං සින්දු කීයක් ලියලා තියෙනවද කියලා. මොකද මං ඒවා ගණන් කරලා තියාගත්තේ නෑ. මටත් දැන් හරියට ගණන් කරගන්න ඕනේ මං සින්දු කොච්චරක් ලියල තියෙනවද කියලා. මං ලියපු සමහර සින්දු රන්සිළු එකෙන් කාටද දුන්නේ කියලවත් මං දන්නෙ නෑ.

මේ හේතු නිසා මං සින්දු කීයක් ලියල තියෙනවද කියලා කවුරුහරි අහද්දි මට දෙන්න උත්තරයක් නෑ. මුල්ම කාලේ ලියපු සින්දු හැටක විතර විස්තර ටිකනම් මං ලියාගත්තා. ඊටපස්සේ රැකියාවට කොළඹ ආවට පස්සේ මගේ අතින් ඒක මගහැරුණා. කොටින්ම මෑතකදි තමයි මං දැනගත්තේ මං ලියපු සින්දුවක් පුන්සිරි සොයිසත් කියල තියෙනව කියලා. මං ලියපු සමහර සින්දු මංවත් අහලා නෑ. මොකද ඒ කාලෙ දියුණු තාක්ෂණයක් තිබුණෙ නෑනේ.

ආරාධනා පද රචනයට යොමු වුණේ ඇයි?

මම ඇත්තටම සින්දු ලිව්වේ දිගටම ලියන්න බලාපොරොත්තුවෙන් නෙවෙයි. A/L කරලා කම්මැලිකමේ ගෙදර ඉද්දි තමයි නිකමට ලිව්වේ.

සිතින් විතරක් සින්දුවට බලපෑවේ මගේ පෞද්ගලික අත්දැකීමක් –

ආරාධනා ඒකනායක

‘සිතින් විතරක්’ වගේ ගීතයක් ලියවෙන්න විශේෂ හේතුවක් තිබුණද?

මම ඉතින් එතකොට අවුරුදු 19 ක ගෑනු ළමයෙක්නේ. ජීවත් වුණෙත් ගමක. ඉස්සර ගෑනු ළමයි දැන් කාලෙ ළමයි වගේ ෆෝවර්ඩ් නෑනේ. දැන් කාලේ නම් මුලින්ම ආදරේ ප්‍රකාශ කරන ගෑනු ළමයිනුත් ඉන්නවා. නමුත් ඉස්සර අපිට එක එක සීමා තිබුණා. ඉතින් ඔය සීමා එක්ක ඒකපාර්ශවීය ප්‍රේමයන් තමයි වැඩියෙන්ම තිබුණේ. ඉතින් මමත් හිතින් ආදරේ කරලා තියෙනවා. මේ සිංදුවට බලපෑවේ මගේ ඒ පෞද්ගලික අත්දැකීමක්.

අන්තිමට ලියල හිට් වුණ සින්දුව මොකක්ද?

සුපුන් පෙරේරාගේ ‘රන් මුදුවක්’ සිංදුව. චාමරට කෙරුණු සිංදුවලින් පස්සේ අවුරුදු ගාණක් මං සින්දු ලිව්වේ නෑ. ඒ අවුරුදු ගාණෙන් පස්සේ ලියපු සිංදු වලින් හිට් වුණේ අසංග ප්‍රියමන්ත කියන ‘ආදරෙයි මං ඔය හිතට තාමත්’, අතුල අධිකාරි කියන ‘හිත අස්සට හීන ගොඩක්’, සුරේන්ද්‍ර පෙරේරගේ ‘අනුරාගිනී’ වගේ ගීත.

චාමරට ලියපු සින්දු හිට් වෙද්දි ඔහු ඒ ගැන ආරාධනා එක්ක අදහස් හුවමාරු කරගෙන නැද්ද?

නෑ. ඇත්තම කතාව චාමරයි මායි දෙන්නම එකම විදිහේ දෙන්නෙක්. මගේ පුරුද්දක් තියෙනවා මම කරන වැඩෙන් එහාට ඒක පස්සෙන් පන්න පන්න යන්නෙ නෑ. මගේ සින්දු කියපු සමහර ගායකයන්ව මම ඇහැටවත් දැකලත් නෑ. ලක්ෂ්මන් හේවාවිතාරණ, අසංග ප්‍රියමන්ත පීරිස්, අතුල අධිකාරි වගේ අය ඒ අතරේ ඉන්නවා. මෙච්චර මං ලියපු සින්දු කියන චාමර වීරසිංහවත් මං අවුරුදු 18 කින් දැකල නෑ.

ආරාධනා ලියපු සින්දු ගායනා කරපු අයගෙන් වැඩියෙන්ම කැමති ගායකයා කවුද?

චාමරට විශේෂ කැමැත්තක් තියෙනවා. මොකද මං ලියපු පළවෙනිම සින්දුව කිව්වේ චාමර. ඒ නිසා මට සිතින් විතරක් සිංදුව එක්ක තියෙන්නේ වෙනම බැඳීමක්. මං ලියපු වෙන සින්දුවක් හොඳටම හිට් වුණත් සිතින් විතරක් සිංදුවට තියෙන ඒ බැඳීම නැතිවෙන්නෙ නෑ. ඒ නිසා මගේ සිංදු කියපු ගායකයින් අතරින් චාමර මට විශේෂයි. අතුල අධිකාරිටත් විශේෂ කැමැත්තක් තියෙනවා. මොකද මං ගොඩ කාලයක් සයිලන්ට් වෙලා ඉඳලා ලියපු ‘හිත අස්සට හීන ගොඩක්’ සින්දුවෙන් මං ආයේ කතාබහට ලක් වුණ නිසා.

චාමරටත් වඩා හයියෙන් ආරාධනා ලියපු සින්දු චාමරගේ ෆෑන්ස්ලා කියනව දකිද්දි ආරාධනාට ඇතිවෙන්නේ මොන වගේ හැඟීමක්ද?

එතකොට මට මතක් වෙන්නේ මම ඒ සින්දු ලියපු කාලය. මට එල්ල වුණ විවේචන. කම්මැලිකමට ඔහේ කුරුටු ගාපු වචන ටිකක් චාමර එක්ක ලොකු ගායක පිරිසක් අද ගායන කරනකොට මට සතුටුයි. එදා විතරක් නෙවෙයි අදටත් විවේචන ලැබෙනවා. නමුත් මං ඒවා ගණන් ගන්නේ නෑ.

ආරධනා චාමරට ලියූ හිට්ම සින්දු

  • සිතින් විතරක් පෙම් කරන්නම්
  • කුමුදුලියේ
  • මතකයන් ඔබේ
  • සමාවෙලා හදාගන්න මට මගේ හිත
  • ලෙංගතුකම නිතග තියා
  • හිමි සඳු අහිමිව
  • එක දවසක් මට ඉස්සර වාගේ

එරංදි කෞශල්‍යා ✍️

 

TAGGED: singer, ආරාධනා ඒකනායක, චාමර වීරසිංහ
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?