පොසොන් පුර පසළොස්වක පොහොය දින මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීමත් සමගම බුදුදහම අපේ රටේ ස්ථාපිත වුණා. ඒ වනවිට ගස්, ගල්, යක්ෂ වන්දනාවන්හි නිරත වැසියන් බුදුදහමේ ආභාෂය සමග ගමයි…. පන්සලයි… වැවයි… දාගැබයි යන සංකල්පය මත පිහිටා කටයුතු කිරීම ආරම්භ වුණා. ඒ වගේම ඒ වනවිටත් වෘක්ෂ වන්දනාවේ යෙදුන ලංකාවාසීන්ගේ ඇදහිලි සහ විශ්වාසයන් මිහිඳු මහ රහතන් වහන්සේ නිර්දය ලෙස ප්‍රතික්ෂේප කළාම නොවේ. ඒ වෙනුවට උන්වහන්සේ බුදුරජාණන්වහන්සේට බුදුවීමට පිටදී උපකාරී වූ ජයසිරිමහ බෝධි ශාඛාවක් අපේ රටට වැඩම කිරීමට තීරණය කළා.
මේ වෙනුවෙන් මිහිඳු මහ රහතන් වහන්සේ සිය නැගණිය වූ සංඝමිත්තා තෙරණින් වහන්සේ සමග ශ්‍රි මහ බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාවක් අපේ රටට වැඩම කළා. ඒ උඳුවප් පුර පසළොස්වක පොහොය දිනකයි.
වෘක්ෂ වන්දනාව…
ප්‍රාග් බෞද්ධ යුගයේ පටන් වෘක්ෂ වන්දනාව පැවැති බව ජේ. එච් පිල්ටර් මහත්මියගේ පර්යේෂණ වාර්තාවක සඳහන් වෙනවා. බැබිලෝනියාව (ඉරාකය ) මෙසපොතේමියානු (ඉරානය ) සහ දඹදිව ඇතුළු ආසියානු ශිෂ්ටාචාරයන්හිත් වෘක්ෂ වන්දනාව පැවැති බවට ඉතිහාසගත වාර්තාවන් තිබෙනවා. මෙම වෘක්ෂයන්ට අධිපතිත්වය දරණ දේවතාවන් ඇති බවත් ඔවුන් තුටු සතුටු කිරීමෙන් අපේ ජීවිත ආලෝකමත් වන බවටත් වූ විශ්වාසයන් මත පදනම් වූ ජනතාව වෘක්ෂ වන්දනාව වෙනුවෙන් දැඩි භක්තියක් දක්වා තිබෙනවා.
අටවිසි බුදුවරුන් බුද්ධත්වය ලබා ගැනීමේදී විවිධ වෘක්ෂ තෝරා ගෙන තිබෙනවා. ගෞතම බුදුරජාණන්වහන්සේ බුද්ධත්වය ලබා ගැනීම වෙනුවෙන් ඇසතු බෝ රුක තෝරා ගැනීමටත් හේතුවක් තිබෙනවා. මේ අවධිය වෙත්ම දඹදිව වැසියන් පුද පූජාවන් වෙනුවෙන් ඇසතු බෝ රුක තෝරා ගෙන සිටි අතර වෘක්ෂ වන්දනාවෙන් සියළු පාපයන් නිවාරණය වෙන බැව් හින්දු බැතිමතුන් තුළ විශ්වාසයක් තිබුණා.
ගෞතම බුදුරජාණන්වහන්සේගේ බුද්ධත්වය සමග ඇසතු බෝධින් වහන්සේ පූජණීයත්වට පත් වුණ අතර බුදුරජාණන්වහන්සේ පළමු සතිය පුරා එම පර්යංකයෙන්ම බෝධි මූලයේ ගත කළහ. දෙවැනි සතියේදී බෝධින් වහන්සේට කෘතගුණ දක්වනු වස් සතියක් ඇසිපිය නොහෙලා ( අනිමිසලෝචනයෙන් ) උපහාර දැක්වූහ.
බුදුරජාණන්වහන්සේ නොමැති අවස්ථාවලදී ජේතවනාරාමයට පැමිණෙන බැතිමතුන්ට වන්දනාමාන කිරීම පිණිස ආනන්ද බෝධි රෝපණය සමග බෝධි සංකල්පය තව දුරටත් බුදුසසුනේ ස්ථාපිත වුණා.ශ්‍රි මහ බෝධි අංකුරය අනුරාධපුරයේ මහමෙව්නා උයනේ රෝපණය කිරීමත් සමග පළමුවන බෝධි පූජාව දෙවැනි පෑ තිස් රජතුමා විසින් පැවැත්වූ බැව් මහාවංහයේ සඳහන් වෙනවා. මෙය “ බෝධි සිනාත පූජාව ” නමින් හඳුන්වා තිබෙනවා. එයින් පසු කාලයේදී දුටුගැමුණු රජතුමා සහ වෙනත් රජවරු විසින් බෝධි පූජා පවත්වා තිබෙනවා. ඇතැම් නියං කාලයන්හිදී වැසි ලබා ගැනීම වෙනුවෙන් බෝධි පූජා පවත්වා රටට සෙත් ලබා ගත් බවටත් වාර්තාවන් තිබෙනවා.
බෝධි පූජාවක් කරන්නේ කෙසේද…?
අපි මේ උතුම් පූජාව පවත්වන්නේ බුදුරජාණන්වහන්සේට බුදුවීමට පිට දී උපකාර වුණ බෝධියට බැව් සිහි තබා ගත යුතුයි. ඒ නිසා තෙල්, මල්, පහන්, සුවඳ දුම්, ගිලන්පස, දැහැත් ආදීය fරැගන යෑම වැදගත්.බෝධි පූජාවට යන විට ඔබ කායික ලෙසින් මෙන්ම මානසිකවත් පිරිසිදුව සහභාගීවීම වැදගත්. පිරිසිදු සහ සුදුසු ඇඳුමකින් සැරසී යන ඔබ මුලින්ම මළුව ඇමද පිරිසිදු කරන්න. බෝධි ප්‍රාකාරය, මල් ආසන සියල්ල හොඳින් පිරිසිදු කරන්න. මුලින්ම ඔබ තෙරුවන් සරණ ගොස් එයින් අනතුරුව බෝධින් වහන්සේ වෙනුවෙන් පහන් දල්වන්න. මල් පූජා කරන්න. සුවඳ දුම්, ගිලන්පස ආදි පූජාවන් ගාථා ගායනා කරමින් සිදු කරන්න.
එතැනින් පසුව තුන් සුත්‍රය ගායනා කරන්න. දෙවියන් කරණීය මෙත්ත සුත්‍රය ඇසීමට බෙහෙවින් ප්‍රිය කරනවා. පිරිත් සජ්ජායනාවෙන් පසු විනාඩි කීපයක් භාවනාව වඩන්න. දැන් ඔබ විසින් තැන්පත් කරන ලද පැන් කළය දොහොත් මුදුනින් ගෙන බෝධි වන්දනා ගාථා කරමින් දක්ෂිණාවෘතව තුන්වරක් පැදකුණු කර ගාථා ගායනා කරමින් පැන් දෝවනය කරන්න.
බෝධි පූජාවකින් පසුව දෙවියන්ට පිං පෙත් අනුමෝදන් කිරීම සිදු වෙනවා. මෙම පූජණීය වෘක්ෂයට අධිගෘහිත සම්‍ය දෘෂ්ටික දෙවිවරුන් සිටිනවා. උන්වහන්සේලා මිනිසුන් වෙතින් පිං අපේක්ෂාවෙන් සිටිනවා. සද් ක්‍රියා කරන පුද්ගලයන් වෙත දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාදය ලැබෙනවා. ඒ නිසා බෝධි පූජාවකින් පසුව දෙවියන් වෙනුවෙන් පිං අනුමෝදන් කිරීම මගින් තමන් වෙත ආශිර්වාදය ලබා ගත හැකියි.
බෝධි පූජාවක් කිරීමේදී ඔබේ අරමුණ…
අද බොහෝ දෙනෙක් බෝධි පූජාවන් සිදු කරන්නේ තමන්ගේ අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් බැව් අපට බෝධින් වහන්සේ නමක් වෙත ගිය විට පෙනී යනවා. පුතුගෙ අපල දුරු වේවා… විභාගය සමත් වේවා… ලෙඩ දුක් සුව වේවා… මේ වගේ වැකි ලියන ලද කොඩි වැල් බෝධින් වහන්සේ මත එල්ලා තබන අන්දම අපි දකිනවා. ඒ වගේම බෝධින් වහ්නසේගේ පඬුරු එල්ලා තැබීම නිසා අතිශය අශෝභනත්වයක් ඇති වෙනවා. බෝධින් වහන්සේ අසලම කිරි අහර තබා පූජා කිරීම නිසා කපුටන් වැනි කුරුල්ලන් විත් ඒවා ආාහරයට ගැනීමෙන් ඇති වෙන අපිරිසිදුබව ගැන අපි සැලකිල්ලක් දැක්වීම වැදගත්.බෝධි පූජාවකින් ඔබට මානසිකව යම් සුවතාවයක් ලැබෙනවා. ඒ වගේම ආත්ම විශ්වාසය ගොඩනැගෙනවා. එය සත්‍යයි. නමුත් විභාගයකට සූදානම් නොවීමෙන් ජයග්‍රහනයක් ලබන්න බැහැ. අසනීපයකට නිසි වෙද හෙදකම් නොමැතිව සුවය ලබන්න බැහැ.
ඒ වගේම කිරි වගේම පැන්වලින් වුණත් බෝධින් වහන්සේ අසීමිතව නෑවීම නිසාත් බෝධින් වහන්සේ රෝගී තත්ත්වයට පත් වීමට පුළුවන්. සමහර විට අපවත් වීමට තරම් දරුණු වෙන්නත් ඉඩ තිබෙනවා. ඒ නිසා අද බොහෝ පූජණීය ස්ථානයන්හි බෝධින්වහන්සේ පාමුලට නොවැටෙන සේ පැන් ගලා යන පරිදි සකස් කර තිබෙනවා. එය ඉතාම සුදුසු කටයුත්තක් බැව් කිව යුතුයි. මෙතැනදී කැපී පෙනෙන්නේ අප තුළ පවතින අමූලික ශ්‍රද්ධාවයි. බෝධින් වහන්සේ පා මුල අපේ පූජාවන් තැබූ පමණින්ම අරමුණු ඉෂ්ට සිද්ධ වෙන්නේ නැහැ. එයින් සිදු වන්නේ බෝධින්වහන්සේ අවට පරිසරය අපිරිසිදු කිරීම නිසා වූ අකුසලයක් විය හැක.
කිවියර, ගීත රචක-ශාස්ත්‍රපති පූජ්‍ය
මහගම සීලානන්ද ස්වාමින්වහන්සේ
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️
මිහිදු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකිකයන්ට දායාද කළ උත්තම බෝධි වන්දනාව

Leave a comment