කරවිල ගුණ වුණත් සමහර විට ඔබ ආහාරයට ගන්න අකමැති ඇති. ආහාරයට ගත්තත් ඒ ප්‍රියමනාපයකින් නොවන්නත් ඇති. මේ කරවිලවලට අපුරු මුහුණුවරක් දුන් කාන්තාවක්. දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි ඇය ආර්. ඒ ක්‍රිශාන්ති ලක්මාලි. අපේ අම්මා දියවැඩියා රෝගය නිසා අකාලයේම ජීවිතයෙන් සමු ගත්තා. දියවැඩියාව පරම්පරාවෙන් උරුමවන බව ඇත්ත. නමුත් අපේ අත්තම්මාට දියවැඩියාව තිබුණේ නැහැ. ඒ වගේම ඇය නිතරම කරවිල ආහාරයට ගත්තා. කරවිල කියන්නේ දියවැඩියාවට බොහොම ගුණදායක එළවළුවක්. ඒ වගේම රෝග රාශියකට ගුණ ලබා දෙන ඖෂධයක් කියල අපි දන්නවා.
දියවැඩියාව හැදුණොත් සුව කර ගැනීම ගැන හිතන්න බැහැ. නමුත් මේ රෝග තත්ත්වයෙන් ආරක්ෂා වෙන්න අපට හැකියාවක් තිබෙනවා. විශේෂයෙන් ආහාර ගැන උනන්දු වීම වැදගත්. අද පාසල් යන වයසේ දරුවන් පවා දියවැඩියා රෝගයෙන් පසු වෙනවා.කොච්චර ගුණ ගායනා කිව්වත් කරවිලවල තිබෙන තිත්ත රසය නිසා එය ආාහරයට ගැනීමට එතරම් කැමැත්තක් නැහැ. ඒ නිසා මම කරවිලවලින් සොසේජස් හදන්න හිතුවා. එය විශේෂයෙන්ම වැඩිහිටියන් ඉලක්ක කර ගෙන නම් නොවෙයි. කරවිල එපා කියල අම්මලත් එක්ක රණ්ඩු කරන පුංචි දරුවන් වෙනුවෙන් කිව්වොත් නිවරැදියි.
මුලින්ම ටොෆියක් හැදුවා…
මම මුලින්ම කරවිලවලින් ටොෆියක් හැදුවා. නමුත් ඒක සාර්ථක වුණේ නැහැ. කරවිල කිලෝ 50 ක් විතර අපතේ ගියා. ඒත් මම වැටුණේ නැහැ. ආයෙමත් උත්සහ ගත්තා. ඒ වෙලාවේ මට හිතුණා කරවිල සොසේජස් එකක් හදන්න.
තිත්ත රසය අයින් කරන්නේ කොහොමද…?
සොසේජස් එකක් හැදුවත් තිත්ත රසය නිසා ඒකට ඉල්ලුමක් ඇති වෙන්නේ නැහැ. හැබැයි තිත්ත රසය ඉවත් කළොත් ගුණය නැහැ. මේ දෙකම තුලනය කර ගන්නේ කොහොමද කියල මං රෑ දවල් නැතුව හිතුවා. අන්තිමේදී මට තිත්ත රසය සම්පූර්ණයෙන්ම නොවෙයි, සාමාන්‍යයෙන් සමනය වෙන තත්ත්වයක් ගොඩ නගා ගන්න පුළුවන් වුණා.

එතැනින් පසුව…
තිත්ත රසය අඩු වුණත් දැන් රසයක් නැහැ. ඒ ගැනත් හිතන්න වුණා. අන්තිමේදී කොහොම හරි රසයත් එකතු කර ගත්තා. දැන් කරවිල සොසේජස් එක බදින තත්ත්වයට පත් කර ගන්න ඕන. බදින විට තාච්චියේ ඇලෙනවා. කැඩී ඉහිරෙන විදිහට තිබුනොත් බදින්න බැහැ. ඒ තත්ත්වයත් මගේම උත්සාහයෙන් සහ අත්හදා බැලීම්වලින් සාර්ථක වුණා.
දැන් අලෙවි කර ගන්නත් ඕන. අලුත් දෙයක් නිසා වෙළඳපොළක් හොයා ගැනීම පහසු නැහැ. ඒ නිසා මම අසල්වැසි ගෙවල්වලට නිකං දුන්නා. රහද බලලා කියන්න කිව්වා. හැමෝම රසයි කිව්වාම මට ලොකු ශක්තියක් ඇති වුණා. එතැනින් පසුව වෙළඳපොළවල්වලටත් නිෂ්පාදන ලබා දෙන්න හිතුවා.

වෙළඳ සන්නාමයකුත් හැදුවා…
ඔව්. මගේ ජීවිතයේ ලොකුම ශක්තිය සහ ආශිර්වාදය මගේ සැමියයි, දරුවෝ දෙන්නයි. ඒ අයගේ නම්වල මුල් අකුරු එකතුවෙන් K.N.T සන්නාමය ගොඩ නගා ගත්තා. මේ නිෂ්පාදනය වෙළඳපොළට හඳුන්වා දීම බොහොම කෙටි කාලයකින් සිද්ධ වුණේ.මුලින්ම සිල්ලර අලෙවිසැල් ඉලක්ක කර ගත්තා. එතැනින් පසුව තොග වෙළඳසැල් ගැනත් මම හිතුවා. මුලින්ම තොග ආයතනවලටත් සොසේජස් මුදල් නැතුව ලබා දුන්නා. මේක කාලා බලලා හොඳයි නම් කියන්න කිව්වා. ඒ අය මේ සොසේජස් ආහාරයට අරගෙන ඒ සැනින් මට ප්‍රතිචාර දක්වන්න පටන් ගත්තා. මම තොග වෙළඳපොළට සමීප වුණේ ඒ විදිහටයි. දැන් මගේ නිෂ්පාදන මහියංගනය, දෙහිඅත්තකණ්ඩිය සහ පොළොන්නරුව ප්‍රදේශවලදී මිළට ගන්න පුළුවන්.
කල් තබා ගැනීමේ ගැටළු…
සාමාන්‍යයෙන් සොසේජස් අධි ශිීතකරණයක තබා ගන්න ඕන. මම වෙළඳපොළට නිකුත් කරන සොසේජස් පැකට් එකක් දින 30 ක් තබා ගන්න පුළුවන්. ඇසුරුමක සොසේජස් 7 ක් වගේ අසුරනවා. ඒක සතියකට වගේ සෑහෙන නිසා ලොකු ගැටළුවක් නැහැ. එක සොසේජස් කරලක අධික කරවිල මාත්‍රාවක් තිබෙනවා.
ඊටත් ගැබිණි මව්වරුන්ට වගේම උග්‍ර දියවැඩියාව තත්ත්වයට ඖෂධ බොන අයට නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්. ඖෂධවලිනුත් සීනි මට්ටම අඩු වෙනවා. කරවිලවලිනුත් සීනි මට්ටම අඩු වෙනවා. ශරීරයේ සීනි මට්ටම පමණට වඩා අඩුවීමත් අවදානම්. ඒ නිසා දියවැඩියාව තිබෙනවා නම් ඒ ගැනත් සිතන්න වෙනවා.ඒ වගේම කරවිල සෝසේජස් ආාහරයට ගත්තාටම සීනි පාලනය කර ගන්න බැහැ. මම ඒ ගැන විශේෂයෙන්ම කියනවා. දවසකට පැය බාගයක්වත් ව්‍යායාම කරන්න ඕන.
අමුද්‍රව්‍ය සොයා ගැනීම…
මට කරවිල සපයන පිරිසක් සිටිනවා. ඒ නිසා ගැටළුවක් නැහැ. අනෙකුත් එළවළුවලට සාපේක්ෂව කරවිල මිළ ඉහළ එළවළුවක්. ඒ වගේම ඉක්මනින් තැලෙන්න, කුණුවෙන්නත් හැකියාව තිබෙනවා. ඒ නිසා පරිස්සමෙන් තබා ගන්නත් වෙනවා.මේ නිෂ්පාදනයට අමතරව මම බිම්මල් සහ පොළොස් සොසේජස් එකක් හඳුන්වා දී තිබෙනවා. කාන්තාවක් විදිහට නිවසට වී නිකරුනේ කාලය ගෙවන්න මම කැමති නැහැ. මොන දෙයක් කළත් මම ඒ දෙයින් අර්ථවත් යමක් උපයා ගන්නවා. යූ ටියුබ් බැලුවත් එතැනින් යමක් ඉගෙන ගන්නවා. අපි කාටවත් කළ නොහැකි යැයි දෙයක් නැහැ.
ඔබ වරක් අසාර්ථක වෙන්න පුළුවන්. නමුත් එතැනින් ඔබ සාර්ථක වෙන්න යමක් ඉගෙන ගන්නවා. කරවිල ටොෆිය අසාර්ථක වුණා. එතැනින් නැවතුණා නම් අද K.N.T කරවිල සොසේජස් එකක් නැහැ. ඒ නිසා අසාර්ථක වීම් පන්නරය කර ගෙන ඉදිරියට යන්න. කිසිම දිනක වරදින්නේ නැහැ. සහතිකයි.
මම මේ වෙනුවෙන් රජයේ උදව් ඉල්ලා තිබෙනවා. නමුත් අද වෙන තෙක් කිසිම අවධානයක් නම් ලැබුණේ නැහැ. ඒ වුණත් මගේ ගමන ආපසු හැරුනේ නැහැ. ආධාර උපකාර නැහැ කියලා පසුතැවුණෙත් නැහැ. මට අසල්වැසි අක්කලා, නංගිලා වගේම මගේ සැමියා විශාල ශක්තියක් ලබා දෙනවා. ඒ හයියෙන් මම ඉදිරියට යනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️