පුරාතන යුගයේ සිටම මිනිසුන් විසින් ජීවත්වීම උදෙසා නිවාස ඉදිකර ගන්නා ලදි. එම යුගවල ඉදිකළ නිවාසවල අත්තිවාරම සහ බිත්ති ඉදිකිරීමට ප්‍රථමව වහලය නිර්මාණය විය. එය සිදු වන්නේ මානව පරිණාමයත් සමඟ හෝමෝ ඉරෙක්ටස් මානවයා විසින් ගින්දර සොයා ගැනීමත් සමඟය.
එකළ මිනිසුන් ගිනි දැල්වූ එම ගිනි මැල නොතෙමී තබා ගැනීම උදෙසා ගිනි මැලයට ඉහළින් සභාවික සෙවිලි ද්‍රව්‍ය යොදා ගනිමින් ඉදිකල වහලයත් සමඟ නිවාස නිර්මාණය යන සංකල්පය ලොවට බිහිවිය. පසුව ක්‍රමයෙන් දියුණු වෙමින් පැමැණි නිවාස තුළ ප්‍රධානම ගෘහ අංගයක් ලෙස මුළුතැන්ගෙය නිර්මාණය වූ අතර අතීතයේදී මෙය නිවසින් පිටත නිර්මාණය වුවද කල්යත්ම පහසුව හා කාර්ය බහුලත්වය නිසා මෙම මුළුතැන්ගෙය නිවසත් සමඟ එකම අත්තිවාරම මත නිර්මාණය විය. තවද නිවසක පිරිසිදුවම තිබිය යුතු ගෘහ අංගයක් වන මුළුතැන්ගෙය වාස්තු විද්‍යාත්මක කරුණු හා සිද්දාන්තමත සැලසුම් කල යුතුය.
නිවසක මුළුතැන්ගෙය තිබිය යුතු සුදුසුම දිශාව වනුයේ ගිනිකොණ දිශාව වන අතර විකල්පයක් වශයෙන් දෙවනුවට වයඹ දිශාව මේ සඳහා යොදා ගැනීම ඉතාම සුදුසුය. නමුත් මේ සඳහා උතුර, ඊසාන සහ නිරිත දිශාවන් ගැනීම නුසුදුසුය.සාමාන්‍යයෙන් නිවසක මුළුතැන්ගෙය ගිනිකොණ දිශාව තුළ සැලසුම් කර ගැනීමේ හැකියාව ඇත්නම් එය ඉතාම සුදුසුය. මෙහිදී ගිනිකොණ දිශාවේ මුළුතැන්ගෙය ඇතිවිට පහසුවෙන්ම නැගෙනහිර දිශාවට ජනේලයක් සැලසුම් කර ගැනීමේ හැකියාව පවතින අතර එමඟින් උදෑසන පායන හිරු කිරණ ප්‍රථමව මුළුතැන්ගෙය තුලින් නිවසට ලබා ගත හැකිය. වාස්තු ශාස්ත්‍රය තුල මු`ඵතැන්ගෙට පළමු හිරු කිරණ ලැබීම සුබ කරුණක් ලෙස සලකයි.
තවද හිරු එනම් සූර්යා පදනම් කර ගනිමින් උදාවන සූර්ය මංගල්‍යය හෙවත් අලුත් අවුරුදු සිරිත්වල අලුත් අවුරුදු උදාවෙන් පසුව සිදු කරනු ලබන්නේ ලිප ගිනි මෙලවීමේ නැකත හා ඉන්පසු වැඩ අල්ලා ගණුදෙනු කර පසුව ආහාර අනුභව කිරීමේ නැකත්ය. මෙම කාරණාව සිදු වන්නේ හිරුගේ ගින්දරත් ලිපේ ගින්දරත් කුසේ ගින්දරත් යන කාරණා තුනම එකතු වීමෙන්ය. මෙහිදී ද මූලික වන්නේ මුළුතැන්ගෙය හා ඒ තුල ඇති ප්‍රධානම අංගය වන ලිප මූලික කරගෙනය.
වසරකට පසුව උදාවන සුවිශේෂි අවස්ථාවක් වන සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීම පදනම් කර ගනිමින් ගෘහණියන් ලිප ගිනි මලවීමේ චාරිත්‍රය වෙනුවෙන් අලුත් අවුරුදු උදාවට පෙර සිටම ඉතා උනන්දුවෙන් ඒ වෙනුවෙන් සූදානම් වෙයි.මෙහිදී මුළුතැන්ගෙය පිරිසිදු කිරීමත් දර කුස්සියක් ඇත්නම් ගොම, මැටි ආලේප කර ලිප අලුත් කිරීම හෝ අලුත් ලිපක් ඒ සඳහා යොදා ගැනීම සාමාන්‍ය සිරිතය. ඉන්පසු අලුත් අවුරුදු උදාවෙන් පසුව ලිප ගිනි මෙලවීමේදී අලුතින් සකස් කරගත් ලිපට අලුතින් පලාගත් දර කැබලි යොදා අදාල වසරට ගැළපෙන වර්ණ සහිත වස්ත්රයන්ගෙන් සැරසි සහ එම වසරට හා දිනයට ගැලපෙන දිශාව බලා නියමිත වේලාවේ ලිප ගිනි මෙලවීම සිදු කරනු ලබයි.
තවද මේ සඳහා අදාල වන මුං, තල වැනි ධාන්‍ය වර්ගයක්ද යොදා ආහාර පිසීමද සිදු කරනු ලබන අතර මෙම ලිප ගිනි මෙලවීමේ චාරිත්‍රය වෙනුවෙන් පරණ දිරාගිය දර යොදා ගැනීම නොකළ යුතුය. මෙහිදී අදාල වසර අනුව ලබාදෙන වස්ත්‍රයන්ගේ වර්ණයන් සහ දිශාවන් මඟින් මෙම චාරිත්‍රයේ සාර්ථකත්වය තව තවත් වර්ධනය වීම සිදු වේ.
පෙර සඳහන් කළ පරිදි පුරාතන මානවයා ගින්දර සොයා ගැනීම මානව පරිණාමයේ විශේෂ සොයා ගැනීමක් විය. පසුව නිවාස නිර්මාණයද එම නිසාම ලොවට බිහි විය. පසුව එම ගින්දරම යොදාගනිමින් ලිප ගිනි මෙලවීමේ චාරිත්‍රය ආරම්භ වූ අතර එය සුබ වේලාවකට සිදු කිරීම මඟින් නිවසකටද සෞභාග්‍ය හා වාසනාව ළඟා කරගත හැකිය.
එමෙන්ම වාස්තු ශාස්ත්‍රය ලොවට බිහි වූ පසු එයත් සමඟ විවිධ සිරිත් විරිත් ද ලොවට දායාද විය.කිරි ඉතිරවීම වැනි චාරිත්‍රද එලෙස දායද වූ තවත් එක් චාරිත්රයකි. සෑම මංගල කාර්යයක්ම කිරි උතතුරවා ආරම්භ කිරීම සුදුසු යැයි පිළිගැනීම පුරාතන යුගයේ සිට අද දක්වාම පවතින දෙයකි. අලුත් අවුරුදු උදාව, නව නිවසකට ගෙවැදීම වැනි කටයුතුවලදි මෙන්ම නව ව්‍යාපාරයක් ආරම්භ කිරීම වැනි සුබ කටයුතුවලදි කිරි ඉතිරවීම එයින් සාර්ථකත්වයට හා සශ්‍රිකත්වය ලැබීමට මහඟු පිටිවහලකි. ඇතැම් ප්‍රදේශවල අනුව මේ සඳහා පොල් කිරි හෝ එළකිරි ඉතිරවීම සිදු කරනු ලබයි. මෙය ඒ ඒ පුද්ගල රුචිකත්වය අනුව සිදු කරයි. කෙසේ වෙතත් සුබ කටයුත්තක් කිරීමේදී කිරි උතුරවා එය ආරම්භ කිරීම ඉතාම සුදුසුය.
මීට අමතරව සාමාන්‍ය පරිදි නිවසක ලිප සැසුම් කිරීමේදී ලිප ගිනිකොණ දිශාවේ නම් නැගෙනහිර දිශාව බලා ආහාර පිසිම සුදුසු වන අතර ලිප වයඹ දිශාවේ ඇති අවස්ථාවක උතුරු දිශාව බලා ආහාර පිසීම වඩාත් සුදුසුය. එමෙන්ම වර්තමානයේ ඉතා කාර්ය බහුල ජීවිත ගත කරන බොහෝදෙනා තම නිවස තුල ආහාර පිසීමට තරමක් අකමැති වුවද දිනකට එක් වරක් හෝ ලිප දල්වා කෙටි ආහාර වේලක් හෝ පිස ගැනීම නිවසක මුළුතැන්ගෙය හා නිවස සක්‍රීය කර ගැනීමක් හා සමානය.
මේ අයුරින් ගත්විට නිවසක මුළුතැන්ගෙය හා ලිප යනු නිවසක් සක්‍රිය කර ගැනීමට බලපානු ලබන ප්‍රධානම ගෘහ අංගයක් හා අයිතමයක් වේ. නිවසක සුබ වේලාවක ලිප ගිනි මෙලවීම, කිරි ඉතිරවීම වැනි චාරිත්‍ර මඟින් එම සක්‍රියතාවය තව තවත් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන අතර නිවසක සෞභාග්‍ය වර්ධනය වීමටද එය මනා පිටිවහලක් වේ.
වාස්තුවිද්‍යා විශාරද
නිවාස සැලසුම් ශිල්පී
සමස්ත ලංකා ශාස්ත්‍රානුකූල වාස්තු
වේදීන්ගේ සංගමයේ
මාධ්‍ය ලේකම්
අරෝෂ ජයවර්ධන
ආලෝකා Homes, මිනුවන්ගොඩ
(Aloka Homes vasthu FB Page)
අර්චිත ඉඳුවර ✍️