21 වන සියවස ආරම්භ වූ දා පටන් ලෝකයේ අස්සක් මුල්ලක් නෑරම ජීවත් වන මිනිසුන් පරිගණකය, Smart දුරකථන වැනි ඩිජිටල් උපකරණ භාවිතයට පෙළඹීමත් සමඟ පරිගණක සාක්ෂරතාවය ද අද වනවිට ඉහළ ගොස් තිබෙනවා. මේ ඩිජිටල්කරණය අපේ එදිනෙදා වැඩකටයුතු පහසුවෙන් ක්‍රමවත්ව කාර්යක්ෂමව කර ගැනීමට සහාය වෙද්දි එහි අඳුරු පැතිකඩක් තුළ සැඟවී තමන්ට වාසි සලසා ගැනීමේ අරමුණින් අපරාධකරුවන් පිරිසක් මේ වන විට බිහි වී තිබෙනවා. ඒ තමයි පරිගණක අපරාධකරුවන්. අනවසරයෙන් පරිගණකවලට ඇතුළුවීම, අනවසරයෙන් වෙබ් අඩවිවලට ඇතුළුවීම, පෞද්ගලික දත්ත හා බුද්ධිමය දේපල සොරා ගැනීම, පුද්ගල චරිත විනාශ කිරීමේ අරමුණින් අසභ්‍ය හා කාමුක දර්ශන පළ කිරීම වැනි සෘජුව පරිගණකය මුල් කරගෙන සිදු කරන අපරාධයන් පිළිබඳව අපට නිතර අසන්නට ලැබෙනවා. ඒ වගේම තමයි පළිගැනිම්, බිය වැද්දීම්, කප්පම් ගැනීම් වැනි අපරාධ සඳහා පරිගණකය සහ අන්තර්ජාලය ආයුධයක් ලෙස යොදා ගන්නා අවස්ථා අද වනවිට අපට වැඩි වශයෙන් දක්නට පුළුවන්. මේ අනුව පෙනි යන්නේ අද වනවිට පරිගණකය වුවත්, ස්මාර්ට් දුරකථනය වුවත් මේ ඩිජිටල් අවකාශය අපරාධකරුවන්ට කදිම තෝතැන්නක් වී ඇති බවයි. ඒ අනුව මේ තාක්ෂණය හා සම්බන්ධ අපරාධ බිහිවීම මත රජයට එම අපරාධ වැළැක්වීම සඳහා නව නීතින් හඳුන්වා දීමට සිදු වුණා.
මොකක්ද මේ පරිගණක අපරාධ (Computer Crime) සහ සයිබර් අපරාධ (Computer Crime) කියන්නේ ?
පරිගණකයක්, පරිගණකයකට සම්බන්ධ වෙනත් උපාංගයක් හෝ එසේත් නැතිනම් පරිගණක ජාල උපයෝගි කරගෙන සිදු කරන නීති විරෝධි ක්‍රියාකාරකමක් පරිගණක අපරාධ (Computer Crime) ලෙස හඳුන්වන්න පුළුවන්. පරිගණක අපරාධයක් සිදු කිරීමේ ඒ අපරාධය සිදු කොට ඇත්තේ අන්තර්ජාලය හා සම්බන්ධ වෙලා නම් එවැනි අපරාධ සයිබර් අපරාධ (Cyber Crime) ලෙස හඳුන්වන්න පුළුවන්.
ඒ අනුව පරිගණක අපරාධ (Computer Crime) නමැති විශාල කුලකයේ උප කුලකයක් තමයි සයිබර් අපරාධ (Cyber Críme) කියන්නේ රට පුරාම ආන්දෝලනයට ලක් වුණු සිදුවීමක් වුණ ගල්කිස්සේ 15 හැවිරිදි දැරියව ලිංගික කටයුතු සඳහා යොදවා ගැනීමට ඒ අදාල දැන්වීම පල කිරීම සඳහා අපරාධකරුවන් විසින් භාවිත කරේ මේ සයිබර් අවකාශය. සයිබර් හිංසනය සියලු දෙනාට පොදු නමුත් වැඩිපුරම සයිබර් අපරාධවලට ගොදුරු වන්නේ ළමයින් සහ කාන්තාවන්.
පරිගණක අපරාධ සම්බන්ධයෙන් ලංකාවේ තියෙන නීතිමය පැතිකඩ කුමක් ද?
පරිගණක අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හඳුන්වා දුන් ප්‍රධානම නීතිය වන්නේ, 2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනතයි.ඊට අමතරව,
දණ්ඩ නීති සංග්‍රහය
2024 අංක 9 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත
2022 අංක 9 දරණ පුද්ගලික දත්ත ආරක්ෂණ පනත
2024 අංක 37 දරණ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත
විද්‍යුත් ගනුදෙනු පනත
මෙම පනත හඳුන්වා දීමේ මුලික අරමුණ වී ඇත්තේ කුමක් ද ?
මෙම පනත හඳුන්වා දීමේ මුලික අරමුණ වුණේ පරිගණක අපරාධ හඳුනා ගැනීම, එම අපරාධ විමර්ශනය කිරිම හා එවැනි අපරාධ වැළැක්වීම යන අරමුණු වේ.
පරිගණක අපරාධ ගණයට අයත් වන වැරදි මොනවාද ?
2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනතේ පලවන කොටස තුළ සුවිශේෂි පරිගණක අපරාධ වර්ග ඇතුළත් වෙනවා. අප රටේ අනෙකුත් අණ පනත් සමඟ සැසඳිමේ දී මේ සුවිශේෂි වරදවල්වලට සමගා වරදක් දණ්ඩ නීති සංග්‍රහය තුල හෝ වෙනත් අණ පනත්වල ඇතුලත් වී නැත.
01. පරිගණකයට නීත්‍යානුකූල නොවන ප්‍රවේශයක් අත්කර ගැනීම (Computer Hacking)
02. වැඩිදුරටත් වරදක් කිරිමේ අරමුණින් හිතාමතාම පරිගණකයක ගබඩා කර ඇති දත්ත සඳහා අනවසර ප්‍රවේශය ලබා ගැනීම (Computer Hacking)
03. අනවසරයෙන් පරිගණක පද්ධතියට ඇතුළු වී එහි දත්ත වෙනස් කිරීම (Unauthorized Modification)
04. පරිගණකයක් හෝ පරිගණක පද්ධතියක් ජාතික ආරක්ෂාවට, ආර්ථිකයට, මහජන සාමයට එරෙහිව යොදා ගැනිම ආදි වැරදි පරිගණක අපරාධ ලෙස 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ පරිගණක අපරාධ ලෙස අර්ථ නිරූපණය කරලා තියෙනවා.
2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනතේ සඳහන් වැරදිවලට අමතරව ලංකාවේ වාර්තා වන වෙනත් පරිගණක අපරාධ වර්ග මොනවාද?
අද සමාජයේ බහුලව දකින්නට ලැබෙන දෙයක් තමයි Cyber Bullying එනම්, සමාජ ජාලා අවකාශය කෙනෙකු අවඥාවට ලක් කිරීම, එමෙන්ම Sexual and Verbal Harassment. මෙවැනි ක්‍රියාත් පරිගණක අපරාධ ගණයට අයත් වෙනවා.
එමෙන්ම Online Banking සේවාව ආරම්භ වීමත් සමඟ විද්‍යුත් ගනුදෙනු සම්බන්ධව විවිධාකාර ගැටලු මතු වුණා. මූල්‍යමය වංචා, ක්‍රෙඩිට් කාඩ් වංචා, ආදි වංචාවන් සිද්ධ වෙන්න පටන් ගත්තා. මෙවැනි මූල්‍යමය වංචා පාලනය කිරිමට වගේම විද්‍යුත් ගනුදෙනු පාලනය කිරීමට විද්‍යුත් ගනුදෙනු පනත Electronic Transaction Act හඳුන්වා දීමට රජයට සිද්ධ වුණා.
නීතිඥ අනුරාධා උමයංගනි
anuradhaumayangani501@gmail.com