කාන්තාවනි දැනුවත් වෙන්න
ස්වභාව ධර්මයේ ඉහලම නිමැවුම වන්නේ ස්ත්‍රියයි. මාතෘත්වය යනු ඇය සතු ශුද්ධ හැකියාවයි. එය විශ්වයේ පැවැත්ම තීරණය කරන්න වූ සාධකයයි. මෙම ලිපිය මඟින් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන්නේ එවන් සුවිශේෂී මාතෘත්වය හිමි කාන්තාවන් ශ්‍රම බලකාය තුළ කටයුතු කිරීමේදී ඇය වෙත ජාත්‍යන්තර හා දේශීය නීතීන් මඟින් ලබා දී ඇති ආරක්ෂණයන් හා ප්රතිලාභයන් පිළිබඳවයි.
මාතෘ ප්රතිලාභ පිලිබඳ ජාත්‍යන්තර හා නෛතික රාමුව කෙබඳුද?
මේ පිළිබඳව අන්තර්ජාතික නීති රාමුව තුලදී ජාත්‍යන්තර කම්කරු සංවිධානය – 1919, 1952 සහ 2000 වසරවලදී මාතෘ ප්රතිලාභ ශක්තිමත් කිරීම සඳහා මාතෘ ආරක්ෂණ සම්මුතීන් සම්මත කර ඇති අතර ගර්භනී කාන්තා සේවිකාවන් සඳහා වන මුල්‍යමය ප්රතිලාභ හා සමාජ සුරක්ෂිතතාවය සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඇතුළු සාමාජික රටවල් 24 ක් විසින් ILO – 103 සම්මුතියේ ( ILO Convention 103) පවත්නා විධිවිධානයන් අපරානුමිත කිරීම මඟින් සහතිකකරන ලදී.
මාතෘ ප්රතිලාභ පිලිබඳව ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාපිත නීතිය මඟින් පෞද්ගලික හා රාජ්‍යය අංශයේ සේවිකාවන් ආවරණය වේ.මේ සඳහා ශ්‍රී ලංකාවේ ආයතන සංග්‍රහය රාජ්‍ය අංශයේ සේවකයින්ට අදාළ වන නීතිය වන අතර රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ මගින් එය විටින් විට සංශෝධනය කර ඇත. පෞද්ගලික අංශයේ මාතෘ ප්රතිලාභ පාලනය කරන මුලික නීති වන්නේ 1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනත සහ 1939 අංක 32 දරණ ප්‍රසූතිකාධාර ආඥා පනතයි. 2018 වසරේ දී මෙම ප්‍රසූතිකාධාර ආඥා පනත සංශෝධනයවීම මඟින් ප්රතිලාභ සීමාව තව දුරටත් පුළුල් විය.
දේශීය හා ජාත්‍යන්තර නීතින් මඟින් ප්රතිලාභ සඳහා හිමිකම් ලැබෙනුයේ කා වෙතද?
ILO- 103 සම්මුතියේ විධි විධානයන් කාර්මික හා කෘෂිකාර්මික වෘත්තීන් හි නියුතු කාන්තාවන්ට අදාල වන අතර එය රාජ්‍ය පෞද්ගලික මෙන්ම ගෘහ සේවයේ යෙදෙමින් වැටුප් ලබන කාන්තාවන් ද මේ සඳහා අදාල වේ. සාප්පු හා කාර්යාල සේවක පනත යටතේ මාතෘ ප්රතිලාභ සම්බන්ධයෙන් සාප්පු හා කාර්යාලවලට අදාළ ව්‍යාපාරවල සේවය කරන සෑම කාන්තාවකටම අදාළ වේ. ප්‍රසූතිකාධාර පනතයි විසින්ද සියලුම කාන්තා සේවිකාවන් ආවරණය කරනු ලබයි.
නමුත් ILO- 103 සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කර තිබියදීත් පෞද්ගලික කුටුම්භවල ගෘහ සේවයේ නියුතු සේවිකාවන් මෙම ප්‍රසූතිකාධාර ආඥා පනත මඟින් ආවරණය නොවීම අඩු පාඩුවක් ලෙසින් හැඳින් විය හැකිය.
රැකියාවක නියුතු කාන්තාවකට මාතෘත්වය සඳහා ලැබිය යුතු හිමිකම් හා ප්රතිලාභ මොනවාද?
රැකියාවක නියුතු කාන්තාවකට මාතෘත්වය වෙනුවෙන් ලැබිය යුතු මූලික ප්රතිලාභ අතර ගර්භණී සමයේදී සේවා ස්ථානය තුළ ආරක්ෂිතව සේවය කිරීමට යෝග්‍ය වන අයුරින් සේවා ස්ථානය මඟින් ඉඩ ලබා දීම අත්‍යාවශ්‍ය හා අනිවාර්ය හිමිකමකි. එමෙන්ම දරුවා ප්‍රසූත කිරීම, උපතින් පසු රැකබලා ගැනීම සහ දරු ප්‍රසූතියෙන් සුවය ලැබීම සඳහා වන මාතෘ නිවාඩු සේවා ස්ථානයෙන් ලබා දීමද ඒ අතර වේ.
ප්‍රසුතියට පෙර ලැබෙන ප්රතිලාභ:
1939 අංක 32 දරණ ප්‍රසූතිකාධාර ආඥා පනතේ, 10 (ආ) වගන්තිය මඟින් ගර්භණී සේවිකාවන් දරු ප්‍රසූතිය සිදුවීමට අපේක්ෂිත දිනට මාස 3 කට පෙර කාල පරිච්ඡේදය තුළදී එම සේවිකාවගේ හෝ ඇයගේ දරුවාගේ සෞඛ්‍යයට හානිදායක වන කිසිදු ආකාරයක කාර්යයක් සිදු කිරීම සඳහා සේවයෙහි යෙදවීම නොකළ යුතු බව දක්වා ඇති අතර එම සීමා කිරීම දරු ප්‍රසූතිය සිදුවී මාස තුනක කාලය තුළ සේවයෙහි යෙදවීමේදී ද එලෙසම බලපවත්වනු ලබයි.
1954 සාප්පු හා කාර්යාල සේවක පනතෙහි 18(ආ) වගන්තිය මඟින්ද ගර්භණී කාලය තුළ ඇයට හෝ ඇයගේ ළදරුවාට අනර්ථදායක විය හැකි අන්දමේ වැඩක ඇය නො යෙදවිය යුතු බව යනුවෙන් දක්වා තිබේ. නමුත් ප්‍රසූතිකාගාර ආඥා පනත හා සාප්පු හා කාර්යාල සේවක පනත මඟින් දක්වා තිබෙන ආකාරයේ ප්‍රසුතියට පෙර ආරක්ෂාවක් සඳහා වූ ප්රතිපාදනයන ආයතන සංග්‍රහය මඟින් ලබා දී නොමැත.
මාතෘ ප්රතිලාභ ආඥා පනතේ 10 වගන්තිය හා සාප්පු හා කාර්යාල සේවක පනත 18 (ඇ) වගන්තිය ප්‍රකාරව සේවා නියුක්තියේ සියලුම අංශවලදී ගර්භණීභාවය හෝ ඇයගේ ගර්භණීභාවය හා සම්බන්ධ වෙනත් කිසියම් හේතුවක් මත සේවායෝජකයෙකු විසින් කාන්තා සේවිකාවක සේවයෙන් පහකරනු ලැබීමද නීතිවිරෝධී බව දක්වා ඇත. මේ මඟින් ව්‍යවස්ථාදායකය විසින් මාතෘත්වයට රැකියා සුරක්ෂිතභාවයේ හිමිකම තවත් හොඳින් තහවුරු කරදී ඇත.
ප්‍රසුතියට පසු ලැබෙන ප්රතිලාභ
සජීවී දරු උපත් සදහ ILO – 103 සම්මුතියේ , 03 වගන්තිය අනුව සේවා නියුක්තික කාන්තාවකට තම දරු ප්‍රසූතිය අනුමාන කර ලබන දිනය සනාථ කිරීම සඳහා වෛද්‍ය සහතිකයක් සේවා ස්ථානය වෙත ඉදිරිපත් කිරීමෙන් අවම වශයෙන් සති 12 ක මාතෘ නිවාඩු කාලයක් ලබා ගත හැකිය. එම සම්මුතියේ 4(1) වගන්තිය ප්‍රකාරව එම නිවාඩු කාලය තුළදී ඇයට හිමි සියලුම වැටුප් මුදල් හා වෛද්‍ය ප්රතිලාභ ඇය වෙත ලබාදිය යුතු වේ.
4(3) වගන්තිය මඟින් තම අභිමතය පරිදි සුදුසු රජයේ හෝ පෞද්ගලික වෛද්‍යවරයෙකුගේ සේවය ලබා ගැනීමේ හිමිකම තහවුරු කර ඇත.ආයතන සංග්‍රහයේ 18(2)1 වගන්තිය අනුව ද සෑම සජීවී දරු උපතකටම රජයේ වැඩ කරන දින 84 ක පුර්ණ වැටුප් සහිත ප්‍රසූත නිවාඩු කාලයක් හිමිවේ.
ප්‍රසූතිකාධාර ආඥා පනත මගින් පළමු සහ දෙවන දරු ප්‍රසුතිය සඳහා රජයේ නිවාඩු දින ද සහිතව සති 12 ක කාලයක් ලැබෙන අතර ප්‍රසූතියට පෙර සති දෙකක් සහ ප්‍රසූතියෙන් පසු සති දහයක් ලෙස ලබාගත හැකිය සාප්පු හා කාර්යාල කාර්යාල සේවක පනත අනුව සේවිකාවක විසින් පළමු සහ දෙවන සජීවී දරු උපත් සඳහා වැඩ කරන දින (ප්‍රසුතියට පෙර දින 14 ක් හා පසු දින 70 ක් ලෙස) අසූ හතරක් ද, තුන්වන සහ ඊට පසු උපදින දරුවන් සදහා වැඩ කරන දින 42 ක ( ප්‍රසුතියට පෙර දින 14 ක් හා පසු දින 28 ක් ලෙස) ප්‍රසූත නිවාඩු හිමිවේ.
මීට අමතරම ලැබෙන වෙනත් ප්රතිලාභ මොනවාද?
ලෝකය නිර්මාණය වී ඇත්තේ හිරු කිරණ හා මව් කිරි මඟින් බව සුපතල මතයක් ඇත. එබැවින් ILO සම්මුතිය, ආයතන සංග්‍රහය, ප්‍රසූතිකාධාර ආඥා පනත මෙන්ම සාප්පු හා කාර්යාල සේවක පනත මඟින්ද මෙම ධාරක පෝෂණයට අදාල යම් ප්‍රතිපාදන දක්වා ඇත. ඒ පැය භාගයකට නොඅඩු විරාම දෙකක් මඟින් සේවයේ නියුතු මවකට තම බිළිඳාට මව් කිරි ලබා දීමේ අවස්ථාව ලබා දීමෙන්ය.
නීතීඥ ප්‍රවීණ සේනාධීර
praveenavisual@gmail.com