වරදේ බැඳෙන කාන්තාවකට මෙලොව වගේම පරලොවත් විපාක ලැබෙනවා.අවසර කල් රහස් තැන – ගැහැණු කවුරුද වරද නොබැඳෙන…කාන්තාව මුල් කර ගෙන මෙවැනි අදහස් සමාජයේ තිබුණත්, පවුලක් තුළ කාන්තාවකගේ පැවැත්ම සංයමය සහ විනය පිළිබඳව බුදුරජාණන්වහන්සේගේ ඉගැන්වීම් අපේ ජීවිතයට ආදේශ කර ගැනීම ඉතාම වැදගත්. බටහිර සමාජය මෙන් නොව අපි පවුල් සංස්ථාවය තදින් බැඳී සිටින පිරිසක්. පවුල යනු හවුලක් කියන තරමටම මේ සංකල්පය අපට සමීපයි. දික්කසාදයට වඩා පවුලේ පැවැත්ම, අගයන බුදුරජාණන්වහ්නසේ හික්මීමට මුල් තැන ලබා දුන් සේක.සීලේන අනුපේතස්ස සුගතේනත්ථෝ න විජ්ජති… ( හික්මීමක් නොමැති තැන උගත්කම අරුතක් නැත. නිෂ්ඵලය… ) අද සාක්ෂරතාවය අතින් කාන්තාව ඉහළින් සිටිති. උපරිම අධ්‍යාපන සුදුසුකම් සහිතය. සමාජයේ ඉහළ තනතුරු දරති. මේ සියල්ල සැබෑ වුණත් සමාජය තුළ කාන්තාවගේ සදාචාරාත්මක පැවැත්ම බුදුරජාණන්වහන්සේගේ ඇගයීමට පවා පාත්‍ර විය.
විරුද්ධ ලිංගිකයන් අතර ආකර්ශණය…
කාන්තාවක් පිරිමියෙකුටත්, පිරිමියෙකු කාන්තාවකටත් ආකර්ශණයවීම මනෝභාවයන් අනුව සිදු වන්නකි. ඉත්ථි රූපං භික්ඛවෙ පුරිසස්ස චිත්තං පරියාය තිට්ඨති… පංචේන්ද්‍රියන් පිනවීම වෙනුවෙන් ආකර්ශණය වෙන සමාජයක් තුළ කාමයන්ගෙන් දුරුව ජීවිතය හැඩ ගසා ගැනීමේ මාර්ගය බුදුරජාණන්වහ්නසේ විසින් පෙන්වා දුන් සේක.
පරදාර සේවනය අත් හළ යුතුය…
අංගුත්තර නිකායේ දසක නිපාතයේ දැක්වෙන චුන්ද සුත්‍රයෙහි බුදුරජාණන්වහන්සේ පරදාර සේවනය අත්හළ යුතු බව අවධාරණයෙන් පෙන්වා දී තිබේ. පුරුෂයා යනු ස්වභාවයෙන්ම බලවත්ය. කාය ශක්තියෙන් යුක්තය. ස්ත්‍රිය සියුමැලිය… සුකුමාරය. නමුත් යම් පුරුෂයෙක් කාන්තාවකට අතවර කරන්නේ නම් ඔහු අධමයෙකි. කාමමිථ්‍යාචාරයෙන් වැලකීම සත්පුරුෂ සමාජයේ සම්භාවනාවට පාත්‍ර වී තිබේ.
බුදුරජාණන්වහන්සේ කාන්තාවකගේ සිල්වත් බව ශික්ෂණය ගැන ඇගයීමෙන් දේශනා කළහ.සේධාවනී සීලවතී.. සස්සු දේවා පතිබ්බතා… කාන්වක් නම් ඇය පතිදම් රැකිය යුතුය. මේ බුදුදහමේ ඉගැන්වීමයි.
නමුත් අද බොහෝ කාන්තාවන් තමන්ගේ විවාහ ජීවිතය තුළ තවත් අනියම් ඇසුරක් වෙනුවෙන් යොමු වීමේ ප්රවනතාවයන් ඇත. එය සාදාරණීකරණයටත් ඔවුන්ට හේතු ඇත. කාන්තාවක් විවිධ හේතු නිසා අනියම් ආශ්‍රයන් ගොඩ නගා ගනිති. අද සමාජයේ කාන්තාව මුල් කර ගත් සමාජ සම්බන්ධතාවයන් පුළුල් ජාලයක විහිදී ඇත.
ඒ නිසාම කාර්යාලයේ, කෝච්චියේ, දරුවන් යන පාසලේ විවිධ තරාතිරමේ පිරිමින්ගේ ආශ්‍රය ඇති වෙනවා. තම සැමියා, බිරිඳ හැර වෙනත් පිරිමියෙකු, කාන්තාවක දෙස වැරදි සිතින් සිතන්නට නොහැකි තරම් ශික්ෂණයක් ඇත්නම් ඔවුනොවුන් අතර වැරදි සම්බන්ධතාවයන් ඇති වන්නේ නැත.
මේ තත්ත්වය කොතරම් පහත් තත්වයට වැටී ඇත්ද යත් දරුවාගේ ගුරුවරයා. පාසලේ පංති කවයට එන දියණියගේම පංතියේ සිටින දැරියකගේ පියා සමග අනියම් ඇසුරක් ගොඩ නගා ගත් මව්වරු අප සමාජයේ ඕනැ තරම් සිටිති. පවුල මුල් කර ගත් කොතෙක් කම්කටොලු තිබුණත් ඇය දරුවන්ගේ මව බැව් අමක නොකළ යුතුය.
වටින් මහ සෙනග ඇවිදින් සාධු කියා වැන්දයි. නෙළුම් මලට නොවේ නුඹට නුඹ අම්මා හින්දයි සැබැවින්ම බුද්ධකාලීන කාන්තාවට සංසන්දනාත්මකව බලන විට අද කාන්තාව සමාජයේ බැබලෙන චරිත බවට පත්ව ඇත.
එහෙත් අදටත් ඇය පවුලේ මවකි… බිරිඳකි… දියණියකි… ඒ නිසා කාන්තවගේ චරිතවත් බව අදටත් ඇයට ආභරණයක්ම වන්නේය. ඇතින්නය නෙළුම් මල් රැගෙන සාධු පෙරහැරක ගියත් ඇයට සාධුකාරත්වය නැගෙන්නේ මාතෘත්වය නිසාම බැව් ගීත සාහිත්‍යයේ පවා සඳහන් වේ.
හිත හදාගන්න දුක කියා…
අද බොහෝ කාන්තාවන් තම පවුලේ ඇති දුක් කම්කටොලු හිත නිදහස් කරනු රිසින් තවත් අය සමග බෙදා ගැනීමට උනන්දුයි. ඒ වගේම ඇගේ දුකට ඇහුම්කන් දෙන තවත් පිරිමියෙක සමග නොදැනීම අනියම් ඇසුරක් ගොඩ නැගෙනවා. මෙතැනදී බුදුදහමේ සඳහන් විශාඛාවට දුන් අවවාද සිහිපත් කරන්න. ගෙයි ගිනි පිටත නොදෙන්න. පිටත ගිනි ගෙට නොගන්න.
අද අනියම් ඇසුරක් ගොඩ නගා ගැනීමේදී කාන්තාවට අනුකම්පා කරන පිරිමින් මෙන්ම පිරිමින් ගැන අනුකම්පා උපදවන කාන්තාවන්ද අවසානයේ නොදැනීම අනියම් ආශ්‍රයක් ගොඩ නගා ගන්නා තැනට යොමු වෙති.
ඒ වගේම අද සැමියා සහ බිරිඳ අතර මනා සන්නිවේදනයක් නැහැ. සමාජමාධ්‍ය ජාලා අතර ඔවුන් සිරගත වෙලා. සමහර අය සමාජමාධ්‍ය ජාලා ඔස්සේ තමන්ගේ දුක කියනවා. ඒ දුර්වලතාවයෙන් වෙනත් අයෙක් ඇවිත් ඇගේ කඳුළු පිහින්න පටන් ගන්නවා. දෙන්නාම නොදැනී අනියම් ඇසුරක් ඇති වෙනවා.
අයුතු යෝජනා ප්රතික්ෂෙප කරන්න…
අද කාන්තාවට අයුතු යෝජනා නිසාම ඇයත් නොදැනීම වරදෙ බැඳෙන අවස්ථාවන් තිබෙනවා. මෙවැනි අවස්ථාවන්හිදී ඉතා බුද්ධිමත් ලෙසින් කටයුතු කිරීමට සිදු වෙනවා. බිරිඳක ලෙසින් ඇගේ ආත්මගෞරවය ආරක්ෂා කළ ගත යුතු අතරම අයුතු ලෙසින් යෝජනාවක් කළත් ඒ පිරිමියාගේ ආත්ම ගෞරවය ගැනත් සැලකීමට සිදු වෙනවා.
අපේ පැරණි ජනසමාජයේ අයුතු යෝජනවාක් කළ පිරිමියෙකුට කාන්තාව දුන් ඉතා බුද්ධිමත් පිළිතුරකට මේ කවිය උදාහරණ වේ. තනිමග යන ඇයට අතරමගදී පිරිමියෙකු ලෙසින් යම් යෝජනාවක් ඉදිරිපත් කරනවා.
ඒ වෙනුවෙන් ඇය කෝප වුයේද නැත. ඔහුට බැණ වැදුනේද නැත. ඉතා සංයමයෙන් මේ අන්දමින් ලබා දුන් පිළිතුරනේ ඔබ්බට ඒ කාන්තාවට කතා කිරීමට තවත් දෙයක් තිබුණේ නැත.
අල්ලා ගෙන නෙරිය මඩ තැවරෙන හින්දා- වසා ගෙන දෙතන බිළිඳුගෙ කිරි හින්දා
බාල මස්සිනා පස්සෙන් එන හින්දා- යඤ්ඥං අයියණ්ඩි ගම රට දුර හින්දා.
සාධාරණීකරණය කිරීම…
පවුල් සංස්ථාව තුළ අනියම් ලෙසින් ගොඩ නගා ගන්නා ආශ්‍රයන් අද සාධාරණීකරණය කරති. විශේෂයෙන් මධ්‍යම පංතික පවුල් අරගල මුල් කර ගත් යන්හි අද ඒවා තේමාවන් බවට පත්ව ඇත. බුදුරජාණන්වහන්සේ පතිදම් ආරක්ෂා කරන කාන්තාව එදා අපූරු ලෙසින් සාධාරණීකරණය කළහ.
සම්බුලා ජාතකයේ සොත්ථිසේන රජතුමාගේ කුෂ්ට රෝගය සුව වූයේ සම්බුලා දේවිය තම පතිභක්තිය මුල් කර ගෙන සිදු කළ සත්‍ය ක්රියාවේ බලයෙන්ය. පතිවත එතරම් ප්රබලය. වෙසතුරු රජ වංගගිරියට යන මොහොතේ වනයේ අනතුරු තිබියදීත් ඇය සැමියා අත නොහැර ගියාය. ඒ වගේම අනාචාරයේ හැසිරෙන කාන්තාවට ලැබෙන විපාක බුදුරජාණන්වහන්සේ විසින් මෙසේ පෙන්වා ඇත.
අනියම් ඇසුරේ විපාක
- මෙලොව වශයෙන් සමාජයේ අපකීර්තිය
- පවුලේ සාමය, සමගිය නැති වීම
- පිරිහීම
- පරලොව වශයෙන්
- සංඝාත නිරයේ පැසීම
- නපුංසකයන් ලෙස උපත ලැබීම
- අවලස්සන වීම
ඒ නිසා අනියම් වරදේ බැඳීම නිසා මෙලොව වශයෙන් මෙන්ම පරලොව වශයෙන්ද විපාක ලැබෙන බැව් දැන ජීවිතය ධාර්මිකව හැඩ ගසා ගැනීම ඉතාම වැදගත්.
කිවියර, ගීත රචක-
ශාස්ත්‍රපති පූජ්‍ය
මහගම සීලානන්ද ස්වාමින්වහන්සේ
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️