අපේ රටට විදේශ විනිමය තවමත් අඩු නැතුව ගෙනෙන ප්රධාන රැකියා අවස්ථා තුනක් අපි හඳුනාගෙන තියෙනවා. ඒ රැකියා අවස්ථා තුනටම මුල් වෙන්නේ අපේ රටේම සවිමත් කාන්තාවන්. ඒ අතරින් තේ දලු නෙලලා ඒවා පිටරටට යවලා ඩොලර් හොයන්න මහන්සි වෙනවා කියන එක මේ ලියන තරම් ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. උදේ පාන්දරින් දලු කඩන්න පටන් අරන් ගිනි මද්දහන, අව්ව, වැස්ස මේ කිසිමදෙයක් නොතකා ඇය වෙහෙසෙන්නේ හිතේ සහ බඩේ ගින්දර නිවා ගැනීම වෙනුවෙන්මයි. මේ දහසකුත් එවන් ළඳුන් අතරින් තේ දලු නෙළන්නියකගේ සැබෑ ජීවිත කතාව අපිට කිව්වේ කමලිනී….
කමලිනී කොහොමද?
හොඳින් ඉන්නවා නෝනා.
තේ දලු නෙලන්න සම්බන්ධ වුණේ කොහොමද ?
පුංචි කාලේ ඉඳලා. ඒක ලොකු කතාවක් නෝනා.
ඒ කතාව අපිට කියන්න කැමතිද?
අකමැත්තක් නැහැ. දැන් මට 51 ක්. මම ඉපදුණේ 73. මගේ අම්මයි තාත්තයි බලා ගන්න ඕන නිසාමයි පොඩි කාලෙදිම මම වත්තේ වැඩට ආවේ. මගේ අම්මට අංශභාගේ හැදුණා. තාත්තත් ගහකින් වැටිලා කොන්ද කැඩිලා එකතැන් වෙලා හිටියා. තාත්තා කළෙත් කුලී වැඩ. එයාට කොන්දේ ප්රශ්නෙත් එක්ක බර වැඩක් කරගන්න බැරි වුණා.
මට තිබුණ ලොකුම ප්රශ්නෙ තමයි කොහොමද එකතැන් වෙලා ඉන්න අම්මයි තාත්තයි බලාගන්නේ කියලා. දවසේ වියදමවත් හොයාගන්න එක මට ආපු ලොකුම ප්රශ්නේ. මම මගේ පවුලේ වැඩිමලා විදිහට පවුලේ බර කරට ගන්න තීරණය කළා. මට බාල නංගි රස්සාවකට යවන්න මට බැහැනේ. ඒ නිසා මම තේ වත්තේ වැඩට ආවා.
කමලිනී කවදාවත් ඉස්කෝලේ ගිහිල්ලම නැද්ද?
නැහැ. කවදාවත්ම නැහැ.
කමලිනී කියන්නේ තමන්ගේ පවුල වෙනුවෙන් ඔයාගේ ජීවිතය කැප කරපු කෙනෙක්…
එහෙම දෙයක් නම් තේරුණේ නැහැ මට. ලෙඩ ඇඳේ ඉන්න අම්මයි තාත්තයි රකින්න ඕන කියල නම් හිතුණා. නංගිගේ වගකීමත් මම ගන්න ඕන කියල හිතුවා.


කොහොමද විවාහ වුණේ ?
ඒක යෝජනාවක්. මම හොඳට වැඩ කරන හින්දා අපේ වත්තේ ස්ටෝර්කීපර් මහත්තයාගේ නෝනා තමයි එයාව යෝජනා කළේ. ඒ නෝනා තමයි කිව්වේ හැමදාම තනියෙන් ඉඳල බැහැ ඔයාටත් යන කලක් තියෙන්න ඕන කියලා. ඊට පස්සේ අපි බැන්දා.
මහත්තයා මොනවා කරන කෙනෙක්ද?
එයාක් කුලී වැඩ තමයි කරන්නේ. අපිට පුතාලා දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතා පොඩි රස්සවක් කරනවා. පොඩි එක්කෙනා තාම මොනවාත් කරන්නේ නැහැ විනෝදයෙන් අපිත් එක්ක ඉන්නවා.
අම්මට රස්සාව කරන්න එපා කියලා පුතාලා කියන්නේ නැද්ද ?
අනේ අනන්තවත් ලොකු පුතා නම් කියනවා. අම්මා දලු කැඩුවා ඇති කියලා. මට පුළුවන් අම්මව බලාගන්න කියලා. ඒත් නෝනා මම හරි ආසාවෙන් මේ රස්සාව කරන්නේ. අපි හරි විනෝදයෙන් දලු කඩන්නේ. මට රස්සාව නවත්තන්න හිතෙන්නේ නැහැ. අඟේ පතේ හයිහත්තිය තියෙනකන් මම මේ කූඩෙත් බැදන් දලු කඩයි. මහන්සියක් දැනෙන්නේ නෑ මට.

කමලිනී කීයටද දලු කඩන්න වත්තට එන්නේ ?
උදේ අටට දලු කඩන්න පටන් ගන්නවා. තුනට විතර වැඩ ඉවර කරනවා. කන්න, තේ බොන්න වෙලාවකුත් අපට තියෙනවා. දවසකට දලු කිලෝ 100 ක් විතර මම නෙළනවා. ඒ නෙළන දලු ටික වත්තට බාරදීලා තමයි මම ගෙදර යන්නේ. මේ දවස්වල නම් දලු ටිකක් අඩුයි.
කඩන දලු ප්රමාණෙටද පඩි ලැබෙන්නේ?
නෑ. එහෙම නෑ. මාසේ අන්තිමට තමයි පඩි ලැබෙන්නේ.
කවුද මේ ඔයාත් එක්ක ඉන්න චූටි දෝණි?
ඒ මගේ නංගිගේ දුව. එයා තමයි මාත් එක්ක නිතරම දැවටි දැවටි ඉන්නේ.
කමලිනී ඉන්න ගෙයක් දොරක් එහෙම හදාගෙනද ?
මට කියල ගෙයක් නම් නැහැ. අපේ තාත්තා ගත්තු ඉඩමක හදපු ගෙදර තමයි අපි ඉන්නේ. ඊට වඩා දෙයක් අපිට කරගන්න බැරිවුණා. අම්මා බෙල්ලෙ පිළිකාවක් හැදිලා තමයි නැති වුණේ. අදටත් තාත්තා බලාගන්නේ මම.
කමලිනී අපටත් වඩා හොඳට සිංහල කතා කරනවානේ?
( සිනාසෙමින් ) එහෙමද නෝනා. මම දෙමළ බව මට මතක නැහැ. ඒවා ඔළුවේ තියාගෙන ඉන්නෙත් නැහැ.
කමලිනී ජීවිතය ගැන මොකද හිතන්නේ…
ප්රශ්නයක් නැහැ. වැඩ කරගෙන සතුටින් ඉන්නවා.
හරින්දී ලියනගේ ✍️
ඡායාරූප- බුද්ධික ඩී. රණසිංහ 📷