දික්කසාදය පවා නතර කරගන්න පුළුවන්
ලංකාවේ දවසට දික්කසාද 800කට එහා සිද්ධ වෙනවා කියලා ඔයාලා දන්නවද? මේ සේරම උසාවිය හරහා සිද්ධ වෙන නීත්‍යානුකූල විවාහ. නමුත් චිත්තවේගිකව දික්කසාද වෙලා ඉන්න ප්‍රමාණය ඊටවඩා වැඩියි. එකම ගෙදර දෙපැත්තට වෙලා ජීවත් වුණත් ලංකාවේ 95%ක්ම ඒ ගෙවල් ඇතුළෙ ඉන්නෙ චිත්තවේගිකව දික්කසාද වෙලා.ඔවුන්ගේ සිතිවිලි බැඳිලා නෑ. ඒ ආදරය පරණ වෙලා, පිළුණු වෙලා ගඳ ගහලා, සමහරවිට ඒ ගඳ වටේටම පැතිරිලා ගිහින් වෙන්න පුළුවන්. ආදරයක් පරණ වීගෙන එනවා නම් ඒ ආදරය අලුත් කරගන්න එක දෙන්නගෙම වගකීමක්. එහෙම නැත්නම් පරණ වෙන්න නොදී මොකක් හරි කරලා තියාගන්න ඕන. නරක් වෙන්න නොදී ආදරය පරිස්සම් කරන්න ඕන. පිළුණු වුණ, නරක් වෙලා ගඳ ගහන ආදරයක් වුණත් අලුත් කරගන්න පුළුවන්. ඒ වගේම ආදරයක් පිළුණු වෙන්න නොදී කල් පවත්වාගැනීමේ උපක්‍රමත් තියෙනවා..
විවාහයෙන් පස්සෙ විතරක් නෙවේ විවාහයට පෙරත් ආදරය පරණ වෙනවා. නමුත් විවාහයට පෙර සමහර ආදරයන් පරණ වෙන තරමට හොඳයි. මොකද එතකොට තමන්ට තේරෙනවා කවදහරි දවසක මේ ආදරය තමන්ට ආසාත්මික වෙන්න පුළුවන් කියලා. තමන්ට දැනෙනවා මේ බැඳීම තුළ තමන් තවදුරටත් හිටියොත් තමන්ට ඒකෙන් හානියක් වෙන්න පුළුවන් කියලා. එතනදි අපිට නතර වෙලා අලුත් සම්බන්ධයකට යන්න පුළුවන්.
නමුත් විවාහයෙන් පස්සෙ මේ තත්ත්වය වෙනස්. සංස්කෘතිය, පවුල් පසුබිම, දරුවන්ගේ වගකීම් වගේ දේවල් එක්ක දික්කසාදයකට යන්න අපහසු කාන්තාවො වගේම පිරිමිත් මේ ලෝකේ ඉන්නවා. ඒ නිසා අපි තේරුම්ගන්න ඕන විවාහය තුළ ආදරය පරණ නොවී තියාගන්න.
ගොඩක් අය පවුල් ප්‍රශ්නයක් වුණාම කියන කතා තමයි ‘මම දරුවො නැත්නම් මෙලහකට මෙයාව දික්කසාද කරලා’ ‘දරුවෙක්ට අම්මෙක් ඕන නිසා මෙයාව තියන් ඉන්නවා නැත්නම් මං අයින් කරලා දාලා’ නමුත් ඔබ විවාහ වෙන්නෙ දරුවෙක් ඕන නිසාද? නෑ. තමන්ට තමන් හොයාගත්ත සහකරු, සහකාරිය ඕන නිසා. තමන්ට අනිත් කෙනා අවශ්‍ය නිසා සිද්ධ වෙන විවාහය අවසානයේ පවතින්නේ ළමයට ඕන නිසා.
විවාහ ජීවිතය තියෙන්නෙ කොකු හතරක් මත. මුලින්ම අපි විවාහය කියන සංකල්පයට ඇතුළු වෙන්නෙ අනිත් කෙනාගෙ රූපෙට ආස වෙලා. ඊළඟ කොක්ක තමයි පිරිසිදුකම. කොච්චර ලස්සන වුණත් පිරිසිදුකම නැත්නම් විවාහය රැඳෙන්නෙ නෑ. රූපය සහ පිරිසිදුකම කියන කොකු දෙක මත ලිංගිකත්වය කියන කොක්ක ශක්තිමත් වෙනවා.
නමුත් විවාහ වෙලා ටික කාලයක් යද්දි රූපය සහ පිරිසිදුකම කියන කොකු දෙක අපිත් නොදැනම අපෙන් ගැලවිලා යනවා. මේ කොකු දෙක නැතුව ලිංගිකත්වය කියන කොක්කටත් රඳාපැවැත්මක් නෑ. අන්තිමට එක කොක්කක් ඉතුරු වෙනවා. ඒ තමයි දරුවෝ. අවසානයේ විවාහයේ සියලු කොකු ගැලවිලා දරුවො කියන කොක්ක මත පමණක් විවාහය කඩා වැටෙන්න ඔන්න මෙන්න එල්ලි එල්ලි තියෙනවා.
අපේ රටේ ගොඩක් තියෙන්නෙ මෙන්න මේ වගේ පවුල් ජීවිත. සාර්ථක පවුල් ජීවිතයක් ගෙනියන්න නම් විවාහයේ මේ කොකු හතර ගැනම හොඳ අවබෝධයක් තියෙන්න ඕන.
කාගෙන් හරි ඇහුවොත් පවුල් ජීවිතයක් සාර්ථකව පවත්වගන්න අවශ්‍ය මොනවද කියලා, ගොඩක් අය උත්තර දෙන්නෙ විශ්වාසය, ආදරය, රැකවරණය වගේ දේවල්. කලාතුරකින් තමයි ලිංගිකත්වය කියන පිළිතුර ලැබෙන්නේ. අර සඳහන් කළ සියලු කාරණා වගේම සාර්ථක පවුල් ජීවිතයකට තියෙන්න ඕන ප්‍රධානම අංගයක් තමයි ලිංගිකත්වය කියන්නේ.
ලිංගිකත්වය නිවැරදිව පවතින්නෙ නැති පවුල් ජීවිත තුළ ආදරය පරණ වෙනවා. අපේ රටේ කාන්තාවෝ අනුගමනය කරන දුර්වල, අසාර්ථක ක්‍රමයක් තමයි සැමියා එක්ක ප්‍රශ්නයක් වුණ ගමන් නිදි යහන සහ ලිංගිකත්වය වර්ජනය කරන එක.
අනිත් කාරණය තමයි කවදාවත් දික්කසාදයකදි හරි ප්රශ්නය එළියට එන්නෙ නෑ. එළියට එන්නෙ ව්රක්රාකාරව ගිය එක පොයින්ට් එකක් විතරයි. මං මේකට හොඳ උදාහරණයක් කියන්නම්. එක යුවළක් ආවා මං ගාවට දික්කසාද වෙන්න තීරණය කරලා.
මට අවස්ථාවක් ලැබුණා ඔවුන්ගේ ගෙදරට යන්න. ඒ ගියාම මම දැක්කා මේ දෙන්නා ඉන්න කාමරේ බිත්ති කොටයි. දික්කසාදයට හේතුව කාමරේ බිත්ති කොට වීම. මේ කාමරේට අල්ලපු කාමරේ ඉන්නෙ අම්මයි තාත්තයි. මේ යුවළ හුස්ම ගත්තත් එහා කාමරේට ඇහෙනවා බිත්ති කොට නිසා. ඒ හේතුවෙන් මේ දෙන්නා අතිශය සිමා සහිත, භිරාන්ත ලිංගික ජීවිතයක් තමයි ගතකරලා තියෙන්නේ. කවදාවත් හඬක් පිට කරලා ලිංගික තෘප්තියක් ලබන්න බෑ. ඒ නිසා රූපය, පිරිසිදුකම, ලිංගිකත්වය කියන කොකු තුන ගැන මනා අවබෝධයක් ලබාගත්තොත් තමන්ගෙ ආදරය පිළුණු කරගන්නෙ නැතිව ඊළඟ පරපුරටත් සතුටින් ජීවත් වෙන්න පාර කපාගන්න පුළුවන්.
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී,
මනෝවිද්‍යා උපදේශිකා,
නිලුක්ෂි තිලකසිරි
එරංදි කෞශල්‍යා ✍️