අතීතයේ පටන්ම වත්තේ පිටියේ ඉදිලා වැටිලා කුණු වෙලා යන කොලපත වෙනුවෙන් තැනක් තිබුණේම නැහැ. ඉතාම සරලව කිව්වොත් බත් ගෙඩි බැඳීමට යොදා ගැනීම හැරුණු විට වෙනත් ආර්ථික වටිනාකමක් ලැබුණේම නැති තරම්. අතීතයටත් වඩා අද වනවිට මේ විදිහට තැන තැන වැටෙන කොළපත පාරිසරික වශයෙන් තවත් තර්ජනයක් අපට ඇති කළා. මෙම කොළපතක වතුර රැඳීම නිසා ඩෙංගු මදුරුවන්ට හොඳ තෝතැන්නක් ගොඩ නැගුණා. කොටින්ම ඩෙංගු තවානක් තරමටම කොළපත්වල වතුර රඳා තිබීම දැඩි තර්ජනයක් වුණා. මේ විදිහට තැන තැන වැටෙන කොළපත් වෙනුවෙන් ආර්ථික වටිනාකමක් එකතු කළ ඇගේ කතාවට අපි ඉඩ දෙමු.
ගීතා කුමුදුන මේ කොළපත්වලින් විවිධ දේවල් නිර්මාණයට හිත යොමු වුණේ කොහොමද…?
ඇත්තටම එය ඉතාම අහඹු සිදුවීමක්. මම මැටියගනේ පාසලෙන් අධ්‍යාපනය ලබලා එතැනින් පසුව ස්වේච්ඡා ගුරුවරියක් විදිහට ඒ පාසලේම සේවය කළා. එතැනින් පසුව ඇගළුම් කම්හලක සේවයේ යෙදෙමින් සිටියදී විවාහ වුණා. රැකියාවක් නැතුව නිවසේ සිටියත් මම කාලය අපතේ යැව්වේ නැහැ. මල්පැල තවාන් කළා. නමුත් ප්‍රවාහනයේදී දරන්නට වෙන වියදම් පැත්ත වැඩි නිසා ඒ වැඩෙත් අමාරුයි. එතැනින් පසුව මම ප්‍රවාහනයට වැඩි වියදමක් යන්නේ නැති කුමන හෝ ස්වයං රැකියාවක් ගැන හිතුවා.
ඔබට ඒ වෙනුවෙන් උදව් ලැබුණේ…
මම ශිල්ප සභාවට සම්බන්ධ වුණා. එහිදි ගල්ලැහ පන්වලින් නිර්මාණ කිරීම ගැන දැනුවත් වීම් ලබා දුන්නා. මම මේ කර්මාන්තය හොඳින් හදාරලා එතැනින් පසුව ගල්ලැහැ පන් යොදා ගෙන විවිධ නිර්මාණ කරන්න පටන් ගත්තා. හැබැයි මම එතැනම රැඳුනේ නැහැ.




ඔබේ විවිධාංගිකරණ නිර්මාණ ගැන කිව්වොත්…
මම තල්කොල යොදා ගෙනත් නිර්මාණ කරන්න පටන් ගත්තා. තල්කොළවලින් Tea box ( තේ අසුරන ) හැදුවා. පොල් කටු හැඳි, වේවැල්, කිතුල් වගේ නිර්මාණ කළා.
එතකොට කොලපත් වෙනුවෙන් යොමු වුණේ…
අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හස්ත කර්මාන්ත ප්‍රදර්ශනයක් තිබුණා. මම ඒ ප්‍රදර්ශනය බලන්න ගියා. එතැන කොළපත් නිර්මාණ බොහොමයක් තිබුණා. ඒ වගේම මම තල් කොළ මැදලා පොත් ලියන අයට දෙනවා.
අපේ රටේ ප්‍රසිද්ධ සූපවේදී පබිලිස් සිල්වා මහතාගේ පොතක් වෙනුවෙනුත් මම තල්කොල මැදල දුන්නා. අදටත් එතුමාගේ කාමරයේ තල්කොළවලින් ලියපු ඒ පොත තියෙනවා. ඒ ගැනත් මට සතුටුයි.

අමුද්‍රව්‍ය විදිහට කොළපත් සොයා ගැනීම…
ඇත්තටම කොළපත් හිඟයි. මම දැන්වීමක් දැම්මා. එතකොට මට කොළපත් ලැබෙන්න පටන් ගත්තා. ඒ අතරේ ව්‍යාපෘතියකින් මට කොළපත් සකස් කරන යන්ත්‍රයක් ගන්න මුදල් ආධාර ලැබුණා. මම යන්ත්‍රයක් අරගෙන ඒකෙන් නිර්මාණ පටන් ගත්තා. අපි “ Geeth නිෂ්පාදන යනුවෙන් මෙම නිෂ්පාදන නම් කළා.
මොනවාද ඒ නිර්මාණ…
කොළපත් පෙට්ටි, අතුරුපස භාජන, ආභරණ පෙට්ටි, බන්දේසි, ආහාර ඇසුරුම් පෙට්ටි, කේක් ඇසුරුම්, පිට්සා දැවටුම්, තේ කෝප්ප වගේ විවිධ නිර්මාණ කරනවා. ඒ වගේම කැන්ද සහ නෙළුම් කොළ යොදා ගෙනත් පිඟන් වැනි නිර්මාණ කරන්න පුළුවන්. ඕනෑම කොළයක් යම් උෂ්ණත්වයක රත් කිරීමෙන් පසුව අපට අවශ්‍ය විදිහට පිඟන් වැනි දේවල් හදා ගන්න පුළුවන්.
පාවිචියෙන් පසුව ඉවත දමනවද…?
එහෙම එක වරක් පාවිච්චියෙන් පසුව ඉවත දැමීමක් අවශ්‍ය නැහැ. දෙතුන් වතාවක් පාවිච්චි කරන්න පුළුවන්. වතුර කාන්දුවීමක් සිදු වෙන්නෙත් නැහැ. නමුත් වැස්ස කාලයේදී කොළපත් සොයා ගන්න අපහසුයි.
වැස්සට මේවා හොඳින් වියල ගන්න අපහසුයි. එතකොට පුස් අල්ලනවා. කොළපත් ලක්ෂයක් වෙනුවෙන් ලක්ෂ අටක විතර මුදලක් වැය වෙනවා. ඒවා ප්‍රවාහනයට ලක්ෂ දෙකක් වැය වෙනවා. ගබඩා පහසුකම් නැති නිසා අපතේ යෑම් සිදු වෙනවා.

මේ වගේ නිර්මාණ වෙනුවෙන් අලෙවිය…
මගේ විවිධ නිර්මාණ කොළඹට අලෙවිය වෙනුවෙන් යවනවා. වේවැල් මල් පෝච්චි, පොල් කටු නිර්මාණ. මේවා වෙනුවෙන් හොඳ වෙළඳපොලක් තිබුණත් අපේ රටේ ආර්ථික ප්‍රශ්න සමග මේවායෙත් මිළ ඉහළ ගියා. ඒ නිසා ඉල්ලුම අඩු වුණා. කොළපත් නිෂ්පාදන වෙනුවෙන් එංගලන්තයෙත් මට වෙළඳපොළක් තිබෙනවා. ජපානයෙන්, ස්විස්ටර්ලන්තයෙන් පවා ඇවිත් බලලා ගිහින් තිබෙනවා.
අන්තර්ජාලය ඔස්සේත් ඇනවුම් ලැබෙනවා. ඊට අමතරව දේශීය වශයෙන් විවිධ පිංකම්, උත්සවවලට ඇනවුම් ලැබෙනවා. අපේ පළාතේ දාන පිංකම් වෙනුවෙන් නම් නොමිලයේම මේවා ලබා දෙනවා. මේ ව්‍යාපාරය නිසා අපේ පැත්තේ කොළපත් අලෙවියෙන් බොහෝ දෙනෙක් දැන් ආදායම ලබනවා. ඒකත් මට සතුටක්. අපට අමුද්‍රව්‍ය සපයන පිරිස 350 ක් 400 ක් අතර වෙනවා.
ලංකාවේ ඕනෑම තැනක තිබෙන කොළපත් අපි මිළට ගන්න සූදානම්. කොළපත් හොඳින් පිරිසිදු කරලා දෙකට කපනවා. වතුරේ පොගවා ගෙන හොඳින් මෝදනවා. එතැනින් පසුව මැෂින් එකක විනාඩි තුනක් හීට් කරල පිගානක හැඩයට කපා ගන්නවා. වනිතාභිමානි තරගවලින් වයඹ පළාතේ පළමු සහ දෙවැනි තැන ලැබුණා. මේ විදිහට මම ජාතික වගේම ජාත්‍යන්තර වශයෙනුත් නමක් ගොඩ නගා ගෙන තිබෙනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️