නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ආසියනු සවි එසවීමේදී බැරි බර උස්සලා ලංකාවේ නම ලෝකෙටම කියපු කෙල්ල
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ආසියනු සවි එසවීමේදී බැරි බර උස්සලා ලංකාවේ නම ලෝකෙටම කියපු කෙල්ල

Published January 6, 2025

ඔය බර උස්සන්න බෑ. ඕවා කරන්නේ පිරිමි. කොන්ද කඩාගන්නද හදන්නේ. පාඩුවේ පැත්තකට වෙලා ඉන්න බැරි වැඩ කරන්නේ නැතිව. හතර පැත්තෙන් ඇහුණ කතා හිතට හයියක් කරගෙනම, නෑ මට පුළුවන් කියල ලෝකෙට කියපු හිත හයිය කෙල්ලෙක් අපට හමුවුණා 2024 ආසියනු සවි එසවීමෙන් ජය අරන් ලෝකෙටම ලංකාවේ නාමය ගෙන යන්න ඇයට හැකි වුණා.

ඉතින් නදීකා ඔයා ගැන විස්තර ටිකක් කියන්නකෝ

මම නදීකා හේමන්ති. දැන් මට වයස හතළිහක්. අපේ පවුලේ හතර දෙනෙක්. අම්ම තාත්ත දෙන්න එක්ක පොඩි කාලේ ඉදන්ම ජීවන සටනට මුහුණ දුන්න කෙනෙක් මම. අපේ අම්මා කඩවල්වලට කෑම හදල විකුණුවා. තාත්තා ගල් වැඩ කළා. ඒ හැම දේකටම පොඩි කාලේ ඉදන්ම මමත් උදව් වුණා.

උදේට ඉස්කෝලේ යන්න කලින් අම්මට ඉදිආප්ප මිරිකන්න උදව් කරලා, ඉස්කෝලේ ගිහින් ආපු ගමන් තාත්ත පස්සෙන් ගල් වැඩපොළට ගියා. මම කැමැත්තෙන්මයි ගල් වැඩපොළේ වැඩ කළේ. මගේ අයියයි මල්ලියි දෙන්නත් ගල් වැඩ කරන්න එනවා. ඒ දෙන්නත් එක්ක ගිහින් හරි හරියට ගල් වැඩපොළේ වැඩ කළා.

ඒ වගේම මම ඉස්කෝලේ කාලේ ඉදන් ක්‍රීඩා කරන්න දක්ෂයි. අවුරුදු හයේ ඉදන් මැරතන් දුවනවා. පළාත් මට්ටම දක්වාම ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. ඒ විදියට බාහිර වැඩත් එක්ක දුෂ්කර ගමනකින් තමයි මම ජීවිතේ ආරම්භ කළේ. ඒෂියන් චැම්පියන් වෙන්න ඒ බාධක මට හයියක් වුණා.

ඔයා කොහොමද සවි එසවීම ගැන දැනගත්තේ?

අපේ ගෙවල් හරියේ සැලෝන් එකක වැඩ කරන අක්ක කෙනෙක් තමයි ජිම් යන එක ගැන අයිඩියා එක දුන්නේ. ඊට පස්සේ මම හස්බන් එක්ක ජිම් එකට ගියා. ඒක තමයි මේ ගමනේ මූලාරම්භය. ඊට පස්සේ Bodytone Gym එකේ අවුරුදු දෙකක් විතර ට්‍රේනින් කළා. Power Fiting ගම්පහ ක්‍රීඩා සමාජයේ Deadilift meet තරඟයක් තියෙනව කියල පෝස්ට් එකක් දැක්කා.

ඒක දැකල තමයි මුලින්ම ආසාවක් ආවේ සවි එසවීම ගැන. Bodytone එකේ මාස්ටර් මුලින් කැමති වුණේ නැහැ. ඒත් දිගටම ට්‍රයි කළාට පස්සෙ මගෙන් බේරෙන්න බැරි තැන මාස්ටර් කැමති වුණා. ඒ තරගයෙන් දින්නට පස්සේ Power liftin imantra Gym එකට ගියා. Power liftin වලට මාව ගත්තේ මිලින්ද රත්නායක මල්ලි.

ඇයි නදීකා මේ ක්ෂේත්‍රයම තෝරගත්තේ? ගොඩක් අය බයයි මේ වගේ ක්‍රීඩාවකින් ඉස්සරහට යන්න…

කාන්තාවක්වක් විදියට අපට ලැබෙන නිදහස හරි විදියට බාවිත කළොත් මම හිතනවා බාධාවක් නෑ කියලා. මම සමාජේ ඕන කෙනෙක් එක්ක කතාබහ කරලා ආශ්‍රය කරන කෙනෙක්. මට එහෙම සීමාවක් ගෙදර ඉන්න කාලෙවත් බැන්දට පස්සේ මහත්තයගෙන්වත් ඇවිත් නැහැ.

අපි අපේ සීමාවන් දැනගෙන වැඩ කරනවා නම් කාන්තාවක් කියල බේදයක් නෑ ඕනම ක්ෂේත්‍රයකින් ඉස්සරහට යන්න පුළුවන්. මම හස්බන් නැතිව කොහෙවත් යන්නෙ නෑ. ඒත් මට දවස් දහයක් අනික් ක්‍රීඩිකාවන් එක්ක නතර වෙලා සවි එසවීම් පුහුණුවීම් කරන්න වුණා. ඒ අභියෝගය

බාරගෙන ඉස්සරහට ගියා. ඒ නිසා සීමාවන් දැනගෙන අභියෝග මැඩගෙන ඉස්සරහට යන්න කාන්තා පිරිමි බේදයක් නෑ.

ආසියානු සවි එසවීමේ ජයග්‍රහණයට ආපු ගමන් මග ගැන කතා කළොත්?

මම අවුරුදු තිස් නවයෙන් තමයි සවි එසවීම පටන් ගත්තේ. අවුරුද්දකින් වගේ තමයි මේ ජයග්‍රහණ සියල්ල ලබාගන්න පුළුවන් වුණේ. 2024 ජනවාරි මම නැෂනල් චැම්පියන් වුණා. 2024 ජුලි මාසේ ශක්ති ටීම් එකෙන් චැම්පියන් වුණා.

ඊටපස්සෙ තමයි කරපු කැපකිරීම් පුහුණුවීම්වල ප්‍රතිඵලයක් විදියට ඒෂියන් මාස්ටර් එකේ සුදුසුකම් ලැබිලා ඒෂියන් චැම්පියන් විදියට ජයග්‍රහණය කරන්න හැකි වුණේ. මට 135 ට තිබුණ ශ්‍රී ලංකා Deadift වාර්තාව 145 ලෙසත් 147.5 ලෙස දෙවනුවත් අලුතින් වාර්තාවක් තියන්න පුළුවන් වුණා. ඒ වගේම ඒෂියන් චැම්පියන්වලදි එම වාර්තාව 150 ලෙස නැවත අලුත් කරන්න මට පුළුවන් වුණා.

ආසියාවෙන්ම චැම්පියන් වුණාම මොන වගේ හැගීමක්ද දැනුනේ?

දිනපු වෙලාවේ මේ විදියට ජයග්‍රහණයක් ගන්න අවුරුද්දක් ඇතුළත කරපු මහන්සිය විඳපු දුක් කරදර එක පාරටම මතක් වුණා. අන්තිමට ගල්මුල් බාධක මැදින් මගේ අරමුණ ඉටු කරගන්න පුළුවන් කියල එවෙලෙ හිතුණා. ජාතික ගීයත් එක්ක ලංකාවේ නම කියද්දී කියාගන්න බැරි සතුටක් දැනුනේ.

නදීකාට මේ ගමනේදී හස්බන්ඩ්ගෙන් ලැබුණ සහයෝගය කොහොමද?

මම විවාහ වුනේ අවුරුදු විස්සෙන්. ඉක්මණින් විවාහ වුණත් මටම ගැළපෙන ජීවන සහකරුවෙක් තමයි හම්බුණේ.හස්බන්ඩ්ගේ නම චින්තක දේවින්ද. අවුරුදු 19 දි මම පලතුරු පෙට්ටි, තැඹිලි වලු, උස්සගෙන යනව විකුණන්න. ඒ යන වෙලාවේදී පාරේදී දැකල තමයි හස්බන් මට කැමති වුණේ. හස්බන්ඩ්ගේ පවුලේ අය අපේ විවාහයට කැමති වුණේ නැතිවුණත් එයා තීරණේ වෙනස් කළේ නැහැ.

එදා ඉඳන් දැන් අවුරුදු විස්සක් මගේ හැමදේකටම පිටිපස්සෙන් ඉන්න ශක්තිය තමයි එයා. ක්‍රීඩා කටයුතුවලට තහංචි දාල නැහැ. උපරිමයෙන් උදව් කළා. ජිම් එකට අරන් ගිහින් මන් එනකම් එයා බලාගෙන ඉන්නවා. මට තරග තියෙනවා නම් එතනට මාව එක්කන් යන්නෙත් එයාමයි. ඔයාට පුළුවන් කියල මාව දිරිගන්වන්නේ මගේ හස්බන්ඩ්. ඊට අමතරව පවුලේ අය, මම ගියපු ජිම් දෙකේ වැඩ කරපු අයගෙනුත් ලොකු සහයෝගයක් ලැබුණා.

මොනවද කරපු පුහුණුවීම්.ආහාර පාලනය කළාද?

මුලදි නම් ආහාර ගැන සැලකිලිමත් වුනේ නැහැ. නමුත් ආසියන් යන්න මාස දෙකකට කලින් මම ගියපු ජිම් එකේ චමිල වෙදගේ අයියා ආහාර ගැන සැලකිලිමත් වෙන්න මාව උනන්දු කළා. සප්ලිමන්ට් පවා මට අරන් දුන්නා.

නදීකාගේ ඉදිරි අරමුණු මොනවද?

තවත් පුහුණුවීම් කරලා සවි එසවීමෙන් ඉස්සරහටම යන්න බලාපොරොත්තු වෙනවා.. ලංකාවේ නම ලෝකේටම අරන් යන එක තමයි මගේ බලාපොරොත්තුව.

අනිත් අයට කියන්න තියෙන්නේ මොනවද?

තමන් දෙයකට ආසයි නම් ඒ දේ වෙනුවෙන් මහන්සි වෙන්න ඕන. මොන දේ කළත් උත්සාහය කැපවීම නැත්නම් ඉස්සරහට යන්න බැහැ. පටන් ගත්ත ගමන් කිසිම දෙයක් අතහරින්න හොද නැහැ. පුළුවන් තරම් කැප වෙන්න ඕන. ගල්මුල් බාදකවලට පයින් ගහලා ඉස්සරහටම යන්න ඕන. විශේෂයෙන් ක්‍රීඩාවෙන් ඉස්සරහට යන කෙනෙක් නම් ගැහැනු පිරිමි බේදයක් නෑ. ඕන දෙයක් කරන්න පුළුවන් හිත ශක්තිමත් නම්.

පවනි දිලේකා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගස් එක්ක කතාකරන්නත් QR කේතයක්

May 19, 2025

දැන් ට්‍රෙන්ඩින් Open pantry Area කුස්සිය

May 19, 2025

නවකයින්ට කැම්පස් එපා කරවන නවක වදය

May 19, 2025

අවශ්‍ය අයට නොමිලේ සේවා සපයන නිශාන්තගේ කැලේ කඩේ

May 19, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?