නමක් සන්නාමයක් කරන එක ලේසි පහසු දෙයක් නොවේ. සන්නාමයක් දක්වාම තමන්ගෙ නම අරගෙන ආ ගමනෙදි නම කිව් සැණින් ක්ෂේත්රය මතක් වෙන, ක්ෂේත්රය කිව් සැණින් නම මතක් වෙන ආකාරයේ චරිත ඉන්නේ හරිම අතලොස්සයි. ඒ අතලොස්සෙන් වර්තමානයේ රූපලාවන්‍ය ක්ෂේත්රයේ ඉහළින්ම වැජඹෙන සුන්දර චරිතයක් පසුගියදාක ඔහුගේ ව්‍යාපාරයේ රිදී ජුබිලිය සැමරුවා. ඒ ‘DB’ සන්නාමයෙන් ලංකාවේ රූපලාවන්‍ය ක්ෂේත්රය දික්විජය කළ ධනංජය බණ්ඩාර
අවුරුදු 25 ක් ලේසි නෑනෙ?
ඇත්තටම ලේසි නෑ. අවුරුදු 25ක් ක්ෂේත්රයේ එක විදිහට ඉන්න එක අසීරු කාර්යයක්. විශේෂයෙන්ම වර්තමාන ලෝකය එක්ක. නමුත් මගේ මතය තමයි මම අවුරුදු 25ක් ක්ෂේත්රයේ රැඳෙන්න හේතුව මම හැම වෙලාවෙම අප්ඩේට් වෙනවා. තමනගේ ක්ෂේත්රයට අදාළව වර්තමාන ලෝකයේ මොනවද වෙන්නෙ කියන දේ ගැන යාවත්කාලීන වෙන එක තමයි මං හිතන්නේ ක්ෂේත්රයේ රැඳෙන්න ලොකු හේතුවක් වෙන්නේ. ඊළඟ කරණය තමයි මම ක්ෂේත්රයේ රැඳෙන්න නම් මට පාරිභෝගිකයො ඉන්න ඕනේ. එතකොට ඒ පාරිභෝගිකයට උසස්, ගුණාත්මක සේවාවක් දීම තුළයි මම රැඳෙන්නේ.
DB බ්‍රෑන්ඩ් එකක් කරගන්න කළ කැපවීම මොන වගේද?
ඇත්තටම කිව්වොත් ‘ධනංජය බණ්ඩාර‘ කියන නම බ්‍රෑන්ඩ් එකක් කරගන්න මං කවදාවත් මහන්සි වුණේ නෑ. මේ නම බ්‍රෑන්ඩ් එකක් බව තීරණය කළේ මම නෙවේ මිනිස්සු. අපි හිතමුකො මම ඇඳුම් මහලා විකුණනවා කියලා. එහෙම නැත්නම් මම චොක්ලට් හදනවා. එතකොට මම ප්‍රඩක්ට් එකක් තමයි විකුණන්නේ. එතනින් පස්සෙ තමයි ප්‍රඩක්ට් එකේ අයිතිකාරයව බ්‍රෑන්ඩ් එකක් විදිහට සමාජය පිළිගන්නේ. බ්‍රෑන්ඩ් එකක් කරගන්න මහන්සි නොවුණත් මම මගේ රාජකාරිය වෙනුවෙන් උපරිම මහන්සි වුණා.
බොහොම තරුණ අවධියෙදි මේ ක්ෂේත්රයට කැමැත්තක් ඇතිවුණේ ඇයි?
මම තමයි අපේ පවුලේ එකම දරුවා. ඒ දේ මගේ පවුල් පසුබිමේ තිබුණා. මගේ අම්මා, ආච්චි, ලොකු අම්මා පවුලේ මනමාලියන්ට ඇන්දුවා. ඒ කියන්නෙ ඉන්ඩස්ට්‍රි එකක් විදිහට නෙවේ. මං එතකොට පොඩි නිසා අම්මා යන යන තැන මාව එක්කන් යනවා. පොඩි ළමයෙක් ලොකු අය කරන දේවල්නෙ අනුගමනය කරන්නේ. අම්මා සාරිය අන්දනකොට මම තමයි අම්මට කටු දෙන්නේ. ඒ දේවල් එක්ක රූපලාවන්‍ය කියන දේ නිකන්ම ඇඟට ආවා. මං කවදාවත් හිතුවේ නෑ රූපලාවන්‍ය ශිල්පියෙක් වෙන්න. මගේ ලොකුම ආසාව තිබණේ ගුවන්
සේවකයෙක් හෝ චෙෆ් කෙනෙක් වෙන්න. නමුත් ඒ කාලෙ තිබුණ ආර්ථික පසුබිම එක්ක අම්මට මාව ඒ තැනට අරගෙන යන්න හැකියාවක් තිබුණෙ නෑ. මොකද අම්මා තමයි මාව තනියම හැදුවේ. ඒ නිසා මට ලොකු උවමනාවක් තිබුණා අම්මට සපෝට් එකක් වෙන්න. ඒ නිසා තමයි අවුරුදු 15ක් වගේ වයසකදි මම ක්ෂේත්රයට එන්නේ. බොහොම තරුණ වයසකදි අවුරුදු 25 සංවත්සරය සමරන්න හේතු වුණේ අඩු වයසින් ක්ෂේත්රයට පැමිණීම.
මම මනමාලියන්ට අන්දන්න පටන්ගත්තේ සාමාන්‍ය පෙළ කරනකොට. උසස් පෙළ විභාගෙ තිබුණ දවස් කීපෙ විභාගෙට සහභාගි වුණේ උදේට මනමාලියක් අන්දලා. උසස්පෙළ සමත් වෙලා මට විශ්වවිද්‍යාල වරම් ලැබුණා. නමුත් මට විශ්වවිද්‍යාලයට යන්න උවමනාවක් තිබුණේ නෑ ඒ වෙද්දිත් මම රූපලාවන්‍ය ක්ෂේත්රයෙන් මුදල් හම්බකරමින් හිටපු නිසා.
පුංචි රූපලාවන්‍ය ශිල්පියට ඒ කාලේ රස්සාවක් කරන්න වයස බාධාවක් වුණේ නැතිද?
වාසනාවකට මට එහෙම බාධාවක් ආවෙ නෑ. නවලිය වැඩමුළුවට සහභාගී වෙනකොටත් මගේ වයස අවුරුදු 16යි. වැඩමුළුව කළේ හැරිස් විජේසිංහ මාමා. ඔහු හරහා තමයි මම මේ ක්ෂේත්රයට පය තිබ්බේ. මේ වැඩසටහනෙන් පස්සෙ පාරිභෝගිකයෝ මාව හොයාගෙන ආවා. මං පාසල් ශිෂ්‍යයෙක් කියන එක කාටවත් වැදගත් වුණේ නෑ.
අවුරුදු විසි පහක් මේ ගමන එන්න ලොකුම හයිය වුණ අම්මා ගැන කතා කළොත්?
මම අද මෙතන ඉන්න හේතුව 100%ක්ම අම්මා. එයාගෙ ජීවිතේ අවුරුදු තිහක් ගෙවෙද්දිම එයාට ඉතුරු වෙන්නෙ මම විතරයි. අප්පච්චි මං ඉපදේදිම දාලා යනවා. එදා ඉඳන් මාව හදාගන්න අම්මා ගොඩක් දුක් මහන්සි වුණා. අම්මා මට හරි තදින් හිටියේ. බුරුලක් දුන්නෙම නෑ.
මං හිතන්නෙ ඒ තදකම තමයි මාව සාර්ථක මනුස්සයෙක් කළේ. මට අවුරුදු 13ක් වෙද්දි අම්මා මං වෙනුවෙන් ගෙයක් හැදුවා. එතකොට මට දැනුණ දේ තමයි මම තනි ළමයෙක්, ඒ නිසා අම්මා විතරක් මහන්සි වෙන්න හොඳ නෑ මමත් පොඩි කාලෙ ඉඳන්ම සක්‍රීය වෙන්න ඕන කියලා. මගේ අම්මට මැහුම් ව්‍යාපාරයක් තිබුණා. අම්මා මහලා දෙන ඇඳුම් මං ගිහින් විකුණලත් තියෙනවා. මට පුළුවන් කාලෙ ඉඳන්ම අම්මා මට සපෝට් කළා වගේම මම අම්මට සපෝට් කළා.
හැරිස් විජේසිංහ කියන්නේ රූපලාවන්‍ය ක්ෂේත්රයේ දැවැන්තයෙක්. ඔහු ගැන ඔබේ අදහස වචන කළොත්?
මට මුලින්ම එතුමව මුණගැහෙන්නෙ නවලිය වැඩමුළුවෙන්. නමුත් ඊට කලින් මනමාලියෙක්ට අන්දන්න සාරි හොයාගන්න ඕනනේ. මම එක සාරියක් ඉල්ලගන්න දයානන්ද ද සිල්වා මහත්මයා ළඟට ගියාම ඔහු මට සාරි තුනකුයි වේල් තුනකුයි දුන්නා. එතුමා තමයි ඒ කාලෙ දකුණු පළාතේ හිටපු ප්‍රධාන පෙලේ රූපලාවන්‍ය ශිල්පියා. මම මේ වෙලාවෙ පළමුවෙන්ම සිහිපත් කරන්නේ එතුමව.
දෙවනියට තමයි හැරිස් මාමව මට හම්බෙන්නේ. වැඩමුළුව ඉවර වෙලා හැරිස් මාමා කිව්වා “මම අද දවසෙ දැකපු ලස්සනම මනමාලි තමයි මේ පුංචි පුතා අන්දපු මනමාලි” කියලා. හැරිස් මාමා එදා ඒ කියපු වචන නිසා පත්තර, රූපවාහිනී නාළිකා ගණනාවක් මාව ඉන්ටවීව් කළා.
වැඩමුළුවෙන් පස්සෙ මාව දිගින් දිගටම හැරිස් මාමා එක්ක සම්බන්ධ කරවන්නේ දයාන් විතාරණ මහත්මයා. මම හැරිස් මාමව මුණගැහෙන්න ගියාම මාව ළඟට කතා කරවගෙන මට පෙන්නනවා මනමාලියො අන්දවන හැටි. එතුමා තමයි මනාලියන් හැඩගැන්වීමේ ක්ෂේත්රයේ පියා. මේ ක්ෂේත්රයේ මව විදිහට මං සලකන්නේ රමණි ෆර්නෑන්ඩු. මේ දෙන්නා තමයි මගේ පරමාදර්ශී චරිත දෙක.
එදා ඔබ වැඩමුළුවට සහභාගී වෙන්නෙ අම්මගෙ මාලයක් උකස් කරලා ගත්ත මුදල්වලින්?
ඔව්. වැඩමුළුවට එන්න මම අයදුම් පත් දැම්මට ඒ කාලෙ මනමාලියක් අන්දන්න උවමනා දේවල් මුකුත් මං ගාව තිබුණේ නෑ. සාරි, වේල්, මල් පොකුරක්, ආභරණ, මේක්අප් මුකුත් නෑ. මම පානදුර ඉඳන් කොලඹට එන්නත් ඕනේ. මේ වැඩ සේරම කරගන්න අම්මා එයාගෙ මාලයක් උකස් කරලා තමයි මට සල්ලි හොයලා දුන්නේ.
එදා ඒ වැඩමුළුවට අනුග්‍රහය දැක්වුවේ සාරි මන්දීර්. ඒක තමයි හැරිස් විජේසිංහ මහත්මයාගේ පළවෙනිම වැඩමුළුව. ඔහුගේ පළමු වැඩමුළුවෙන්ම රූපලාවන්‍ය ශිල්පියෙක් විදිහට සමාජගත වෙන්න ලැබුණ එක අදටත් භාග්‍යයක් විදිහටයි මං සලකන්නේ. ඒක මට මේ ක්ෂේත්රයට එන්න විශ්වයෙන් විවෘත කරලා දුන්නු පාරක්.
පිරිමි ළමයෙක් මේ ක්ෂේත්රයට අවතීර්ණ වීම ගැන පාසලේ යාළුවො දැරුවේ මොනවගේ අදහසක්ද?
මම මුලින්ම ගියෙ පානදුර සෙන් ජෝන්ස් පෞද්ගලික පාසලට. ඊටපස්සෙ පානදුර රාජකීයට. ක්ෂේත්රයට ඇවිත් අවුරුද්දක් විතර යද්දි යාළුවො මගෙන් ඇහුවා ඇයි බන් උඹ මේ වගේ ක්ෂේත්රයක් තෝරගත්තෙ කියලා. මම ගියෙත් බෝයිස් ස්කූල් එකකටනේ.
ඒ එක යාළුවෙක්ගෙන් බේරෙන්න බැරි තැන මං එක දවසක් කිව්වා ඔයා මතක තියාගන්න මං කවදහරි මේ ඉන්ඩස්ට්‍රි එකේ නම්බර් වන් වෙලා තමයි නවතින්නේ කියලා. ඒක මං කිව්වේ යාළුවගෙන් බේරෙන්න තියෙන උවමනාවට මිස දුරදිග බලලා නෙවේ. මට ඒ යාළුවා අවුරුදු ගාණකට පස්සෙ හම්බෙලා කිව්වා “උඹට මතකද උඹ මට මෙහෙම කිව්වා උඹ ඒක ඇත්තටම ඔප්පු කළා” කියලා.
ඇතැම් අය කියන දෙයක් තමයි රූපලාවන්‍ය ශිල්පිණියන්ට වඩා ශිල්පියෙකුගේ හැකියාව ඉහළයි කියලා ඔබට ඒ ගැන තියෙන්නෙ මොනවගේ අදහසක්ද?
ඒකනම් කියන්න අමාරුයි. මොකද දක්ෂ රුපලාවන්‍ය ශිල්පිණියන් ඉන්නවා. ඒත් එතන ජෙන්ඩර් ඩිෆරන්ස් එක තියෙනවා ඇති. ඒ කියන්නෙ ගැහැනු කෙනෙක්ව පිරිමියෙක්ට පරිපූර්ණව දැකීමේ හැකියාවක් ඇති ඒක ගෑනු පිරිමි බේදයට වැඩිය පර්ෆෙක්ෂන් එක දැකීමේ හැකියාව.
මට කියලා තියෙනවා සමහරු ඔයා තමයි මේ ක්ෂේත්රයේ දැනට ඉන්න හොඳම කෙනා කියලා. නමුත් මම ඒක පිළිගන්න අකමැතියි. මට වඩා හොඳ අය ඉන්න බව මං විශ්වාස කරනවා. හැබැයි මං පිළිගන්නවා මම මේ ක්ෂේත්රයේ ප්‍රධාන නම් අතර ඉන්න බව. ඒකට හේතුව මනමාලියක් අන්දන්න දක්ෂ වීමම නෙවේ. සිතුවිලි, පරිපාලනය, තමන්ගෙ ගති පැවතුම්, තමන්ගෙ ව්‍යාපාරය කළමනාකරණය සහ අඳින පළඳින විදිහත් ඒකට හේතු වෙනවා.
අප්පච්චිත් නැතුව ඉපදුණ දවසෙ ඉඳන් තනියම හදාවඩාගත්තු පුතා අද ඉන්න තැන ගැන අම්මා මුකුත් කියලා නැද්ද?
අපේ අම්මා තවමත් මට කමෙන්ට්ස් දෙනවා අඩුයි. එයා හදවතින්ම සතුටු වෙන බව මං දන්නවා. මොකද එයාගෙ මහන්සියෙන්නෙ මං අද මෙතන ඉන්නේ. ඒක තවමත් එහෙමයි. නමුත් කවදාවත් මං ගැන කමෙන්ට්ස් මට දෙන්නෙ නෑ. එයාගෙ යාළුවො එක්ක එයා ඒවා ෂෙයා කරගන්නවා. අදටත් මගේ හොඳම විචාරකයා සහ විවේචකයා අම්මා. ලෝකයක් මගේ වැඩ ලස්සනයි කිව්වත් එයා මගේ අඩුපාඩුමයි පෙන්නන්නේ. වෙලාවකට මගේ හිත රිදුණත් මං දන්නවා අම්මා ඒ දේ කරන්නෙ මාව තව තවත් ශක්තිමත් කරවන්න කියලා.
ඔබ අවුරුදු 25 සංවත්සරය සැමරුවේ වෙනස්ම ආකාරයකට අම්මා මගෙන් ඇහුවා මගේ අවුරුදු විසි පහේ සංවත්සරයට මොකද්ද කරන්න ඉන්නෙ කියලා. මං හිතුවා මගේ අවුරුදු විසි පහ සමරන්න ඕනෙ මාව මෙතනට ගේන්න මං වෙනුවෙන් දරදිය ඇද්ද කොටස එක්ක කියලා. ඒ අය වෙනුවෙනුයි එදා රාත්‍රිය වෙන්වුණේ. විශේෂයෙන්ම මගේ කාර්ය මණ්ඩලය. මගේ පළවෙනි කාර්ය මණ්ඩලයේ ඉඳන් මේ වෙනකල්ම හිටපු සියලුම අය එදා පැමිණියා. එයාලට කලගුණ සැලකීමක් කරන්න මට උවමනා වෙලා තිබුණා. ඒ විදිහටයි මං මගේ අවුරුදු 25 සැමරුවේ.
එරංදි කෞශල්‍යා ✍️