පැවැත්ම වෙනුවෙන් හැල්මේ දුවන කාර්යබහුල ජීවිතවලට පුංචි හරි සැනසීමක් දෙන්න ගෙදරක ඉන්නම ඕන, තමන්ගෙ ආදරණීයයන් දැක්කගමන් නිතර හෙලවෙන නැට්ටක් තියෙන යාළුවෙක්. සුරතල් බල්ලෙක් කියන්නේ පීඩාකාරී මනසට පුදුමාකාර සැනසීමක්. බල්ලොත් මිනිස්සු වගේම විවිධ වංශවලට අයිති වුණාට, මේ හැම බල්ලෙක්ටම තමන්ගෙ ස්වාමියා වෙනුවෙන් තියෙන්නෙ එකම ආදරයක්, ලෙංගතුකමක්. ඒ ආදරේට වල් බල්ලෙක්ද, හොඳ වර්ගෙක බල්ලෙක්ද කියන දේ අදාළ නෑ. ඒත් අපේ රටේ ඔය ‘වල් බල්ලා‘ කියන ශ්‍රී ලංකන් හවුන්ඩ් වර්ගයේ බල්ලන්ට ලැබෙන්නෙත් බලු සැලකිලිම තමයි. එහෙමත්ම මනුස්සයෙක් තමයි ‘වල්‘ කියලා අහක නොබලා එහෙම බල්ලෙක්ට වුණත් තමන්ගෙ ගෙදර ඉඩක් වෙන් දෙන්නෙ.
බොහෝදෙනෙක් නොදන්නවා වුණාට වීදිවල තනිවෙලා ඉන්න, තුවාල වුණ ශ්‍රී ලංකන් හවුන්ඩ්ස්ලට වෙනසක් නැතුව ආදරේ කරන විදේශිකයොනම් එමටයි. ඒ සමහරක් බලු ජීවිත සුගතියට පත්වෙන්නෙත් එහෙම කරුණාවන්ත හදවත් නිසයි. පහුගිය අවුරුද්දේ රාගමදි මාළු මන්නෙකින් හොම්බට කොටපු බලු යාළුවෙකුත් මේ වෙද්දි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඒ වගේම ජීවිතේ ඉතිරි කාලය සුන්දර මිනිස්සු දෙන්නෙක් එක්ක ඔස්ට්‍රියාව වගේ ලස්සන රටක ගෙවන්නට වාසනාවන්ත වුණ බලු කෙල්ලෙක් ගැන අපූරු පුවතක් පහුගියදාක අහන්නට ලැබුණා.
මේ බලු කෙල්ල ගැන කතා කරන්න කලින් එයාට අම්මයි තාත්තයි වුණ කරුණාවන්ත ඔස්ට්‍රියා යුවල ගැන අපි කතා කළ යුතුයි. ඔවුන් නමින් ලිලී සහ ටොම්. ලිලී සහ ටොම් ලංකාවට ආවේ දවස් 21 ක සංචාරයක් වෙනුවෙනුයි. ඔවුන්ගේ එක් ගමනාන්තයක් වුණේ මීගමුව. ඔවුන්ගෙත් මේ බලු කෙල්ලගෙත් දෛවෝපගත හමුවීම සිද්ධ වෙන්නෙ එහෙදි. මීගමුවේ හිටපු දවස් දෙකේදි ලිලීලා නැවතුණු නවාතැන ගාව පාරෙදි ඔවුන් දකිනවා තුවාල වුණ බලු කෙල්ලෙක්ව. එතනින් පස්සෙ කුමක් හෝ දැනුණු ලෙංගතුකමක් නිසා ලිලීලා යන හැමතැනකම මේ බලු කෙල්ල ආවා ගියා. තුවාල තිබුණයි කියලා ලිලී සහ ටොම් ඇයව එලෙව්වෙ නෑ.
ලිලීලගේ අරමුණ වුණේ ත්‍රීවිල් රථයක් කුලියට අරගෙන මීගමුව වටා ඇවිදින්න. ඊට අදාළ ලියකියවිලි බාරදෙන්න ත්‍රීවිල් රථයේ හිමිකරු ලිලීලව රැගෙන යද්දි ඒ වාහනේ පස්සෙන් බලු කෙල්ල දුවගෙන ගියත් ඇයට ලලීලව හොයාගන්න බැරුව අතරමං වෙලා තිබුණා. නමුත් ලිලීලා ත්‍රීවිල් රථය අරගෙන ආයෙත් තමන්ගෙ පස්සෙන් දුවන් ආපු බැල්ලව හොයාගෙන ආවා. නමුත් ඔවුන්ට ඇයව හමුවුණේ නෑ.
ඒ නිසා ලිලී හිටියේ සෑහෙන දුකකින්. පහුවදා ලිලීලා එන්නෙ මීගමුවේ තියෙන ‘Cilantro’ කියන අවන්හලට. අපිට මේ අපූරු කතාව කීවෙත් මේ අවන්හලේ හිමිකාරිණිය වන නිපුණිකා දීමන්ති. ලිලී නිපුණිකාගෙන් ඉල්ලලා තිබුණේ මේ බලු කෙල්ලව කොහොමහරි හොයලා දෙන්න කියලා. නමුත් නිපුණිකාත් කොච්චර හෙව්වත් ඇයව හමුවුණේ නෑ.
ඊටපස්සෙයි ඔවුන් තීරණය කරන්නේ ඇයව යළිත් මුණගැසුණොත් අනිවාර්යයෙන්ම ඇයව හදාගන්නවා කියලා. ඒ අනුව සුරතලුන් තමන්ගේ රටට ගෙනගොස් හදාවඩාගන්නට කැමති අය වෙනුවෙන් සියලු ලිපි ලේඛන සකසා ඒ රටට යනතෙක් සුරතලුන්ව බලාගන්නා ජර්මන් ජාතික පශු වෛද්‍යවරියකට බලු කෙල්ලගෙ පින්තූරයක් පෙන්නපු ලිලී ඇයට කියලා තිබුණේ කොහොමහරි බැල්ලව හොයාගත්තොත් පණිවිඩයක් තමන්ට දන්වන ලෙසයි. නමුත් පශු වෛද්‍යවරියටත් ඇයව හමුවුණේ නෑ.
ලිලී ඒ වෙද්දි හිටියේ මේ අසරණ බැල්ල තමන්ට මගහැරුණු දුකින්. නමුත් ලංකා සංචාරය අහවර කරන්න ඕන නිසා ඔවුන් දෙන්නා තීරණය කරනවා අනෙක් ස්ථානයන්ට ගිහින් ආයෙත් මීගමුවට ඇවිත් ඇයව හොයාගන්න. ලංකාව වටේ ඇවිදලා තමන්ගේ සංචාරය අවසන් කළ ලිලී සහ ටොම් ආයෙත් මීගමුව එනවා.
ආයෙමත් ඇයව හොයාගන්න මුළු මීගමුවම ඔවුන් පීරුවා. ඇයව හොයාගන්න බැරි වුණ දුකින් ලීලී, ටොම් මීගමුවෙම තවත් දිනයක් දෙකක් ගෙවද්දි මේ බලු කෙල්ලම ලිලීලව හොයාගෙන ආවේ ලිලීගේ හදවත සතුටින් උතුරවමින්. ඔවුන් එදින පටන් තමන්ගේ සුරතලී වෙන්න සූදානම් වෙන මේ බැල්ලට නමක් දානවා ‘ඉගී’ කියලා.
ඉගීව ලිලීට මුණගැහෙනකොට ඇය හිටියේ හරිම දුර්වල වෙල. ඇයට ඉඳගන්න තරම්වත් ශක්තියක් තිබුණේ නෑ. ඒ නිසා ලෙඩ සතෙක්ව පිටරටකට යවද්දි සිදුකෙරෙන විශේෂ වෛද්‍ය ක්‍රියාවලියකට පසුව ඉගීව හොඳටම හොඳ කරලා ලිලීලා ගිහින් මාසයකට විතර පස්සේ ඉගීව ඕස්ට්‍රේලියාවට පිටත් කළා. ඉගීව තමන්ගේ ඕස්ට්‍රේලියා ගෙදරට පිළිගන්න ලිලී මාසයක් ඇඟිලි ගැන ගැන බලන් හිටියා.
අවසානයේ ඉගී සදහටම තමන්ගෙ කටුක ජීවිතේට සමුදීලා ඉගී සහ ටොම් ගාවට ගියේ ඒ විදිහටයි. මේ ආදරණීය කතාව අපි එක්ක බෙදාගත්ත නිපුණිකා දීමන්ති තවත් වටිනා කතාවක් ඊට එකතු කළා.
“ලංකාවෙ බහුතරයක් මනුස්සයින්ගෙ නොදකින කරුනාවන්තකමක් මේ විදේශිකයන්ගෙන් දකිනවා. තමන් කාලා බාගයක් ඉතුරු කරලා අපේ රෙස්ටෝරන්ට් එක ඉස්සරහම මේ සුද්දො සුද්දියො කෑම දෙනවා. ඒ වගේම තව ජෝඩුවක් ආවා. ඒ දෙන්නා ජර්මනියේ. අපිට සල්ලි දීලා අපිට කියලම වෙනම කුකුල් මස් හදාගෙන ගිහින් බල්ලන්ට කන්න දෙනවා. අපි හැමෝම මැරෙන මිනිස්සු. අරගෙන යද්දි අරං යන්නෙ කරපු හොඳක් විතරයි.
මමයි මගෙ මහත්තයයි මොන තරම් කතා අහනවද අපේ මිනිස්සුන්ගෙන් කන්න ටිකක් මේ සත්තුන්ට දෙනවට. දන් දීමෙන් නැති වුණ මනුස්සයෙක් මේ ලෝකෙ නෑ. දීමෙන් තමා ලැබෙන්නේ. නොලැබුනත් ඒ සැනසීමම අපිට ඇති නිවනට, ස්වර්ගයට යන්න හෝ ආයෙ ඉපදෙන්න.”
මීගමුව පුරවරයේ මේ විදිහට ලස්සන වුණ අහිංසක ජීවිත බොහොමයක් ඉන්නවා. ඒ ජීවිත වැඩිහරියක් ලස්සන කරන්නේ විදේශිකයොයි. ඇඟ පුරාම තුවාල කරන්, පණ නැතුව හිටපු ඉගීට පිහිටවුණ ලිලී සහ ටොම් කියන්නේ ගෙදර හදපු බැල්ල පැටවු ගහපු ගමන් පන්සල් වත්තට ගෙනත් දාන ලංකාවේ උපසක උපාසිකාවොන්ට හොඳ ආදර්ශයක්.
එරංදි කෞශල්‍යා ✍️