අද වනවිට අපේ සමාජයේ රහතන්වහන්සේලා වැඩ වසනවාදැයි වූ ගැටළුවක් බොහෝ දෙනාගේ සැකයට තුඩු දී තිබෙනවා. මෙවැනි විචිකිච්ඡාවකින් පසුවන ජන සමාජය අතර තවත් විටෙක “ මම රහත් ”… යැයි ලෝකයට ප්‍රකාශ කරන පිරිසක්ද සිටිනවා. මෙවැනි මතවාද අතර අද වනවිට තමන් රහත් එසේත් නැත්නම් සෝවාන්, සකෘදාගාමී, අනාගාමි යැයි තමන් හඳුන්වා ගන්නා පිරිසක්ද සිටිනවා. එහෙමනම් අපි රහතන් වහන්සේ නමක් හඳුනා ගන්නේ කෙසේද… ? අපට හැම දෙයක්ම හඳුනා ගන්නා අනන්‍යතාවයක් තිබුණත් කෙලෙස් බරිත ලෝකයක ක්ලේශ ප්‍රහීන කරන ලද පුද්ගලයෙක් බාහිර පෙනුමෙන් හඳුනා ගැනීමට බැහැ. ඒ විතරක් නොවෙයි, මම සෝවාන්… මම සකෘදාගාමී යැයි යමෙකු කිව්වත් බාහිර ලෝකයාට එය තහවුරු කර ගැනීමට බැහැ.
පණ්ඩිත පුද්ගලයා හඳුනා ගැනීම…
බුදුරජාණන්වහන්සේගේ කාලයේදී ලකුණ්ටක භද්ධිය නමින් හඳුන්වන මිටි ස්වාමින්වහන්සේ නමක් වැඩ වාසය කළා. ඒ නිසාම සෙසු භික්ෂුන්වහන්සේලා විසින් ලකුණ්ටක භද්ධිය භික්ෂුන්වහන්සේට උසුළු විසුළු කරන්න පටන් ගත්තා. මිට්ටා…, කුරා යැයි නම් පටබැන්දා. කොතරම් කෙනහිලිනම් කළත් ලකුණ්ටක භද්ධිය හාමුදුරුවන් ඒ කිසිම දෙයකට සැළුනේ නැහැ. මේ නොසැලී සිටීමත් අනෙකුත් භික්ෂුන් වහන්සේලාට ගැටළුවක් වුණා. ඒ භික්ෂුන්වහන්සේලා බුදුරජාණන්වහන්සේ වෙතට ගොස් මේ විදිහට කියනවා. ස්වාමීන් බුදුරජාණන්වහන්ස, ලකුණ්ටක භද්ධිය ස්වාමින්වහන්සේට අපි කොතරම් උසුළු විසුළු කළත් ඒ ගැන කිපෙන්නෙත් නැහැ. කම්පා වෙන්නෙත් නැහැ. පෙරලා අපට දොස් නගන්නෙත් නැහැ. ඊට හේතුව කුමක්ද…? මේ භික්ෂූන්වහ්නසේලා බුදුරජාණන්වහන්සේගෙන් විමසා සිටියා. ඒ අවස්ථාවේදී බුදුරජාණන්වහන්සේ පැමිණි සිටි භික්සුන්වහ්නසේලා අමතා මේ ගාථාව දේශනා කළ සේක. අට ලෝ දහමට කම්පා නොවීම…
සෙලෝ යථා ඒක ඝනො- වාතෙන න සමීරති
ඒවං නින්දා පසංසාසු- න සමිජ්ජන්ති පණ්ඩිතා…
විශාල ගල් පර්වතයක් සුළගට නොසැලෙන්නේ යම් සේද, පණ්ඩිත පුද්ගලයා නින්දා, ප්රශංසාවලදී නොසැලී සිටිති. කොටින්ම පණ්ඩිත පුද්ගලයා අට ලෝ දහමෙන් කම්පා නොවෙන්නේය. එසේම ලකුණ්ටක භද්ධිය භික්ෂුන් වහන්සේ රහත් මාර්ගයට පත්ව ඇත. එහෙයින් උන්වහන්සේ පණ්ඩිතයකි. ඔබ විසින් කොතෙකුත් නින්දා, අවමන් කළත් උන්වහන්සේ නොසැලී සිටින්නේ පණ්ඩිත හෙවත් අටලෝ දහමෙන් කම්පා නොවීමේ පණ්ඩිතමානී ගුණය නිසා යැයි බුදුරජාණන්වහන්සේ වදාළ සේක.
රහතන්වහන්සේ යනු…
මේ අන්දමින් බලන විට රහතන්වහ්නසේ නමක් අපට බාහිරව හඳුනාගැනීමට හැකියාවක් නැහැ. රහතන්වහ්නසේ නමක් නම් ක්‍රියාවෙන්, මනසින් වගේම වචනයෙන් සංවරයි. සිත, කය සහ වචනය යන තුන්දොර සංවර වූ උතුමන් රහතන් වහන්සේය. රහත් බවට පත් ආර්ය උත්තමයෙකු නම් කෙලෙස් බරිත සමාජය සමග ගැටෙන්නේ නැහැ. මම රහත් යැයි කියමින් සමාජයේ බැබලීමට උත්සහ කරන්නේ නැහැ. ඒ ගැන විවේචන කරන අය ගැන
කිපෙන්නේ නැහැ. දොස් නගන්නේ නැහැ. මගේ රහත් බව ගැන විවේචන කරන අයට මම අභියෝග කරනවා යැයි පාරම් බාමින් කටමැත දොඩවන්නේ නැහැ. සිත, කය, වචනය යන තුන් දොර සංවර කර ගෙන ලෝභ, ද්වේශ, මෝහ යන ක්ලේශ මූල දුරු කරගත් ආර්ය උතුමන් තමන්ගේචරිතය සමාජයේ බැබලීමට වෙහෙසෙන්නේ නැහැ.
අනුන්ගේ රහත් බව සොයන්නත් එපා…
මේ අතරේ අප සමාජයේ තවත් පිරිසක් සිටිනවා. අර හාමුදුරුවෝ රහත්ද… අර පුද්ගලයා සෝවාන් කියන්නේ ඇත්තද… ? මේ වගේ අනුන්ගේ මාර්ගඵල ලාබී වීම ගැන සොයමින් කාලය ගත කරනවා. යම් පුද්ගලයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම වෙනුවෙන් ඒ වගේ විමසීමක් කිරීම ගැටළුවක් නොවෙයි.
නමුත් අපි මරණයට පත් වෙන බව දැනගෙන කුසල කම්ම රැස් කර ගැනීම මිස තවත් අයෙකුගේ මාර්ගඵලලාභිත්වය ගැන සෙවීම අදාල නැහැ.අද අද එයි මරු පින් කැරගන්නේ කෙලෙසද සෙට මරු නේති සිතන්නේ මරණයට වෙලාවක් නැහැ. ජීවිතය ඒ තරමටම අනිත්‍යයි. බුදුරජාණණ්වහන්සේ දේශනා කළ අන්දමට ජීවිතය තණ අග පිනි බිඳුවක් වගෙයි. ඒ තරමටම නිත්‍ය පැවැත්මක් නැහැ. වයසක්, කාලයක් නැහැ. සත්පුරුෂයෙකු නම් තමන්ගේ ජීවිතය ගොඩ නගා ගෙන දෙළොව වැඩ පිණිස හැසිරෙනු විනා වෙනත් දේ ගැන විපරම් කිරීම අදාලම නැහැ.
රහත් වෙන්න පුළුවන්ද…?
දැන් ඔබ මේ විදිහට ප්‍රශ්නයක් අසාවි. බුදුරජාණන්වහන්සේ නමක් නොමැතිව අපට රහත් වීමට පුළුවනිද…? බුදුරජාණන්වහන්සේ පිරිනිවන්පා වදාළ නමුත් උන්වහන්සේගේ ධර්මය තවමත් පවතිනවා. අනුරාධපුරයේ මහරහතන් වහන්සේලා අහසින් ගමන් ගත් බවට අපේ ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. ලංකාවට බුදුදහමේ පණිවිඩය ලැබුණේ බුදුරජාණන්වහ්නසේ පිරිනිවන්පා වදාල පසුව බැව් අප දන්නවා. නමුත් ලංකාවට බුදුදහම ස්ථාපිත වීමෙන් පසුව මහ රහතන්වහන්සේලා වැඩ වාසය කළා නම් අදටත් රහත්බව ලැබීමට නොහැකියාවක් නැහැ. අපි සරල උදාහරණයකින් ඒ බව පැහැදිළි කරමු. අපට උයන්න අවශ්‍යයි.
එළවලු සියල්ල තිබෙනවා. තුනපහ, ඉන්ධන ඉවුම් පිහුම් කරන කලමනා තිබෙනවා. මේ සියල්ල තිබියදී අපි උයන්නේ නැතුව උදාසීනව සිටියොත් වෙන්නේ කුසගින්නේ සිටීම බැව් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. නමුත් අපි අලස නොවී මේ පහසුකම් සියල්ල ගළපා ගෙන ආහාර සකස් කර ගතහොත් කුසගින්නේ සිටින්න අවශ්‍ය නැහැ. ඒ වගේම අපට තවමත් බුදුරජාණන්වහ්නසේ දේශනා කරන ලද ධර්මය ජීවමනයි.
චතුරාර්ය සත්‍යය, ආර්ය අෂ්ටාංගික ධර්ම මාර්ගය අනුගමනය කිරීමට කිසිම බාධාවක් නැහැ. මේ ධර්ම මාර්ගය අනුව සෝවාන්, සකෘදාගාමී, අනාගාමී අරහත්ඵල ලබන්න හැකියාව තිබෙනවා. එහෙමනම්… රහත් යැයි කියා ගන්නා පුහුදුන් පුද්ගලයන් ගැන සොයමින් වෙහෙසෙනවාට වඩා ධර්ම මාර්ගය අනුව අපේ ජීවිත හැඩ ගසා ගැනීම වඩාත් ඵලදායක නොවේද? මග හොඳට තිබේනම්- යන්න දෑසත් පෙනේ නම් මංමුලාවුවන් සේ අපි බැදිවල යා යුතු නොවේ.
කිරිබත්ගොඩ, තැඹිලිගස්මුල්ල
ශ්රීි ධීරානන්ද විද්‍යායතනයේ ආචාර්ය,
කඩවත “සිතු රුවන” මනෝවිද්‍යා
උපදේශන මධ්‍යස්ථානයේ අනුශාසක
පුජ්‍යපාද ශාස්ත්‍රපති කොටියාගල සීවලී ස්වාමින්වහන්සේ
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️