දියඇල්ලක් එක දිගට ගලන් යන්නෙ නැහැ. ගල් පර අතරින් පෙණ බුබුළු නංවගෙන ලැසි ගමනින් තමයි ගලන් යන්නේ. හැබැයි ඒ දිය ඇල්ල දකිද්දී හැමෝගෙම හිත නිවෙනවා. ගල් පර අතරින් දිය මං පාදගෙන යන නිසා ඈතට බලද්දී හරිම ලස්සනයි. අපේ ජීවිතෙත් ගලාගෙන යන දිය ඇල්ලක් වගේ. එක සීරුවට ගලන් යන්නෙ නැහැ. හැලහැප්පීම් බාධක එනවා. හැමදාම රෝස මල් මාවතක ගියොත් ජීවිතෙත් හරි නීරසයි. එන බාධකවලට පයින් ගහල ජීවිතේ දිනන්න පන්නරයක් කරගත්තොත් ආපහු හැරිල බලද්දී හිතට දැනෙන්නේ හරි සතුටක්. ගාල්ල කොට්ටාව පදිංචි ලෙෂිනි සත්සරණි කියන්නෙත් ඒ වගේ හිත හයිය සිත්තරාවියක්. එයා චිත්‍ර අඳින්නේ හුස්මත් එක්ක සටන් කරන ගමන්. පෙණහළුවල පවතින රෝගී තත්ත්වයක් නිසා එයා හුස්ම ගන්නේ පිටතින් ගන්න ඔක්සිජන්වලින්. ඒත් මොන බාධක ආවත් ජීවිතේට පන්නරයක් කරගෙන ඉස්සරහට යන්න ලෙෂිනි අමතක කළේ නැහැ. Wow Art with leshi FB පිටුවේ චිත්‍ර අඳින මේ අපූරු සිත්තරාවිය ගැන අද වෙනකොට හැමෝම දන්නවා.
ලෙෂිනි කොහොමද චිත්‍ර අඳින්න ගත්තේ?
මම පොඩි කාලේ ඉඳන්ම චිත්‍ර අඳින්න ආසයි. ඒ නිසා ඉස්කෝලේදි විෂයක් විදියටත් චිත්‍ර ඉගෙනගත්තා. ඒත් මම ඒලෙවල්වලට කරේ බයෝ සයන්ස්. මගේ හීනය වුණේ ඩොක්ටර් කෙනෙක් වෙන එක. ඒත් ඒලෙවල් කරද්දි අසනීප තත්ත්වය වැඩි වුණා. ඒක නිසා ඒලෙවල් හරියට කරගන්න අමාරු වුණා.
ඒකත් එක්ක මන් හිටපු තැනින් කඩාගෙන වැටුණා. මානසිකව ලොකු වේදනාවකින් හිටියේ. ඒ කාලේ තමයි මම චිත්‍ර අඳින්න ගත්තේ. චිත්‍ර නිසාම හිතේ දුක අඩුවෙලා මගේ හිත ශක්තිමත් කරගන්න පුළුවන් වුණා. මනස සුවපත් කරගන්න ඒ වෙලාවේ මට ඔසුවක් වුණේ මං අඳින චිත්‍ර. චිත්‍රයක් අඳින වෙලාවට මට දැනෙන්නේ හැම ප්‍රශ්නෙම නැති වෙලා වෙනම ලෝකෙක ඉන්නවා වගේ හැඟීමක්.
දැන් ලෙෂිනි සුවෙන් ඉන්නවද?
මගේ අසනීප තත්ත්වය පොඩි කාලේ ඉඳන්ම තිබ්බා. අවුරුදු අටේදී Rheumatoid arthritis නමින් සන්ධි සම්බන්ධ රෝගයක් තියෙන බව දැනගත්තා. ඒ නිසා පොඩි කාලේ ඉඳන්ම රෝග තත්ත්වය පාලනය කරගන්න බෙහෙත් ගන්න සිද්ද වුණා. ඒත් දිගටම බෙහෙත් ගනිද්දී අතුරු ආබාධයක් විදියට මට හුස්ම ගන්න අපහසු වුණා. හතිය වගේ ආවා. ඒත් ඒක ගැන ලොකු තැකීමක් කළේ නැහැ.
ඒත් පස්සෙ බලද්දි මගේ පෙණහළුවලට හොඳටම හානි වෙලා තිබුණා. දැන් මම ඒ නිසා පිටින් ඔක්සිජන් ගන්නේ. තවමත් මේ අසනීප තත්ත්වයට නිශ්චිත බෙහෙතක් හොයාගෙන නැහැ. පාලනයක් තමයි වෙන්නේ. පෙනහළුවල තන්තු ගොඩක් ඝණ වෙලා නිසා නිට්ටාවටම බෙහෙත්වලින් සුව කරන්න අමාරුයි. ඒ නිසා තවමත් බෙහෙත් ගන්නවා.
ලෙෂිනි මොන වගේ චිත්රද අදින්නේ?
මම අලුත් දේවල් ට්‍රයි කරනවා. චිත්‍ර එක්කම ඉන්න නිසා මගේ සම්පූර්ණ කාලේම වැය වෙන්නේ අලුත් දේවල් හොයන්න. කැන්වස් ආර්ට්, පෝට්රේට් ආර්ට් ග්‍රැෆික් ආර්ට් වගේ හැමදෙයක්ම කරනවා. පැන්සල්, පෑන්, පාට පැන්සල්, තෙල් සායම් වගේ මාධ්‍ය ගණනාවකින්ම චිත්‍ර අඳිනවා.
මුලින්ම ලැබුන ඕඩර් එක ගැන කිව්වොත්
මගේ පාසලේ හොඳම යාළුවෙක් තමයි පළවෙනි ඕඩර් එක දුන්නේ. උසස් පෙළ කරන කාලේ තමයි මම ඒක ඇන්දේ. එයාට ඇඳල දුන්නේ Portrait art එකක්. මුදලකට කරපු පළවෙනි චිත්‍රය ඒක. අද වෙද්දී ගොඩක් ඕඩර් ලැබෙනවා. අසනීප තත්ත්වයත් එක්ක මට දරාගන්න පුළුවන් තටමට ඕඩර් බාර අරගෙන චිත්‍ර ඇඳලා දෙනවා.
ලංකාවේ විතරද ඉල්ලුම තියෙන්නේ?
නැහැ. සමහර ඕඩර් පිටරට ඉන්න අයගෙනුත් ලැබෙනව රටවල් කීපයකට ඒ විදියට ආපු ඕඩර්ස් යවල තියෙනවා. කස්ටමර් ඉල්ලන විදියට මම චිත්‍ර ඇඳල දෙනවා.
ලෙශිනි ඇයි චිත්‍ර ටික්ටොක් එකට දාන්න පෙළඹුණේ?
මගේ අසනීප තත්ත්වයත් එක්ක මම ගෙදරටම හිර වුණා. පන්ති යන්න ඉස්කෝලේ යන්න විදියක් තිබුණේ නැහැ. ඒකත් එක්ක පාඩම් වැඩ කරන්නත් තිබ්බා.
විභාගය කරගන්න ඕන කියන හිතේ වුවමනාව තදටම තිබුණා. ආපු ස්ට්‍රෙස් එක නැතිකරගත්තේ චිත්රවලින්. මම ඇඳපු චිත්‍ර දකිද්දී ඇති වෙන්නේ ලොකු සතුටක්. ඒ නිසා ඒවා සෝශල් මීඩියාවලට අප්ලෝඩ් කළා.
කොහොමද ලෙෂිනිට ලැබෙන ප්‍රතිචාර?
මුලදී නම් මම චිත්‍ර විතරයි අප්ලෝඩ් කළේ. මගේ ෆොටෝස් දැම්මේ නැහැ. ඒ කාලේ නම් නෙගෙටිව් කමෙන්ට්ස් ආවා. පස්සේ මං අදින විදිය දැම්මා. දැන් මේ වෙද්දී නම් හැමෝම මාව අගය කරනවා. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ. ඒක මට ගොඩක් ලොකු ශක්තියක් මගේ ගමන හිතේ හයියෙන් ඉස්සරහට යන්න.
ලැබෙන සහයෝගය ගැන කිව්වොත්…
මගේ වැඩවලට පවුලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. චිත්‍ර ඇන්දට පස්සේ චිත්‍ර ෆ්‍රේම් කරන්න ඕන, ඕඩර්ස් යවන්න ඕන. ඒ වැඩවලට උදව් කරන්නේ අම්මයි තාත්තයි. ඒ වගේම මගේ යාළුවොත් ගොඩක් උදව් කරනවා.
මාව දිරිමත් කරන්නේ එයාල. ඒ වගේම මට චිත්‍ර අඳින්න ගුරුහරුකම් දුන්නේ ශශින්තා දිල්හානි මිස්. ඒ මිස්ගේ පේජ් එකෙන් මම ගොඩක් දේවල් ඉගෙනගත්තා. අද මං මේ විදියට චිත්‍ර අදින්නත් මිස් ලොකු හේතුවක්.
ලෙෂිනි කොහොමද හිත හයිය කරගත්තේ?
ඕනම කෙනෙක් ජීවිතේට බාධක ආවම කඩන් වැටෙනවා. මාත් එහෙමයි අසනීප තත්ත්වය එක්ක මට අනික් අයට වගේ දුවල පැනල ආස දෙයක් කරන්න, කැමති ජොබ් එකක් කරන්න බැරි වුණා.
ඒත් මට බෑ කියල නාහෙන් අඬ අඬා හැමදාම හිටියොත් වැරදෙන්නේ තමන්ටමයි. ඒ නිසා මම හිතට හයිය අරන් නැගිට්ටා. චිත්‍ර අඳින්න හැකියාවක් උපතින්ම තිබ්බ නිසා ඒක වැඩිදියුණු කරගෙන ඉස්සරහට යන්න ඔන්ලයින් ක්ලාස් හෙව්වා.
තව සෝශල් මීඩියාවලින් ඉගෙනගත්තා. ඊට පස්සේ තමයි මම ඕඩර්වලට චිත්‍ර අඳින්න බාරගත්තේ. එදා නෑ බෑ මගේ ජීවිතේ මෙතනින් ඉවරයි කියල හිතුවනම් අද චිත්‍ර අඳින ලෙශිනි කෙනෙක් නැහැ.
ලෙශිනි ජීවිතේ ජයගත්ත කෙනෙක්…ඔයාගේ අත්දැකීම් එක්ක අනික් අයට කියන්න තියෙන්නෙ මොකක්ද?
ඇත්තටම මම කියන්නේ කිසිම දෙයක් අතාරින්න එපා. අපි හිතන හැමදේම ඉෂ්ඨ කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒත් හීන මඟදි කඩන් වැටුණට ඒ දේවල් අතාරින්න එපා. වෙන අලුත් මාවතක් හොයාගන්න. ඒ මාවත ජයගන්න පුළුවන් හැම කැපකිරීමම කරන්න.
පවනි දිලේකා ✍️