ආදරණීය දෙමව්පියනි, අපේ දරුවන් ගැන වෙනදාටත් වඩා විමසිලිමත් විය යුතු කාලය එළැඹ ඇත. තරුණ දරුවන් සියදිවි නසා ගැනීමේ රැල්ලක් ඇති වෙමින් පවතී. කොළඹ උස් ගොඩනැගිලිවලින්ද, ඒ වගේම ඉතා මෑතකදී දුම්රියකට පැනීමෙන් තරුණ දරුවන් තිදෙනෙකු අපට අහිමි විය.මේ මාධ්‍ය තුලින් රටට අනාවරණය වන සිද්ධීන් තුනක් පමණි. එසේ හෙළි නොවන සිදුවීම් කොතෙකුත්ය. ඊටත් වඩා භයානක කරුණක් ඔබට කියමි. මනෝ රෝග වෛද්‍යවරුන් ලෙසට අප දිනපතා සියදිවි නසා ගැනීමට උත්සාහ ගෙන අසාර්ථක වූ පාසල් දරුවන් අතිමහත් සංඛ්‍යාවකින් රෝහල් වාට්ටු සහ මානසික උපදේශන සායන පිරී යමින් පවතී. වයස අවුරුදු 10-19 අතර වයසේ දරුවෙකුට මනෝරෝග වාට්ටුවකට රැගෙන ආ විට අප අසන පළමු ප්රශ්නය මෙයයි.
මොනවද දරුවෝ බිව්වේ…?
වෙනත් දරුණු මානසික ව්‍යාධීන්ට වඩා මානසික ආතතිය, ජීවිතයේ එළැඹෙන ගැටළු කළමනාකරණය කර ගැනීමට නොහැකි කම, දෙමව්පියන් විදේශගත වීම, පවුල ඇතුළත වියවුල්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, ප්‍රේම සම්බන්ධතා පිළිබඳ ගැටළුවලින් අද පාසල් වයසේ දරුවන් පීඩා විඳිති.
ඔවුන්ගේ ගැටළුවලට ඇහුම්කන් දීමටත්, උපකාර කිරීමටත් නිසි ක්‍රමවේද ඇතැත් ඒවා පිළිබඳ ඇති නොදැණුවත්කම ප්‍රධාන ගැටළුවක් ලෙස අපි දකිමු. විශේෂයෙන්ම අධ්‍යාපනයට පමණක් මුල් තැන දෙන අධ්‍යාපන රටාව තුළ සෞන්දර්ය විෂයන්වලට ක්‍රිඩාවලට දී ඇති අඩු සැලකිල්ල තුළ සැහැල්ලු මනසක් සාදා ගැනීමට දරුවන්ට ඇති අවස්ථාව මඟහැරී යයි.
අද තරුණ දරුවන් බරපතල ලෙස දුරකථනවලට සහ සමාජ මාධ්‍ය ජාලාවලට ඇබ්බැහි වී ඇති පසුබිමක ( Digital screen addiction syndrome) ඒවායින් ඔවුන් ගලවා ගැනීමට ගුරුවරුන්, දෙමවිපියන් සහ වෛද්‍යවරුන් වන අපත් සක්‍රිය ලෙස දායක විය යුතුය. ප්‍රේම සබඳතා බිඳ වැටීම, වයසින් වැඩි පුද්ගලයන් සමග අනවශ්‍ය බැඳීම් ඇති කර ගැනීම, අනාරක්ෂිත ලිංගික සබඳතා නිසා ගර්භණි වීම, නිරුවත් ඡායාරූප සහ වීඩියෝ නිසා ගැහැණු දරුවන් අසරණ වීම අද සියදිවි නසා ගැනීමට උත්සහ කිරීම් අතර ප්‍රධාන හේතු බවට පත්ව ඇත.
මීට සතියකට පමණ පෙරාතුව එක් ප්‍රසිද්ධ පාසලකින් මා හට අමතා එහි දේශනාවකට එන ලෙස විදුහල්පතිතුමා ඉල්ලීමක් කළේ එම පාසලේ හත වසරේ සිසුවියක එම වයසේ සිසුවෙකුට තම නිරුවත් සේයාපට යැවීමේ සිද්ධියක් පදනම් කර ගෙනය.එමෙන්ම පාසල් දරුවන් බිලිගැනීමට මත්ද්‍රව්‍ය මාෆියාවක්ද ක්‍රියාත්මක වන අප සැම දන්නා කරුණකි. තූල්, ගංජාවලට පාසල් සිසුවියන් පවා යොමුවී අවසානයේ මානසික රෝගීන් බවට පත් වීම ඛේදනීය කරුණකි.
අද පවතින සමාජ ක්‍රමය තුළ අතිධාවනකාරී මුදල් සෙවීමේ අරගලයක යෙදෙන දෙමාපියන් දරුවන් සමග යහපත් සබඳතා ගොඩනඟා ගැනීමට ඇති කාලය අවම වී ඇත. එමෙන්ම දරුවන් සමග ඵලදායී ලෙසත් ඔවුන්ට දැනෙන ලෙසත් සබඳතා ගොඩ නගා ගැනීමේ ක්රමෝපායන්ද අද දෙමව්පියන් නොදන්නා බවද කිව යුතුය. අධ්‍යාපනයේ පමණක් නොව පෞරෂත්ව වැඩි දියුණු කර ගැනීමටත් ජීවන කුසලතා ගොඩ නංවා ගැනීමටත් අප දරුවන්ට කියා දිය යුතුය.
පාසලේ සතියකට එක් කාලපරිච්ඡේදයක් හෝ සියලු දරුවන් සමග පොදුවේ වෙන වෙනම කථා කරමින් ඔවුන්ට ඇති ගැටළු මුලින්ම හඳුනා ගෙන නිසි පිලියම් කඩිනමින් ලබා දීමට පාසල් උපදේසන ගුරුමහතුන් හරහා මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීම කළ යුතුය. එමෙන්ම මනෝ වෛද්‍යවරයෙකු හෝ සුදුසු උපදේසන සේවා නිළධාරීන් මසකට වරක් හෝ පාසලේ දෙමව්පිය සහ දරුවන් එකට එකතු කර දැනුවත් කිරීමේ උපදේසන ලබා ගැනීමද කාලෝචිතය.
එමෙන්ම ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතන සේවාව වන “ 1926 ” අංකය ගැන සෑම දරුවෙකුම දැණුවත් කළ යුතුය. දරුවෙකු මියයෑම හෝ සියදිවි නසා ගැනීමට තැත් කිරීම අප රටක් ලෙස කොතරම් පිරිහී ඇතිදැයි පෙන්වන කැඩපතකි. එමෙන්ම මෙසේ අපට අහිමි වන්නේ දෙමව්පියන්ට තම දරුවා පමණක් නොව රටක මතු අනාගතයේ වැඩදායක පුරවැසියෙකුය. ඉතින් අපි එකතු වෙමු. අපේ දරුවන් රැක ගනිමු…
වෛද්‍ය රසික සඳරුවන් කුලතිලක
ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී
මනසුව උයන – මනෝරෝග
විද්‍යා ඒකකය
කුරුණෑගල ශික්ෂණ රෝහල