අපේ රටේ තරම් බණ අහන සමාජයක් නැති තරම්. නමුත් සමාජයේ සිදුවන අකටයුතු බොහොමයි. මේ තරම් බණ අහනවා නම් සමාජය හැදෙන්නේ නැත්තේ ඇයි…? සමහරු මේ විදිහට තර්ක කරනවා. ඒ වගේම තවත් අය මේ විදිහට කතා කරනවා. අනේ බණක් අහන්නා තියා හුස්ම ගන්න වත් වෙලාවක් නැහැ. ඒ තරමටම අපි කාර්ය බහුලයි. තවත් පිරිසක් තමන්ගේ ගෙදර දොර වැඩ කරන ගමන් බණ අහනවා. එතැනත් විසංවාදී අදහස් ගොඩ නැගී තිබෙනවා. බණක් අහනවා නම් බණට ගෞරවයෙන් අහන්න ඕන. මේ වගේ තර්ක විතර්ක තුළ සැබැවින්ම අපි ධර්ම ශ්‍රවණය කිරීමේදී ඒ වෙනුවෙන් සූදානමක් අවශ්‍යද…? බෞද්ධ පින්වතුන්ගේ ආරාධනයෙන් ධර්ම දේශනාවක් පවත්වනවා නම් ඒ වෙනුවෙන් වූ නිමිත්තක් තිබෙනවා. සමහර විට එය පිං අනුමෝදනාවක් හෝ ආශිර්වාදයක් වෙනුවෙන් විය හැකියි. එසේ නැත්නම් ඥාතියෙකු මිය ගොස් දින සතක්, තෙමසක් හෝ වසරක් නිසා විය හැකියි. උපන්දිනයක්, විවාහ සංවත්සරයක්, විවාහ වන යුවලක් වෙනුවෙන් ධර්මානුශාසනාවක් නිමිති කර ගැනීමත් සිදු වෙනවා. ධර්මදේශනාවක් පැවැත්වීමේදී අනාරාධිතව ධර්මදේශනා කිරීමේ සම්ප්රදායක් නැහැ. ප්‍රථම ධර්ම දේශනාව පවා සහම්පතී මහා බ්‍රහ්මයාගේ ආරාධනාවක් ඇතුව දේශනා කරනු ලැබුවා. ධර්මදේශනාවක් සඳහා ආරාධනා කරන විට දැහැත් වට්ටියක් පිළිගන්වා පස පිහිටුවා වැඳ ආරාධනා කිරීම සිදු වේ.
මතක බණ – යම් පුද්ගලයෙකු මියයෑමෙන් දින හතක් ගත වූ පසුව සිදු කරන ධර්ම දේශනාව.
පුද්ගලයා මිය ගිය දිනයේ පටන් දින ගණන් කොට හයවන දිනයේදී රාත්‍රි ධර්ම දේශනාව පවත්වා පසු දින සග සතු දානය පිරිනැමීම සිදුවෙනවා. දෙවියන් අපිරිසිදු ස්ථානවල සැරි සරන්නේ නැති නිසා මෙහිදී දේවතාරාධනය සිදු නොවේ.
සද්ධම්ම දෙසනා කාලෙ- සාධු සාධුනි බාසතො
මුඛ තො නිබ්බන්ති ගන්ධො- උප්පලංච යථොදතෙ
ධර්මය ද්ශනා කරන විට සන්සුන්ව ශ්‍රවණය කරමින් සාධුකාර දෙන පින්වතාගේ මුඛය මානෙල් මල් සුවඳ විහිදෙන බැව් මනෝරථ පූරනියේ සඳහන් වේ. ධර්මය ශ්‍රවණය කිරීමේදී පූර්ව චේතනා, ශ්‍රවණ චේතනා සහ අපර චේතනාව ඉතා වැදගත්. ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට පෙරාතුව පටන් ඒ වෙනුවෙන් ශ්‍රද්ධා සිත් ගොඩ නගා ගැනීම පූර්ව චේතනාවයි. ඒ වගේම ඉතා ශ්‍රද්ධාවෙන් ධර්මය ඇසීම ශ්‍රවණ චේතනාවයි. ශ්‍රද්ධාවෙන් ධර්මය ශ්‍රවණය කිරීම නිසා තිරිසන් සතුන් පවා සුගතිගාමී වුණ බවට ජාතක කථාවන් අප අසා තිබෙනවා.ඒ වගේම මේ තරමට බණ අහන රටක තවමත් සාධු ජන සමාජයක් බිහි වී නොමැති බවට හැම දෙනෙක්ම චෝදනා නගනවා.
මෙතැනදී අපර චේතනාව ඉතා වැදගත්. බණ ශ්‍රවණය කළ පමනින්ම සාධු ජන සමාජයක් නිර්මානය නොවේ. ඒ වෙනුවෙන් ධර්මයෙහි හැසිරීම ඉතාම වැදගත්. නමුත් මේ තරම් බණ අහන රටක පුද්ගලයන් විසින් තමන්ගේ ජීවිතය ධර්මානුකුලව හැඩ ගසා ගැනීමට යොමු වීම නිසා අපේ ජන සමාජය තුළ සැබැවින්ම ධර්මය අනුව ශික්ෂණයක් ලබා නැති බැව් කිව යුතුය.
ඒ වගේම ගමක මළ ගෙයකින් පසුව සත්දින, තුන් මාසය වෙනුවෙන් සිදු කරන ධර්ම දේශනාවන්හිදී පවා ධර්ම දේශණය ශ්‍රවණය කිරීමට සිටින්නේ මියගිය පුද්ගලයාගේ සහලේ ඥාතීන්ගෙනුත් කීප දෙනෙකු පමණි. සෙස්සන් ධර්ම දේශකයාණණ්වහ්නසේ ධර්මය දේශනා කරද්දී පිටතට වී කතා බහ කරමින් සිටිති. අසල්වැසියන්ද බොහෝ විට පැමිණෙන්නේ ධර්ම දේශනාව අවසාන වීමට කාලය පැමිනෙන විටයි.
සැබැවින්ම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට නොසිටි තරම් සේනාවක් රාත්‍රි ආහාරය සඳහා පැමිණෙති. මෙහිදී අප විමසිය යුතු කරුණක් ඇත. සැබැවින්ම මේ පිරිස පැමිණියේ තමන්ගේ ඥාතියා/ අසල්වැසියා හෝ හිතවතාගේ වියෝවෙන් පසුව ඒ පුද්ගලයාගේ වෙනුවෙන් පවත්වනු ලබන ධර්ම දේශනාව ශ්රවණයටද නොඑසේ නම් රාත්‍රි භෝජන සංග්‍රහයකටද යන්න ගැටළු සහගත තත්වයක් වී තිබේ.
වැඩක් කරන ගමන් ධර්ම දේශනාවකට සවන් දීම…
අද බොහෝ දෙනෙකුගේ පොදු ගැටළුවක් ඇත. එනම් අපට කාලයක් නැහැ. ඒ නිසා පන්සලකට ගොස් පැයක් එක තැනකට වී ධර්ම දේශනාවකට සවන් දීමට අපට කාලයක් නොමැති බැව් ඔවුන් විසින් නිදහසට නගන කරුණ වී තිබේ. ඒ නිසා අද බොහෝ නිවෙස්වල සමාජ මාධ්‍යජාලා ඔස්සේ විකාශනය වන ධර්ම දේශනාවන්ට සවන් දෙමින් තම තමන්ගේ ඉවුම් පිහුම් වැනි කටයුතුවල යෙදෙති. මේ ගැනත් විවාදාත්මක ප්‍රශ්න ඇත.
බොහෝ දෙනෙකු මෙහිදි නඟන තර්කයක් ඇත. එනම් ධර්මය ශ්‍රවණය කරනවා නම් ධර්මය වෙනුවෙන් ගෞරවය උපදවා ගත යුතු බවයි. නිදා ගෙන, දගලමින් බණ ඇසීම නිසා පිඹුරන්, වඳුරන් වැනි සතුන් වී උපත ලබන බවට අපේ බෞද්ධ සාහිතයයෙහි සඳහන් වේ. එහෙත් අපි සමාජ මාධ්‍යජාලා ඔස්සේ හෝ ධර්ම දේශනාවකට සවන් දෙනවා නම් අදාල කාලය තුළ හෝ අපේ හිතේ ලෝභ, ද්වේශ සහ මෝහ යන අකුසල මූල වෙනුවට අලෝභ, අදෝෂ සහ අමෝහ යන කුසල මූල ගොඩ නැගෙනු ඇත.
මේ නිසා අදාල විනාඩි විස්සක් හෝ තිහක කාලයක් වුණත් පිරිසිදු සිතකින් ධර්මය දේශනාවකට සවන් යොමු කරනවා නම් එයින් කුසලයක් අත් පත් වෙන බැව් සඳහන් කළ යුතුය. මෙහිදී වැදගත් වන්නේ බණ අසන ඉරියව්ව හෝ කාලය නොව බණ ඇසීමේ චේතනාව බැව් සඳහන් කළ යුතුය. ඒ නිසා ඔබට හැකි වේලාවක, හැකි ආකාරයකින්, හැකි අන්දමකින් බණ ඇසීමෙන් කුසලයක් මිස අකුසලයක් නම් සිදු නොවන බැව් සඳහන් කිරීමට හැක.
විහාරාධිපති,
ධර්මපාඨශාලාචාර්ය,විචිත්‍ර ධර්ම කථික,
පූජ්‍ය සෙවනගල
සුමංගල ස්ථවිර
දුටුගැමුණු සෑය,
ශ්රීි මහා විහාරය,
නවනගරය, ඇඹිලිපිටිය
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️