නිම්මී හාතියල්දෙනියගේ හමුවීම මට හරි අහම්බයක්. මීට අවුරුදු 4 කට ඉහතදී එක්තරා උදෑසනක ඇය නවලිය කර්තෘ මණ්ඩලයට කතා කරන්නේ පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම්තුමියගේ ආටිකල් එකක් නවලියට කරව ගන්න. ඇය බොහොම සුහදශීලිව කතා කළා පමණක් නෙවෙයි ඒ සම්මුඛ සාකච්ඡාව හරිම අපූරුවට කරගන්න සියලු ඉඩ පහසුකම් අපට සකසලත් දුන්නා. එදා මෙදා තුර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තාවන් සම්බන්ධයෙන් තිබෙන ඕනෑම වැඩකට ඇයගෙන් අපට ලැබුණේ නොමඳ සහයක්. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වර්තමාන මාධ්‍ය කළමනාකාරිණියගේ තනතුරෙන් ඔබ්බට ගිය නිම්මි මනුෂ්‍යත්වයේ තිබිය යුතුම ආදරය, සුහදත්වය සහ කෙනෙකු ඇගයීම ඇය සතු වූ නිසාම එම තනතුරට ඇය වඩාත් උචිත බව මටද විටින් විට සපත කළා’ මේ ඇය නවලියට කියූ කතාවයි..
නිම්මී, ගමෙන් කතාව පටන් ගනිමු
මම ඉපදෙන්නෙ බදුල්ලෙ. ගමේ මට හිටියේ අම්මා, අප්පච්චි, අයියලා හතර දෙනෙක් වගේම අක්කා කෙනෙක් විතරයි. ඒ කියන්නේ අපේ පවුලේ මම තමයි බඩ පිස්සි. මගේ අම්මා ගුරුවරියක්. අප්පච්චි රජයේ සේවකයෙක්. කාලයත් එක්කම මගෙ අයියලා අක්කලා එයාලගෙ පාරවල් හදාගෙන මට කළියෙන් ගෙදරින් එළියට ගියා. ඒ නිසා වැඩි කාලයක් එයාලා නැතුව මහ ගෙදර රැඳෙන්න මට සිද්ධ වුණා. බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් තමයි මම මුලින්ම ඉගෙනගත්තෙ. ඊට පස්සෙ මගෙ උසස් අධ්‍යාපනය කොළඹ විශ්වවිද්‍යාලයෙන් ලබන්න මට පුළුවන් වුණා. ජන මාධ්‍ය විශේෂවේදී උපාධියක් තමයි මම කළේ.
ඇයි ජනමාධ්‍ය උපාධිය විදිහට ඔයා තෝරගත්තේ ?
ඇත්තටම ඒකට විශේෂ හේතු කිහිපයක් තිබුණා. මම පාසල් යන කාලෙ ඉඳලම ජනමාධ්‍ය සහ සිනමාවට තමයි කැමති. මොකද පොඩි කාලෙ ඉදලාම සිනමාව කියන්නෙ මට ගොඩාක් සමීප දෙයක් වුණා. ඒකට විශේෂයෙන්ම හේතු වුණේ මගෙ අප්පච්චි සිනමාලෝලියෙක් වීම. එයා නිතරම පරණ චිත්‍රපට බැලුවා. ඒ විතරක් නෙවෙයි ඒ චිත්‍රපටිවල නළු නිළියො ගැන ගොඩක් දේවල් මට කියලත් දුන්නා. ඉතින් ඒ ආභාෂය නිසා වෙන්න ඇති මම චිත්‍රපට කියන විෂයට
වැඩියෙන් ඇලුම් කරන්න ගත්තේ. ඒ වගේම පාසලේදි කරපු මීඩියා වැඩ නිසා ඒ පැත්තට කොහොමටත් නැඹුරුවක් මට තිබුණා. ඉතින් මේ හේතු කාරණා තමයි මම ජනමාධ්‍ය විශේෂවේදී උපාධිය හදාරන්න මට පදනම වුණේ. ඒ අනුව අපි තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය විශේෂවේදී උපාධිය හදාරපු දෙවනි කණ්ඩායම බවට පත්වුණෙත්.
කොළඹ විශ්වවිද්‍යාල ජීවිතය මොනවගේද?
කොළඹ විශ්වවිද්‍යාලයේ දෙවනි අවුරුද්දේ ඉගෙන ගනිද්දි මම පුවත්පත් දැන්වීමක් දැකලා එක්තරා රූපවාහිනී නිෂ්පාදන ආයතනයක රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය පිළිබඳ පාඨමාලාවකට අයදුම්පතක් දැම්මා. ඒ වැඩේ සම්පූර්ණ කරනවත් එක්කම ඒ කණ්ඩායමෙන් හොඳම ලකුණු ගත්ත ළමයා විදියට ඔවුන් Teleview technician training academy යේ Cordinator විදියට මට රැකියාවක් දුන්නා. ඒ නිසා විශ්වවිද්‍යාලයෙන් පිට වෙනකොට අවුරුදු ගණනක රැකියා පළපුරුද්ද එක්ක තමයි මම උපාධිය අවසන් කළේ. පස්සෙ මට දැන්වීම්කරණයට සම්බන්ධවෙන්න අවස්ථාව ලැබුණා. ඒත් එක්කම රූපවාහිනී සහ සිනමා ක්ෂේත්රවලට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා.
මේ වැඩත් එක්ක ඔයාගේ ගෙදරින් ලැබුණේ මොනවගේ සහයෝගයක්ද?
ඇත්තටම අපේ ගෙදර තිබුණෙ වෙනස් පරිසරයක්. අපේ ගෙදර කවදාවත් ගැහැණු ළමයි පිරිමි ළමයි කියලා වෙන්කිරීමක් කළේ නෑ. ඉගෙන ගන්න දේට අම්මා අප්පච්චි ඕනම දෙයක් කරලා දුන්නා. අපි කාටවත් ඉගෙන ගන්න දේවල්වලට කිසිම බලපෑමක් එයාලා කළේ නැහැ. සාමාන්‍ය පෙළ හොඳින් සමත් වුණා’ නමුත් දේශපාලන විද්‍යාව ඉගෙනගැනීමේ දැඩි කැමත්ත නිසා උසස්පෙළට මම කලා විෂය ධාරාව තෝරා ගත්තා. ගෙදරින් උපරිම සහය ඒ හැමදේකටම ලැබුණා.
ඉන් පස්සෙ කොහොමද ඔබේ ජීවිතය වෙනස් වෙන්නෙ…
තිර රචනයට පිවිසෙන්න කළින් මම වෙළඳ දැන්වීම් පිටපත් රචනයට සම්බන්ධ වුණා. මේ වෙලාවෙ මට විශ්වවිද්‍යාලයේ සිනමාව උගන්වපු ගුරුවරු දෙන්නා ආචාර්ය ධර්මසේන පතිරාජයන් සහ වසන්ත ඔබේසේකරයන් මතක් කරන්නම ඕනේ. තිර රචනය වැඩිදුරටත් විෂයක් විදිහට හදාරන්න ආසාව උනන්දුව ඇති කළේ වසන්ත ඔබේසේකරයන්. සෙනේෂ් හමුවුණාට පස්සේ අපි දෙන්නා එකතු වෙලා වෙළඳ දැන්වීම් ගණනාවකට පිටපත් රචනා කළා.
ඒ වගේම 2001 දී සෙනේෂ අධ්‍යක්ෂණය කළ ‘සුළඟ වෙන්න නුඹ එතකොට’ කෙටි චිත්‍රපටයටත්, 2002 දී ‘ආදරණීය වස්සානය’ටත්, 2003 දී ‘පුළින ප්‍රාසාද’ සහ 2005 දී ’අරුණෝද කලාපය’ ටෙලි නාට්‍යවලටත්, 2008දී ‘හාට් ත්‍ඵ’ චිත්‍රපටයටත් අපි දෙන්න එකතු වෙලා තිර රචනය කළා. ඒ වෙනකොට මම ක්ෂේත්රයේ සහය අධ්‍යක්ෂකවරියක් වගේම නිෂ්පාදන කළමණාකාරීවරියක් විදිහටත් ඉදිරියට ඇවිල්ලා තිබුණා. ඒ අතරේදී මම පුවත්පත්වල විශේෂාංග ලේඛිකාවක් විදිහටත් කොලම් ලිව්වා.
මේ හැමදේමත් එක්ක ඔබේ ගුරු භූමිකාව ගැනත් කතා නොකළොත් අඩුවක්…
ඔව් ඇත්තටම මම කිව්වනේ මගේ අම්මා ගුරුවරියක් කියලා. ඒ නිසා අම්මගෙත් කැමත්තක් තිබුණා මම ගුරුවරියක් වෙනවා දකින්න. ඒකත් එක්ක මම අවුරුදු දෙකහමාරක් මරදාන හේමමාලි බාලිකා විදුහලේ උසස් පෙළ දරුවන්ට සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය ඉගැන්නුවා. ඊටපස්සේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ රූපවාහිනී වාඩසටහන් නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ කථිකාචාර්යවරියක් ලෙසත් කටයුතු කළා. මම ගුරු භූමිකාවට හරිම කැමති කෙනෙක්, මොකද ගුරුවරයාගෙ දේපළ තමයි ශිෂ්‍යයො. එයාලගෙ දියුණුව දකින එක, එයාලා ඉදිරියට යනවා බලන එක තරම් ආත්ම තෘප්තික් ගුරුවරයකුට නැහැ.
නිම්මී අද ඉන්න තනතුර ගැනත් කතා කරමු..
පාර්ලිමේන්තු මාධ්‍ය කළමනාකාර භූමිකාවේ විශේෂම කාරණය වෙන්නෙ ලංකාවේ පාර්ලිමේන්තුව කියන ප්රජාතන්ත්රවාදයේ උත්තරීතරම ආයතනය විදියට සලකන ස්ථානය ඒක නිසා. එහි මාධ්‍ය කළමනාකරණ භූමිකාවේදී අපි ඉතාම සංකීර්ණ කණ්ඩායම් තුනක් එක්ක සම්බන්ධ වෙනවා. පළවෙනි කණ්ඩායම මේ රටේ දේශපාලඥයින්.
දෙවැන්න තමයි ලංකාවෙ මාධ්‍ය. තුන්වැනි කණ්ඩායම වෙන්නෙ මේ රටේ මහජනතාව. මේ කණ්ඩායම් තුන එක්කම සමබරව කටයුතු කරන එක ඉතාම අසීරු කාර්යයක්. ඉතින් ඒක තමයි අපේ වෘත්තීමය භූමිකාව වෙන්නෙ. මෙහිදී බලාපොරොත්තු වන්නේ පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව මහජනතාවට නිසි දැනුවත්භාවයක් ලබදීම සහ පාර්ලිමේන්තුවේ කටයුතුවලට වැඩි මහජන සහභාගීත්වයක් ඇති කිරීම.
එතැනදී විනිවිදභාවය, වගකීම, වගවීම අපි කළ යුතු වෙනවා. පාර්ලිමේන්තුවේ කටයුතුවලදී සියලු නිල මාධ්‍ය නිවේදන නිකුත් කරන්නේ මාධ්‍ය අංශයෙන්. මේ රැකියාව සාමාන්‍ය කාර්යාලීය වෙලාවන්ට සීමා වෙන එකක් නෙවෙයි. පාර්ලිමේන්තුවේ රුස්වීම් පැවැත්වෙන දිනවලට, පාර්ලිමේන්තුවේ අයවැය විවාද පැවැත්වෙන දිනවලට වගේම බොහෝ දිනවලට මාධ්‍ය අංශයේ සේවය කරන අපිට ගෙදර යන වෙලාවක් කියන්නවත් බැහැ.
ඇත්තෙන්ම සාමාන්‍ය නිම්මී මොනවගේ කෙනෙක්ද ?
රාජකාරි වැඩවලින් පස්සෙ මම සාමාන්‍ය නිම්මි වෙනවා. එතකොට මම බිරිඳක්, දරුවන් දෙන්නෙකුගේ මවක්, හොඳ යාලුවෙක් තමයි. අපේ ගෙදර සාමාජිකයන් ඇත්තටම හත්දෙනෙක් ඉන්නවා. මම, සෙනේෂ්, දුව,පුතා වගේම සිල්වෙස්ටර් සහ ජෙසබෙල් කියන පූසොයි, බැරී කියන හාවෙකුයි තමයි ඉන්නේ. දුව මේ වෙනකොට උසස් පෙළ අවසන් කරලා රැකියාවක් කරන ගමන් උසස් අධ්‍යාපනය හදාරණවා. එයා කැමති ඇනිමේෂන් සහ ඩිජිටල් මාර්කටිං පැත්තට’ පුතා තාම ඉගෙන ගන්නවා එයා කැමති මියුසික්වලට.
මේ දේවල් ඔක්කොම කරන්න නිම්මී කාලය යොදවන්නෙ කොහොමද?
පළවෙනිම කාරණය වෙන්නෙ කාන්තාවක් වුණාම එයාට එයාගෙ වටේ ඉන්න අයගෙන් 100% ක්ම සහය ලැබෙන්න ඕන එයාගෙ වැඩ නිදහසේ කරගෙන යන්න. විශේෂයෙන් මගේ රස්සාව කාර්යාල පැයවලින් මනින්න බැහැනේ.මොකද කාර්යාල වෙලාවෙන් පස්සේ මුලින් කිව්වා වගේ මට වැඩ තියෙන දවස් වැඩියි. විශේෂයෙන් පාර්ලිමේන්තුව මහජනතාව අතරට ගෙනයන මහජන සේවා වැඩසටහන් ආවරණය වෙනුවෙන් අපට ලංකාව පුරාම යන්න වෙන අවස්ථා වැඩියි. ඉතින් ඒ වගේ වෙලාවට සෙනේෂ්ගෙන් මට ලැබෙන සහය වචනවලින් කියලා නිම කරන්න බැහැ. දරුවොත් එහෙමම තමයි. මට මඟහැරෙන ගෙදර වැඩ, බබලාගේ වැඩ සෙනේෂ සතුටින් කරලා දෙනවා.
ඔබ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වෙලා කාන්තාව සහ දරුවන් පිළිබඳව විශේෂ වැඩසටහන් කරනවා නේද?
ඔව්. විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසඳය, ළමයින් පිළිබඳ පාර්ලිමේන්තු සංසඳය, ළමයින් කාන්තාවන් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මඟින් මෙරට කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් පසුගිය කාලය පුරා විශාල වැඩකොටසක් අපි කළා. ඊට අමතරව රැකියා ස්ථානයේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්ව සිදුවන වෙනස්කම් වාර්තා කිරීම සඳහා විශේෂ කාරක සභාවක් අපි එකතු වෙලා ක්‍රියාත්මක කළා. මේ හරහා ගොඩක් වැඩ අපට කරන්න පුළුවන් වුණා.
නිම්මී අද මේ ජීවිතය ගැන මොනවද හිතන්නෙ?
මට ජීවිතය කියන්නෙ අභියෝගයක්. අපි අධ්‍යාපනයෙන්, අත්දැකීම්වලින්, ජීවිතයේ මුහුණදෙන අනෙකුත් කාරණාවලින් ඒ අභියෝගමත් ජීවිතයට මුහුණ දෙන්න ඉගෙනගන්නවා. විශේෂයෙන් කාන්තාවක් විදියට මම හිතනවා කාන්තාව තමන් ගැන හිතන විදිය මීට වඩා වෙනස් කරන්න ඕන කියලා. තමන් ගැන මීට වඩා විශ්වාසය තියාගන්න ඕන කියලා. තමන්ගේ ජීවිතය ගැන ලොකු හීන හදාගන්න ඕන. මොන අභියෝග ආවත් තමන්ගේ ඉලක්කයට යනවා කියන අධිෂ්ඨානය තිබීම කාන්තාවකට හරිම වැදගත්
හරින්දී ලියනගේ ✍️